ඉතා­ලිය හරහා මෙජි­ගෝ­රි­යට -11 | Page 3 | සිළුමිණ

ඉතා­ලිය හරහා මෙජි­ගෝ­රි­යට -11

ගතට දැනෙන සිසිලසත් සමඟ සුවදායි නින්දක සිටි මම එලාම් හඬින් අවදිවුණෙමි. හෝටලයේ තුන්වැනි මහලේ පිහිටි මා නැවතී සිටි කාමරයේ ජනේලයෙන් පෙනෙන දර්ශනය මනහරය. තවත් අලුත් දවසක් උදාකරමින් හිරු නැග එන්නට ආසන්න බව හඟවමින් අහස රත් පැහැයෙන් වර්ණවත් වී ඇත.

සුදු පැහැ තුනී මීදුම් පටලයකින් වැසුණු කඳු පන්තිය අතිශයින් සුන්දරය. ඒ අතරින් එක් කන්දක් තරමක් උසින් දර්ශනය වෙයි. එහි මුදුනේ සුදු පැහැයෙන් කුරුසයක් පෙනේ. මේ නිසා මෙම කන්ද කුරුසියක් සහිත කන්ද යන අර්ථය දෙන ක්‍රිසවැක් (Krizevac) ලෙස හඳුන්වන අතර ඉංග්‍රීසි භාෂාවෙන් කුරුස කන්ද (Cross mountain) නමින් හඳුන්වයි.

අද දිනයේ සැලසුමට අනුව අප දැන් සූදානම් විය යුත්තේ එම කන්ද තරණය කිරීමටයි. අප ඉක්මනින් සූදානම් වී හෝටලයේ පහල මාලයට පැමිණ උදෑසන ආහාර ගත්තෙමු. ආහාර ගෙන අවසන් වනවිටම අපගේ මඟ පෙන්වන්නා නිකොලා පැමිණියේය. මෙය කර්නිකා කන්ද නැගීමටත් වඩා තරමක දුෂ්කර බවත් අපහසුතා ඇති අය සැරයටියක් පාවිච්චි කරන ලෙසත් නිකොලා පැවසූවේය.

අප නැවතී සිටි හර්සෙග් හෝටලයේ සිට කි‍ලෝමීටර් දෙකක පමණ දුරක් ගමන් කළ යුතු නිසා ඒ සඳහා ටැක්සියක යායුතුය. ප්‍රසාදි ඒ සඳහා ටැක්සි කිහිපයක් පිළියෙල කර තිබිණි. අප සුපුරුදු ලෙස අනිල් සහ රුවිණි සමඟ ටැක්සියක නැගුණෙමු. රියැදුරා ප්‍රියමනාප පුද්ගලයෙකි. රියැදුරු අසුනට යාබද අසුනේ සිටි අනිල් සමඟ ඔහු කතාවට වැටුණේය. අප ශ්‍රී ලංකාවෙන් යැයි පැවසූ සැනින් ඔහු සිනාපිරි මුවින් මෙලෙස පැවසුවේය.

' Oh, Mrs Sirimavo Bandaranayaka's country. Nice people.Nice country.' වැඩි දුරටත් තොරතුරු කතා කිරිමේදී දැනගත් අන්දමට යුද්ධය පැවැති සමයේ සිරිමාවෝ අගමැතිනිය අපේ රටෙන් බොස්නියාවට හාල් නැවක් ලබා දී තිබේ. මේ මිනිසා අපේ රටට කෘතගුණ දක්වමින් කතා කළේ එය සිතෙහි තිබුණු නිසාය. අපගේ සිත්වලට දැනුුණු සතුට වචනයෙන් කියා නිම කළ නොහැකිය. විනාඩි කිහිපයකින් අපි කුරුස කන්ද අසලින් දැමූ ටැක්සි රියැදුරා යළි වේගයෙන් ආපසු ගියේ කණ්ඩායමේ තවත් පිරිසක් රැගෙන එන්නටය.

වේලාව පෙරවරු හතට පමණය. උදෑසන රන්වන් හිරු රැස් වැටී පරිසරය අමුතු සුන්දරන්වයක් මවා තිබේ. විවිධ රටවල බැතිමත් සංචාරකයෝ කන්ද තරණය කිරීමට සැරසෙති. අප කණ්ඩායමේ සියලුම දෙනා පැමිණි පසු නිකොලා මෙම කන්ද පිළිබඳව හැඳින්වීමක් කළේය.

එම විස්තරයට අනුව මෙජිගෝරිය යන නමෙහි අර්ථය කඳු අතර යන්නයි. ඒ මෙම නගරය සුන්දර කඳු පන්තියකින් වටවී ඇති නිසාය. මෙම කුරුස කන්ද හර්සගෝවනාවේ ඇති උසම කන්දයි. මෙම රටට ආවේනික පාෂාණ වලින් සැදුණු මෙම Krizevac කන්ද තරණය කිරීම දුෂ්කරය.

මේ නිසා ජේසු තුමන් කුරුසියේ ඇණ ගසා මරණයට පත්කළ කල්වාරි කන්ද තරණය කිරීම සිහිකරමින් පාද නමස්කාරය කිරීම පිනිස 1934 වසරේ මෙජිගෝරියේ සාන්ත ජේම්ස් පල්ලියේ සිටි පූජකතුමා ජනතාව සමඟ එකතුවි මෙහි මුදුනේ ලී කුරුසියක් සවිකර තිබේ.

ඒ අනුව එදා සිට ස්ථාන 14 හි ලී වලින් කුරුසය බැගින් තබා මෙහි පාද නමස්කාරයේ යෙදි තිබේ. ඉන්පසු ජේසු තුමන් කුරුසයේ ඇණ ගසා මරණයට පත්කර වසර 1900 සිහිකිරීම පිනිස වර්තමානයේ මෙම කන්ද මුදුනේ ඇති සුදුපැහැති කුරුසිය 6 වැනි පියුස් පාප් වහන්සේගේ මැදිහත්විමෙන් රෝමයේ ඇති සැබෑ කුරුසයේ ධාතූන් ගෙන් කොටසක් මෙහි තැන්පත් කර සිමෙන්තියෙන් නිර්මාණය කර තිබෙනවා.

අප කන්ද තරණය කිරීම ඇරැඹුවෙමු. පියවරෙන් පියවර සෙමෙන් අඩි තබමින් ස්ථානයෙන් ස්ථානයට යාඥා කරමින් අපි සෙමෙන් සෙමෙන් කන්දේ ඉහළට ගමන් කළෙමු. එදා මෙහි ලී කුරස සවිකර ස්ථාන සලකුණු කර තිබූූ නමුත් දැන් එම ස්ථාන සංකේතවත් කරමින් ලෝකඩ වලින් අදාල සිදුවීම් කැටයම් කර සවිකර තිබේ. 1988 වසරේ දී මේවා නිර්මාණය කර ඇත්තේ කාමෙලෝ උසේලෝ නම් නිර්මාණ ශිල්පියා විසිනි. ගලින් ගලට අඩිය තබමින් පැය කිහිපයක ගමනකින් පසු අපි කන්ද මුදුනට ළඟාවීමු.

කන්ද මුදුනේ ඇති විශාල කුරැසය පෙනෙන මානයේ වම්පසින් ඇති විශාල ගලක් හාරා ලෝකඩ වලින් කළ නිර්මාණයකි. එහි Slavko Barbaric පියතුමාගේ මුහුණ අඹා තිබේ. 1946 මාර්තු 11 උපත ලබා ඇති පියතුමා 1965 ප්‍රැන්සිස්කන් නිකායේ පියතුමකු ලෙස පත්වී 1983 වසරේ නිල වශයෙන් මෙජිගෝරියට සාන්ත ජේම්ස් දෙව්මැඳුරට පත්ව පැමිණ තිබේ.

මෙජිගෝරි දේවස්ථානයේ වත්මන් දියුණුව වෙනුවෙන් සුවිශාල සේවයක් කර ඇති උන් වහන්සේ සෑම සිකුරාදා දිනකම බැතිමතුන් සහ සංචාරක වන්දනා කරුවන් සමඟ මෙම කුරුස කන්ද තරණය කිරීම පුරුද්දක් ලෙස කර තිබේ. උන්වහන්සේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 2000 වසරේ නොවැම්බර් 24 වැනිදා සවස 3.30 ට කුරුස කන්ද තරණය කරමින් සිටියදීය.

අපි කන්ද මුදුනට පැමිණියෙමු. මෙහි තරමක තැනිතලාවකි. විශාල ගස් කිහිපයක් ඇති නිසා තරමක සෙවණකි. කන්ද තරණය කළ විදෙස් රටවල බැතිමත්හු තැන තැන වාඩිවී නිහඬව භාවනාවේ යෙදී සිටිති. අප කණ්ඩායම තුරු සෙවණක ගිමන් නිවාගන්නා අතර භාවනාවක යෙදුනෙමු. මෙය හර්සගෝනාවේ උසම කන්දයි. මේ නිසා හාත්පස අලංකාර ලෙස දිස්වෙයි. වැඩිපුරම දැකිය හැක්කේ කුඩා කඳු ගැට වන අතර මේවා අතර මිදිවගා කළ ගොවිපොළ දක්නට ලැබෙයි. මෙහි ඉතා කුඩා ජනගහනයක් සිටින නිසා නිවාස දැකිය හැක්කේ නගරයේ සහ ඒ අවට පමණි.

කුරුසිය පාමුල සිට සමූහ ඡායාරූපයක් ගත් අප ආපසු එන්නට පිටත්වීමු. කන්ද බසින්නේ වෙනම මාර්ගයකිනි. ඒ කන්ද තරණය කරන බැතිමතුන්ට බාධාවන හෙයිනි. පැයක දෙකකින් පමණ ආපසු පැමිණිය හැකිය. කන්ද තරණය කිරීම ආරම්භ කළ ස්ථානයේ අවන් හලකි. එයින් උණුසුම් තේ කෝප්පයක් පානය කර ගිමන් නිවාගත් අප ටැක්සියක නැගී යළි හෝටලයට පැමිණියෙමු. 

 

 

Comments