අතැ­ඹුල | Page 3 | සිළුමිණ

අතැ­ඹුල

රක්ෂිත වනෝද්‍යාන වැනි සංරක්ෂණ බිම් ඇති කරන්නේ ශාක හා සත්ත්ව ප්‍රජාව ආරක්ෂා කිරීම සඳහායි . අපි හැමෝම වාගේ මෙවැනි වනෝද්‍යානක සෆාරි අත්දැකීමක් ලබාගෙන තිබෙනවා කිව්වොත් එය බොරුවක් නොවෙයි. කැළෑ (වනාන්තර ) වලට අමතරව කොරල් පර, දූපත්, හිම බිම් හා කාන්තාර පවා මෙලෙසින් සංරක්ෂණය කරන්නේ ඒවායේ තිබෙන ජෛව විවිධත්වය හා සත්ත්ව වාසස්ථාන ආරක්ෂා කිරීමටයි.

නමුත් රාත්‍රී අහස සඳහා වෙන්වූ සංරක්ෂිත උද්‍යාන තිබෙන බව ඔබ දැන සිටියාද? අද අප ලෝකයේ තොරතුරු සියල්ල එකට කැටිකර රසඳුන පාඨකයන්ට ගෙනෙන අතැඹුල විශේෂාංගයෙන් ගෙන එන්නේ එවන් වූ අපූර්ව ස්ථාන පිළිබඳවයි. ලෝකයේ දියුණුවත් සමඟ අප අවට පරිසරය ද ශීඝ්‍රයෙන් දියුණු වෙමින්, මේ නිසාම වෙනස් වෙමින් පවතී.

නව ගොඩනැගිලි, මංමාවත්, රථ වාහන දිනෙන් දින වැඩි වන නිසා වායු දූෂණයත් ප්‍රබල ලෙසින් වැඩි වෙමින් පවතිනවා. ඊටත් වැඩියෙන් රාත්‍රී අහස නරඹන්නට වඩාත්ම බාධාවක් වන්නේ අලෝක දූෂණයයි. මේ නිසාම තමයි කෘත්‍රිම ආලෝකය නොමැති පැහැදිලිව අහස දැකගත හැකි ස්ථාන සංරක්ෂණය කිරීමට පියවර ගෙන තිබෙන්නේ.

අන්තර්ජාතික රාත්‍රී-අහස පිළිබඳ සංගමය (International Dark-Sky Association) මෙම වැඩසටහන 2001 වසරේදී ආරම්භ කර තිබෙන්නේ රාත්‍රී අහස හොඳින්ම පෙනෙන ස්ථාන සංරක්ෂණය කිරීමටයි. අලෝක දූෂණයෙන් තොර මෙම කළාප වල කෘත්‍රිම ආලෝකය ඉතාමත් අල්ප ලෙස පවතියි.

සාමාන්‍ය සෆාරි සඳහා තිබෙන උද්‍යාන වලට වඩා මෙම අභයභූමි විශේෂ වන්නේ බොහෝමයක් මෙම අභයභූමි සාමාන්‍ය මිනිස් වාසයෙන් තරමක් ඈතින් පිහිටා තිබෙන නිසා පැහැදිලි අහසක් නැරැඹීම සඳහා තිබෙන බාධා සියල්ලක්ම පාහේ මඟහැරී තිබෙන නිසායි. ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, චිලී, නැමීබියාව, ඊශ්‍රායලය, යුරෝපය, දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව හා නවසීලන්තයේ මෙම රාත්‍රී අහස සඳහා වෙන්වූ අභයභූමි දැකිය හැකියි.

මෙම අභයභූමි අතරට මෑතකදී සම්පූර්ණ දූපතක්ම එක්වූවා. ඒ තමයි නවසීලන්තයේ ග්‍රේට් බැරියර් දූපත. ඕක්ලන්ඩ් ප්‍රදේශයට අයත් මෙම දූපත ඉතාමත් සුන්දර දූපතක් වන අතර දැන් මෙය රාත්‍රී අහස නිරීක්ෂණය කිරීමට පැමිණෙන සංචාරකයන්ගේද ආකර්ෂණයට ලක්වන බැවින් එම දූපතෙහි වෙසෙන ජනයාට අමතර ආදායමක්ද මෙමඟින් ලබාගැනීමට හැකියාවක් ලැබී තිබේ.

ප්‍රංශයේ පික් ඩු මිඩි හි තිබෙන අභයභූමිය පිරෙනීස් කඳු මුදුන් වලට ඉහළින් පිහිටා තිබෙන සුන්දර ස්ථානයක්. ඇමෙරිකාවේ හාචිලී හි තිබෙන අභයභූමි හි දුරේක්ෂ වලින් සමන්විත විශාල අභ්‍යවකාශ නිරීක්ෂණ මධ්‍යස්ථාන ස්ථාපනය කර තිබෙන අතර ඒ සමහරක් ස්ථාන වෙත සාමාන්‍ය ජනයාට ඇතුළුවීමට අවසර නොමැත.

නමුත් අනෙකුත් අභයභූමි වෙත සාමාන්‍ය ජනයාට පැමිණ තෙරක් නොපෙනෙන රාත්‍රී අහස නිරීක්ෂණය කිරීමට හැකියාව තිබේ. www.darksky.org වෙත පිවිස මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ඔබට ලබාගත හැකිය.

Comments