අස්වැ­න්න­ වැඩි කරන සරු පස | Page 3 | සිළුමිණ

අස්වැ­න්න­ වැඩි කරන සරු පස

කෘෂිකාර්මික කටයුතුවලදී පස ඉතා වැදගත් සාධකයකි.භෝගයට අවශ්‍ය ජලය සහ පෝෂක ප්‍රධාන වශයෙන් ලැබෙනුයේ පසෙනි.එහෙයින්ම සාරවත් පසක් ඉහළ අස්වැන්නක තීරණාත්මක සාධකයක් බවට පත්වේ. එහෙත් වර්තමානයේ සිදුවන විවිධ පාංශු හායන ක්‍රියාවලීන් හේතුවෙන් පසෙහි ගුණාත්මක භාවය ගිලිහෙමින් පවතියි.කෘෂිකාර්මික කටයුතු හේතුවෙන් ඇති වන පාංශු ඛාදනය සරු පස නිසරු වීමට බලපාන ප්‍රධාන කරුණකි. එහෙත් ක්‍රමවත්ව හා විද්‍යානුකූලව සිදු කරන කෘෂිකාර්මික පිළිවෙත් මගින් මෙම පාංශු ඛාදන ක්‍රියාවලීන් අවම කළ හැකිය. එය තිරසාර කෘෂිකර්මාන්තයක් සඳහා අත්‍යවශ්‍ය පියවරක් වේ. මෙහිදී සිදු කළ යුතු වන්නේ සාමාන්‍ය කෘෂිකාර්මික පිළිවෙත් සිදු කරන අතරතුරදී පාංශු ඛාදනය අවම කිරීමට කළ හැකි සරල පිළිවෙත් අනුගමනය කිරීමයි.

බිම් සැකසීම

බිම් සැකසීමේදී පස පෙරළන හෙයින් පස ලිහිල් වේ. එලෙස ලිහිල් වූ පස ජල සම්පාදනයේදී මෙන්ම සුළු වර්ෂවකදී වුවද පහසුවෙන් සේදී යයි.මෙහිදී කාබනික ද්‍රව්‍ය වියෝජනය වේගවත් වන අතර හිතකර ක්ෂූද්‍ර ජීවීන් හා පෝෂක සංඝටක පසෙන් ඉවත් වේ.එමනිසා සැමවිටම උත්සාහ කළ යුතු වන්නේ හැකි අවම ප්‍රමාණයෙන් බිම් සැකසීමයි.විශේෂයෙන්ම භෝගයට අවශ්‍ය ප්‍රමාණයට පමණක් සරිලන ගැඹුරින් යුතුව බිම සැකසීම වැදගත් වේ. වර්ෂාව අඩු කාලවලදී බිම් සැකසීම වඩා යෝග්‍ය වනු ඇත.

භෝග සිටුවීම

බෑවුම් බිම් වල භෝග සිටුවිය යුත්තේ බෑවුමට ලම්භකව සමෝච්ච රේඛා ඔස්සේය .එවිට බෑවුම ඔස්සේ පස සේදි යාමට බාදකයක් ලෙස මේ භෝග නිතැතින්ම ක්‍රියා කරනු ඇත.

තවද සමෝච්ච රේඛා ඔස්සේ බෝග සිටුවීම වගාව නඩත්තුවටද පහසුවක් වේ.භෝග සිටුවීමෙන් අනතුරුව වසුනක් හෙවත් භෝග පාදස්ථ බිම ආවරණය වන පරිදි ආවරණයක් යෙදීමද වැදගත් වේ.මෙහිදී පොලිතීන් වැනි කෘතිම වසුනක් හෝ ස්වාභාවික වසුනක් යෙදිය හැකිය.උදාහරණ ලෙස පොල් ලෙලි,ග්ලිරිසීඩියා,කොළ රොඩු ආදිය දැක්විය හැකිය.මෙවන් වසුන් මඟින් පාංශු ඛාදනය වැළැක්වීමට අමතරව තෙතමන සංරක්ෂණය, වල් පැළෑටි මර්දනය ආදී තවත් බොහෝ කාරණා ඉටුවේ.

වගාව නඩත්තුව

වගාව නඩත්තු කරන අතරතුරදී පාංශු ඛාදනය වළක්වා ගත හැකි ප්‍රධාන අවස්ථාවන් වන්නේ පොහොර යෙදීම සහ වල් පැළ මර්දනය කරන අවස්ථාවන් වලදීය .පොහොර යෙදීමේදි සැමවිටම උත්සහ කළ යුතු වන්නේ කාබනික පොහොර යෙදීමයි.කාබනික පොහොර මඟින් පාංශු ව්‍යුහය වැඩි දියුණු කරයි.එය පාංශු ඛාදනය වැළැක්වීමට උපකාරී වේ.

වල් පැළ මර්දනය කළ යුත්තේ භෝගයට හානිකර මට්ටම තෙක් ඒවා වර්ධනය වූ විට පමණකි.විශේෂයෙන්ම පහසුවෙන් පස සෝදා යා හැකි ස්ථානයන්හී ස්ථාපිත වගා බිම් වල වල් පැළ මර්දනය කිරීම පිළිබඳව සැලකිලිමත් විය යුතුය.එවන් වගා බිමක සම්පූර්ණයෙන්ම වල් පැළ ඉවත් කරන්නේ නම් පහසුවෙන් පස සේදී යයි.එහෙයින් භෝගය අවට පමණක් වල් පැළ මුලුමනින්ම ඉවත් කර අනෙක් තැන්වල විසි කැති ගෑම සුදුසු වේ.

තවද බෑවුම් බිම්වල වැටි බැදීම , කානු කැපීම මෙන්ම කෘෂි වන වගා සඳහා යොමු වීමත් මෙයට අමතරව කල හැකි තවත් අතිරේක පියවරයන් ය. සැමවිටම ස්වාභාවික පරිසරය සුරකිමින් කෘෂිකාර්මික කටයුතු වල නිරත වීම තිරසාර කෘෂිකර්මාන්තයකට අත්‍යවශ්‍ය පියවරක් වේ.

 

 උමයංගනා පූජනී ගුණසේකර

කෘෂිකර්ම පීඨය

රුහුණ විශ්වවිද්‍යාලය 

Comments