අපි හමු­වුණේ දහම් පාස­ලේ­දියි | Page 4 | සිළුමිණ

අපි හමු­වුණේ දහම් පාස­ලේ­දියි

දිය බිඳකින් ඇරැඹි දිය දහරක් සේ ඇගේ ජීවිතය නිසොල්මනේ පිළිවෙළින් ගලා යයි. ගෙවුණු ඒ අතීතය ,ගතවන වර්තමානය මෙන්ම එළැඹෙන අනාගතය දෙස ද බලා නිවී සැනැසෙන්නට කරුණු කාරණා බොහොමයක් ඇයගේ කලා දිවියේ මෙන්ම පෞද්ගලික දිවියේ ද ඇය සතුය. හැමදාමත් සියලු දේ දෙස උපේක්ෂා සහගතව බලන්නට තරම් පන්නරයක් ලද චමපා ශ්‍රියානි නම් වූ මේ ප්‍රවීණ , ආදරණීය රංගන ශිල්පිනිය1980 ,90 දශකවල මෙරට කලා ලෝකය වර්ණවත් කළ අයුරු අදටත් ප්‍රේක්ෂක මතකයේ ගැඹුරුම තැනක නිධන්ව ඇත. චම්පා ගේ කලා දිවියේ සොඳුරු මතක සැමැරුම් මෙන්ම ගෙවී යන දිවියේ බොහෝ තොරතුරු කතාබහ කරන්නට ඇගේ කැදැල්ලට පසුගිය දිනෙක අපි ගොඩවැදුනෙමු.

එදා පුංචි තිරයෙන් නිතර හමු වූ ඔබ දැන් දැන් දකින්නට ලැබෙන්නේ කලාතුරකින්?‍‍

පසුගිය අවුරුදු දහයක කාලයේ ඉඳන්ම ඉතාම අඩුවෙන් තමයි නිර්මාණවලට දායක වුණේ. අවරුදු දහයක පමණ ලොකු විවේකයක් ගත්තා. ඒත් ලැබුණු ආරාධනා නිසාම පසුගිය දවස්වල 'මිල්ලෑව වළව්ව' ටෙලි නාට්‍යයට දායක වුණා. දැන් එහිත් රූගත කිරීම් නිමයි.

අවුරුදු 10ක් කලාවෙන් තරමක් දුරස්වෙලා හිටිය කියන්නේ එය සෑහෙන කාලයක්?‍

ඔව්. මම කලාවට එක් වෙන්නේ 1980, 90 දශකවල. ඒ කාලෙ උපරිමයෙන්ම කැපවී අදටත් මතකයේ රැඳෙන හරවත් නිර්මාණ රැසකට මට දායක වෙන්න ලැබුණා. කලාවෙන් මම සාර්ථක ගමනක් ආවා. ඒත් එක්කම විවාහ වුණාට පසුව මගේ පෞද්ගලික ජීවිතයත් සාර්ථකව ගෙනියන්නට මට අවශ්‍ය වුණා.

රංගන දිවියේ සොඳුරුම කාලේ එයින් දුරස් වෙන්න සිදුවීම ගැන දුකක් නැත්ද?‍

මම දකින විදහට ඒ ගැන කිසිම දුකක් හිතේ නැහැ. මොකද මම හොඳ නිර්මාණවල රඟපෑවා. ඒ අංශයෙන් ඉදිරියට ගියා. එය මගේ ජීවිතයේ එක පැතිකඩක් විතරයි. කාන්තාවකට ඇගේ ජීවිතේ විවිධ භූමිකා තිබෙනවා. ඒ නිසා යුවතියක, බිරියක,ගැහැනියක,මවක ලෙස හැම පැත්තකින්ම සාර්ථක වෙන්න මට අවශ්‍ය වුණා. ඒ ගෙවුණු කාලය මට තෘප්තිමත් වෙන්නට පුළුවන් ලෙස මම සාර්ථක කරගත්තා.

ඔබ සෙනෙහෙබර දියණියන් දෙදෙනෙකුගේ ආරදරණීය මව.ජීවිතේ ගැන මොකද හිතෙන්නේ?

අද මම හුඟක් සතුටින් ඉන්නවා. ජීවිතේ සතුටින් ගත කරනවා. භෞතික සම්පත් ගොඩගහගෙන එහි අන්තයට යන්නට මම කැමැති නහැ. තරුණ කාලෙ ඉඳලම මම පොත පත ඇසුරු කළා. ඒ පොතපතින් ලද දෙයත් අත්දැකීම්වලින් ලද දේත් සමඟ

ජීවිතේ මම දකින විදිහ වෙනස්. මම හිතපු විදිහේ දිවියක් මට ගත කරන්න හැකි වුණා.

ඉදිරියේ ඔබ රංගනයෙන් දුරස් වේවිද?

මම ජීවත්වන තාක්කල්ම රඟපාන්න කැමැතියි. අපි කලාවට අවතීර්ණවන වකවානුවේ නිර්මාණය වූ ටෙලි නාට්‍ය හරිම රසවත්. ඒ වගේම ගැඹුරක් ආනන්දයක් ඒ නිර්මාණවල තිබුණා. අදටත් මම කැමැති ඒ වගේ රහට තිබෙන නිර්මාණවලට දායක වෙන්න තමයි. රඟපෑමෙන් ලබන ආත්ම තෘප්තිය කිසිවිටෙක මුදලින් මනින්න බැහැ.

ඔබේ රංගනයන් රස විඳි ප්‍රේක්ෂකයන් ඒ ගැන අදටත් කතා කරනවා ඇති?

මගේ තරුණ අවධියේ මම රඟ පෑ නිර්මාණ නැරැඹූ සමහර ප්‍රේක්ෂකයෝ ම‍ට අදටත් කොහොම හරි කතා කරනවා. මම ක්ෂේත්‍රයෙන් බැහැරව හැංගිලා වගේ හිටියත් මගේ දුරකතන අංකය හොයාගෙන ඔවුන් මට කතා කරනවා. තවමත් ඔවුන් මාව දකින්න කැමැති එදා ඔවුන් මම දුටු පෙනුමෙන්මයි කියලා මාත් එක්ක කතාබහ කරන විට මට හැඟෙනවා.

රංගන දිවියේ අමතක නොවන අත්දැකීම් ඇති?

මම රංගනයට පිවිසෙන විට මට තිබුණේ දිගු කෙස් කළඹක්. කොහොම හරි එක්තරා නාට්‍යයක වෙස් ගැන්වීම්වල දී සුදුපැහැ කරන්න දැමූ කෙමිකල් එකකින් මගේ කොණ්ඩෙ ඩැමේජ් වුණා. ඒ වෙලාවේ එතැන හිටපු නිළියන් හුඟක් දුක් වුණා. සමහරෙක් ඇඬුවා. ඒත් මට දුකක් ඇති වුණේ නැහැ. මොකද දෙයක් වෙන්න ඉස්සෙල්ලා එයින් පරිස්සම් වෙනවා විනා වුණාට පසුව දුක්වෙලා වැඩක් නැති නිසා.

ඔබේ ආදරණීය සැමියා සහ දරුවන් දෙදෙනා ගැනත් කතා කරමු?‍

මම විවාහ වුණේ මගේ ජනප්‍රියත්වයේ ඉහළම අවධියේ සිටි කාලයේ කිව්වොත් හරි. ඔහු පර්සි ජයමාන්න. මේ වන විට ඔහු කිංග්ස්බරි හෝටලයේ ක්‍රීඩා අංශය භාරව කටයුතු කරනවා. අපි විවාහ වන විට මට අවුරුදු 24යි. අවුරුදු 9ක ප්‍රේම සබඳතාවයකින් පසුවයි අපි විවාහ වුණේ. අප දෙන්නා හමු වන්නේ දහම් පාසලේදියි. එකට ඉගෙන ගත්තා. අපි1990 දි විවාහ වුණා. මට අවුරුදු 25 දි ලොකු දුව ලැබුණා. ඉන්පසුව පොඩි දුව ලැබුණා. ලොකු දුව සඳලි ගීත්මා. ඇය මේ වන විට විවාහ වෙලා. පොඩි දුව සියුමි දිනෙත්මා. ඇය උසස් පෙළ සඳහා සූදානම් වෙනවා.

ඔබ දෙදෙනාගේ හමුවීම ගැන අද හිතෙන්නේ කුමක්ද ?‍

මම පෙර කුසල් කර තිබෙන බව හැඟෙනවා. අපිට හැම දෙයක්ම ලැබෙන්නේ අපි පෙර කරන ලද කුසල් මතයි. මට සැනසීමෙන් ඉන්නට පුළුවන් පරිසරයක් මගේ ගෙදර මට ඔහු නිර්මාණය කර තිබෙනවා. මගේ සැමියා , දරුවන් නිසා මානසිකව වගේම ලෞකිකවත් මම බොහෝ සැනසීමක් ලබනවා. මාව තේරුම් ගත්ත සැමියෙක් තමයි මට ලැබුණේ. ඕනම දෙයක් ගැන අපේ අදහස් විවිධ වෙන්න පුළුවන්. ඒත් දෙදෙනාටම සතුටුවිය හැකි එකඟතාවකට අපි හැම වෙලාවෙදිම එනවා. මම ඔහුගෙන් දකින තව දෙයක් තමයි තරහ නොගැනීම. මගෙ තරුණ කාලෙදිවත් මට බලපෑම් කළේ නැහැ. නිළිකම ඇති , ළමයි එක්ක ගෙදර නවතින්න , නීතිරීති ,තහංචි මොනම දෙයක්වත් මට තිබුණෙ නැහැ. එයාගේ ඒ ගතිගුණ නිසාම මම මගේ සීමාවන් තුළ රැඳිලා මමම තහංචි දාගෙන කටයුතු කළා. මම හැමදාමත් පර්සිගේ මව්පියන්ට පිං දෙනෙවා එහෙම දරුවෙක් හැදුවට. ඔහු මගේ සැමියා ලෙස මට දුන්නට.

චම්පා වැනි බිරියක් ලැබීම ගැන මොකද හිතන්නේ? මම විමසුවේ පර්සිගෙනි.

ලොකු සතුටක් දැනෙනවා. මොකද චම්පි කියන්නේ මට පාසල් අවධියේදී හමු වූ හොඳම යෙහෙළිය. පසුව අපේ මිතුදම ආදරයකට පෙරළුණා. ඇය ලංකාවේ සිටින දක්ෂතම නිළියක්. ඒ දක්ෂතාවයට මම කැමැතියි. ඒ වෙනුවෙන් මම ඇයට හුඟක් උදව් වුණා. ඒ වගේම මම දැක්ක තව දෙයක් තමයි ඇය හැම විටම පොතපත ඇසුරු කිරීම. නිතරම පොතක් අතේ. ඇගේ කියැවීම මම හරියට අගය කරනවා. ජීවිතය ගැන හොඳ අවබෝධයක් ඇය සතුයි. ඇය හරිම සරල බිරියක්. මට හොඳ බිරියක් වුණා වගේම ඇය දරු දෙදෙනාට ආදරණීය මවක් වගේම සමාජයට ආදර්ශවත් කාන්තාවක්.

චම්පි අක්කාට රසට උයන්න පුළුවන්ද?

මම ලංකාවේ කොතැන හිටියත් ගෙදර එන්නේ චම්පි අතින් පිසුණු කෑමවේලක් කන්න බලාගෙනයි. ඇයට රසට උයන්න පුළුවන් අත්ගුණයක් පිහිටලා තිබෙනවා. තිබෙන දේ රසවත්ව උයන්න ඇයට පුළුවන්. අම්මාගෙන් පසුව මම රසටම කෑම කෑවේ චම්පිගෙන් තමයි.

දෙදෙනාටම විවේකයක් ලැබුණාම එය ගත කරන්නේ කොහොමද?

අපි හැම වසරකම කිරිවෙහෙර, ජය ශ්‍රී මහා බෝධිය, රුවන්වැලිසෑය වඳින්න යනවාමයි. එතැනට ගිහින් වැඳ පුදා ගන්න චම්පිත් මමත් දරු දෙදෙනාත් කැමැතියි. ජීවිතේ උපරිමව විඳිමින් බොහෝ දේ අපි ඉටු කරගෙන ඉවරයි. ඉදිරියටත් සරලව ධාර්මිකව ජීවිතය ගෙවන එකයි අපේ අරමුණ.

Comments