ට්‍රැජඩි විමසුම | සිළුමිණ

ට්‍රැජඩි විමසුම

ට්‍රැජඩි නාට්‍ය වඩාත් ජනප්‍රිය වූයේ සිව් වාර්ෂික ඇතැන්ස් සැණකෙළියේ දී ඒවා රඟ දක්වන්නට වැඩි අවස්ථාව ලැබුණු නිසා ඒවා නිෂ්පාදනය අධික වීමෙන් ජනතාවට අතරට යෑමේ අවස්ථාව එයට වැඩිපුර හිමි වීම නිසා බව ප්‍රකට කරුණකි. සාමාන්‍යයෙන් නිෂ්පාදන පරිමාව ඉහළ යෑමෙන් නිෂ්පාදිතයේ තත්ත්වය බාල වීමක් සිදු විය හැකි නමුත් මෙහි දී එය සිදු ව ඇත්තේ අල්ප වශයෙනි. නාට්‍ය නිෂ්පාදකයන් සහ රචකයන් ඉහළ අධ්‍යාපන මට්ටමක සිටි අය වීමත්, නාට්‍ය තරග පැවැත්වීම සහ එම තරගවලට ඉදිරිපත් කෙරෙන නිෂ්පාදනවල පිටපත් පූර්ව විනිශ්චයකට බඳුන් වීමත් නිසා ඒවා ඉහළ මට්ටමක පවතින්නට ඇති ය, යනු සාමාන්‍ය විශ්වාසය යි.

එහෙත් නාට්‍ය නිෂ්පාදනය විනා ඒවා ගැන විවේචනයක් නොතිබිණි. මේ අඩුව පිරිමසන්නට මුලින් ම ඉදිරිපත් වන්නේ ද නාට්‍ය නිෂ්පාදකයෙකි. ඇරිස්ටොෆනිස් (ක්‍රිපූ 446-386) නම් වූ ඔහු කොමඩි ගණයේ නාට්‍ය නිර්මාපකයෙකි. ඒ ගැන මහාචාර්ය කමනී ජයසේකරගේ සඳහන මෙසේ ය:

‘... නාට්‍යකරුවෝ සමාජයේ ගුරුවරු වන්නාහ. එහෙයින් ඔවුහු නිතැතින් ම ප්‍රභූ ගණයට අයත් වෙති. එසේ නම් පැරණි කොමඩි මගින් නාට්‍යකරුවන් ද විවේචනයට ලක් වීම අරුමයක් නොවේ. ඇරිස්ටොෆනිස්ගේ Batrchoi (ඉංග්‍රීසි: The Frogs, සිංහල: මැඬියෝ) නමැති නාට්‍යයෙන් මේ විශේෂ වගකීම ඔහු ඉටු කළේ ය. ...’

‘... නාට්‍යකරු සමාජයේ ගුරුවරයා නම් සමාජයේ දුර්වලතාවලට ඔහු බොහෝදුරට වග කිව යුතු විය. මෙවිට ඇරිස්ටොෆනිස්ට හැඟී ගියේ නාට්‍ය විචාරය පිළිබඳව ජනතාවට කිසියම් හැඟීමක් තිබිය යුතු බව ය. කෘතියක හොඳ නරක තමා නොදන්නේ නම් ගුරුවරයා හෙවත් නාට්‍යකරුපෙන්වන පෙන්වන මග විචාරයකින් තොරව ඔවුන් අනුගමනය කරනවා ඇත. ඇරිස්ටොෆනිස්ගේ අදහස පරිදි ඇතැන්ස් ජනතාව හොඳ නාට්‍යයක් හා බූරුවකුගේ පස්සා ගාත් දෙකක් අතර වෙනසවත් නොදනිති.’

(ජයසේකර කමනී, ග්‍රීක සම්භාව්‍ය සාහිත්‍ය විචාර, ගොඩගේ, කොළඹ, 38-39 පිටු)

‘මැඩියෝ’ නාට්‍යයේ චරිත ලෙස ඇරිස්ටොෆනිස් යොදා ගන්නේ දියොනියස් සහ හරෙක්ලෙස් වැනි දෙවිවරුන් සහ එවක ප්‍රමුඛ පෙළේ ට්‍රැජඩි නාට්‍යකරුවන් ව සිටි අය යි. මේ අතරින් ඔරෙස්ටියා ත්‍රිත්වයේ කර්තෘ ඊස්කීලස් (ක්‍රිපූ 525-456) සහ ‘ඉලේකට්‍රා’, ‘ට්‍රෝජන් කාන්තාවෝ’ වැනි කෘතිවල කර්තෘ යුරිපිඩස් (ක්‍රිපූ 480-406) ප්‍රධාන චරිත දෙකකි.

‘මැඩියෝ’ නාට්‍යය මගින් ඇරිස්ටොෆනිස් නාට්‍යවල ආකෘතිය පිළිබඳ ඉදිරිපත් කළ කරුණු පිළිබඳ මහාචාර්ය කමනී ජයසේකර ඉහත සඳහන් කෘතියේ දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කරයි.

‘නාට්‍ය විවේචනයේ දී සැලකිය යුතු ප්‍රධාන අංග දෙක වශයෙන් ඔහු දක්වන්නේ නාට්‍යයෙන් ඉදිරිපත් කෙරෙන හර පද්ධතිය හෙවත් පණිවිඩය සහ නාට්‍යය ඉදිරිපත් කිරීමට යොදා ගන්නා ශිල්ප ක්‍රමයි. ‘මැඩියෝ’ නාට්‍යයේ මේ අංග දෙක පිළිබඳ ඔහු දරන මතය වෙන් වෙන් වශයෙන් හඳුනාගන්නට එය බාධාවක් නො වේ. ඔහු ශිල්පක්‍රම පණිවිඩය ගෙන යෑමට යොදාගන්නා වාහකය වශයෙන් අවධානය යොමු කරයි. එහෙත් ඒ විවේචන තරමක් සැහැල්ලු ය.

යුරිපිඩස්: මා ඔබෙන් ට්‍රැජඩි බාර ගන්න කොට ඒ දුප්පත් සතා භයානක තත්ත්වයකයි හිටියෙ. කලාව මහත් වී පිරිහිලා. අති විශාල වචනවලින් ඔක්කොම පිම්බිලා. මට සිදු වුණා ඉක්මනින් ඇගේ බර අඩු කරන්න. සරල වචන සහ සිහින් ව කපා ගත් තර්ක. පොත්වලින් සොයා ගත් විශේෂ භාෂා උපක්‍රමවලින් දිරවන්න පහසු වෙන විධියට පෙරා මා ඇයගෙ ආහාර පාලනය කළා.’

‘යුරිපිඩස් සහ ඊස්කීලස් යන දෙදෙනාම ට්‍රැජඩි නාට්‍යකරුවන් වන නිසා මැඩියන් මගින් විවේචනය කරනු ලබන්නේ ඔවුන්ගේ ට්‍රැජඩි නාට්‍යයන් ය. ප්‍රථමයෙන් ම ශිල්පක්‍රම කෙරේ අවධානය යොමු කරමින් ඇරිස්ටොෆනිස් ඉහත කී නාට්‍ය කරුවන් දෙදෙනා ම ට්‍රැජඩියක අඩංගු ලක්‍ෂණ වශයෙන් 1. වස්තු බීජය, 2. තේමාව, 3.චරිත ගොඩනැංවීම, 4. රංග භූමි දර්ශන, 5. සමූහ ගායනා, 6. භාෂාව හා රචනය, 7. කතා වස්තු හැසිරවීමට යොදන දෘෂ්ටි කෝණය යන මේවාට එකඟ බව පෙන්වා දී තිබේ.’

(ඉහත සඳහන් කෘතිය, 54-55 පිටු)

මෙලෙස ඇරිස්ටොෆනිස් මැඩියෝ නාට්‍යයෙන් සිය පූර්වගාමීන් වූ ඉහත සඳහන් නාට්‍යකරුවන් දෙදෙනා විවේචනය කරමින් ට්‍රැජඩි නාට්‍යය පිළිබඳ සිය අදහස් පළ කරයි. එහෙත් ඇරිස්ටොෆනිස් නාට්‍ය විචාරය ගැන හෝ නාට්‍යවලට අදාළ වෙනත් කරුණු ගැන හෝ ග්‍රන්ථයක් රචනා කළේ නැත. ඊට හේතුව ඔහු දාර්ශනිකයකු හෝ ගුරුවරයකු හෝ නොවීම විය හැකි ය.

ඊස්කීලස්, යුරිපිඩස් සහ ඇරිස්ටොෆනිස් ජීවත් වූ කාලපරාස අතර වැඩි වෙනසක් නැත. ඇරිස්ටොෆනිස් මැඩියෝ රචනා කරන විට අනෙක් දෙදෙනා මියගොස් වන්නට ඇතයි සැලකිය හැකි ය. කලාවට අධිපති දියොනියස් දෙවිඳුන්ට එම දෙදෙනා හමු වන්නේ එලොව දී වන හෙයිනි. එ සමය වන විට මෙලොව හොඳ කවීන් නැති වීම නිසා හොඳ කවියකු සොයා ගැනීමට ඒ දෙවිඳුන් තුළ උනන්දුවක් ඇත. දියොනියස් යුරිපිඩස්ගේ කෘති කියවා ඇති අතර එම කෘති යහපත් ඒවා බව ඔහුගේ අදහස යි. එලොව දී ඔහුට යුරිපිඩස්ට අමතරව ඊස්කීලස් ද මුණගැසේ. එහෙත් මේ කවීන් දෙදෙනා ද එතරම් විශිෂ්ටයන් නොවන බව ඇරිස්ටොෆනිස්ගේ අදහස ය.

‘ඇරිස්ටොෆනිස් ඔවුන් දෙදෙනාගේ ම ශිල්පක්‍රම හාස්‍යයට ලක් කරයි. දෙදෙනාගේ ම දුර්වලතා සහ ඔවුන්ට ආවේණික වූ එක් එක් උපක්‍රම සරදමට භාජනය කරයි. එහෙත් මේ විචාරය ඉදිරිපත් වූයේ විධිමත් බුද්ධිමත් ආකරයට වඩා සරල සැහැල්ලු ස්වරූපයෙනි. මෙයින් එක් දෙයක් පැහැදිලිව පෙන්නුම් කරයි. එනම්: එක් එක් නාට්‍ය ශිල්පියා උපයෝගි කරගන්නා ශිල්පක්‍රම එකිනෙකට වෙනස් බවත්, ඒවා ඔවුන්ගේ වස්තුබීජයට උචිත නම් එසේ කිරීම වරදක් නොවන බවත් ය. ශිල්පක්‍රම තෝරාගෙන පරිහරණය කිරීම සම්බන්ධයෙන් නාට්‍යකරුවාට සම්පූර්ණ නිදහසක් තිබිය යුතු ය, යන්න ඔහුගේ හැඟීම වූවා වැන්න.’

‘... වස්තුබීජය යථාර්ථවාදි ව ඉදිරිපත් කරන්නේ ද? නැද්ද? යන්න තීරණය කරන්නේ නාට්‍යකරුවා ම ය.එසේ වස්තුබීජය තෝරාගැනීමේ දී නාට්‍යකරු ඉතා පරිස්සම්සහගත විය යුතු බව ඇරිස්ටොෆනිස් අදහස් කරයි. මන්ද යත්: සමාජය වෙත ඉදිරිපත් කෙරෙන පණිවිඩය හෙවත් පාඩම තෝරාගනු ලබන්නේ මෙමඟින් වන හෙයිනි.’

(ඉහත සඳහන් කෘතිය, 56 පිටුව)

Comments