පාසල් ගෙව­ත්තට මැන­වින් ඔබින කොම්පෝස්ට් පොහොර | Page 7 | සිළුමිණ

පාසල් ගෙව­ත්තට මැන­වින් ඔබින කොම්පෝස්ට් පොහොර

මීට දශක හයකට හතකට පමණ ඉහතදී 'රසායනික පොහොර' හාවිතයක් තිබුණේම නැති තරම් ය. ඒ වෙනුවට සෑම ගෙවත්තකම, එළවළු කොරටුවකම හාවිතා වූයේ 'කොම්පෝස්ට්'පොහොර පමණි.එමෙන්ම සෑම ගම්බද පාසලකම සිසු සිසුවියනට 'කොම්පෝස්ට්' පොහොර නිපදවා ගන්නා ආකාරය පාසල් ගෙවත්තේදීම කියාදෙනු ලැබිණි. ඒ අනුව සෑම සිසුවෙක්ම-සිසුවියක්ම සතියකට වතාවක් පමණ උදේ පාසලට පැමිණෙන විට හබරල කොළ ගොට්ටක දවටා ගොම ටිකක් රැගෙන ආ යුතු විය.ඊට අමතරව 'කැප්පෙට්ටියා'කොළ,ලාඩප්පා කොළ වැනි කොළ වර්ගයක් සහ අළු ටිකක්ද රැඟෙන ඒමට කෘෂිකර්ම ගුරු හවතා උපදෙස් දී තිබිණි. පාසල් වත්තේ පාත්ති සකසා එළවළු-පලතුරු වගා කරන ලද්දේ තරඟකාරී ලෙසය.පාසල් වත්තේ 'කොම්පෝස්ට්' පොහොර වලක් මැනැවින් නඩත්තු කරන ලද නිසා පොහොරවලින් කිසිදු අඩුවක් නොවිණි.එදා එළවළු පලතුරු යනාදියට රෝග වැළඳුනේ ඉතා අඩුවෙනි.පළිබෝධ නාශක-දිලීර නාශක හාවිතා වූයේ ඉතාම අඩුවෙනි.ඒ අතර පැරැණි කෙම් ක්‍රම ද හාවිතා විණි.

වර්තමානයේ තත්ත්වය ඊට වඩා කෙතරම් වෙනස්ද?මෙරටට 'රසායනික පොහොර' හඳුන්වා දීමත් සමඟ එහි අතුරුඵලයක් ලෙස විස රසායන වර්ග සහිත එළවළු-පලතුරු වෙළෙඳ පොළට ගලා එන්නට විය.ඇතැම් හඳුනාගත නොහැකි අන්දමේ සමේ රෝග යනාදිය ජනතාව අතර පැතිරයන්නට විය.එහි දරුණුම ප්‍රතිඵලය වූයේ වකුගඩු රෝගය යි.එහි ප්‍රතිඵලයක් ලෙස සැලකිය යුතු පිරිසක් යළිත් කාබනික පොහොර හාවිතයට නැඹුරු වන්නට විය.බොහෝ ගම්බද ගෙවතු වගාවල යෙදී සිටින අය සමඟ අප කළ කතා බහේදී දැනගන්නට ලැබුණේ මුලදී 'රසායනික පොහොර මුළාවේ' වැටී සිටියදී ලද අත්දැකීම් අවාසිදායක බවය.කොම්පොස්ට් පොහොර හාවිතයෙන් අඩු මුදලකින් වැඩි ප්‍රයෝජනයක් ලද හැකි අතර,භෝගවලට වැළඳෙන රෝග අවම වීමත්,විස රසායනවලින් තොර නැවුම් එළවළු-පලතුරු ආහාරයට ගැනීමට ලැබීමත්,කාමි නාශක-පළිබෝධ නාශක සඳහා වැයවන මුදල බෙහෙවින්ම

අවම වීමත් විශේෂිත වාසි සහගත තත්ත්වයන් බවද ගෙවතු වගාකරුවෝ පැවසූහ.වත්මන් රජය මඟින් ද කාබනික පොහොර භාවිතය කෙරෙහි ගොවි ජනතාව දැනුම්වත් කිරීම කෙරෙහි දක්වන අවධානය ඔවුහු අගය කළහ.

'කාබනික පොහොර' තම තමන්ගේ ගෙවතුවල නිපදවා ගැනීමේදී වගා කරුවෝ විවිධ ක්‍රම හාවිතා කරති සුදුසු ප්‍රමාණයේ වලක් කපා එයට කොළ රොඬු ,ගොම යනාදිය තට්ටුවෙන් තට්ටුවට යොදා වරින් වර උදැල්ලෙන් පෙරලීමෙන් ද,පොළව මතුපිට අමු කොළ වර්ග,අමු ගොම කොහු බත් යනාදිය තට්ටුවෙන් තට්ටුවට යොදා ආවරණය කර තබා තැම්බුණාට පසුව වරින් වර පෙරලීමෙන්ද බොහෝ දෙනකු කාබනික පොහොර නිපදවා ගනිති.'බැරල් ක්‍රමය' සහ පොළව මතුපිට ලී සිටුවා කොළ රොඩු-ගොම ආදිය පිරවීමෙන් ද පොහොර නිපදවීම කරනු ලැබේ.මේ සඳහා වෙනත් ක්‍රම ද අනුගමනය කරන - යම් යම් අත්හදා බැලීම් කරන අය ද සිටිති.

ඇහැලියගොඩ,බදුවත්තේ "මදාරා" පරිසරය සුරැකීමේ සංවිධානයේ නිර්මාතෘ එම්.ඩී.කරුණාදාස මහතා කාබනික කුඩු පොහොර,කාබනික දියර පොහොර සහ වියලි කොළ රොඩු වියළි ගොම කුඩු අඹරා පොහොර සකසන යන්ත්‍ර නිපදවා ඇත.ඊට අමතරව මුළුතැන්ගෙයි අපද්‍රව්‍ය භාවිතයෙන් ද පොහොර වර්ගයක් නිපදවා තම ගෙවත්තේ වගාවනට යොදයි.අදාල යන්ත්‍රයෙන් ගෑස් වෙසෙසක් ද නිපදවා ගත හැකි බව ඒ මහතා පවසයි.

 

නිමල් විජයතුංග

ඇහැලියගොඩ විශේෂ 

Comments