
අපි නිදහස ගැන කතා කරමු; වසරින් වසරට නිදහස නොයෙකුත් වර්ණවලින් පාට කරමු. එහෙත් අප නිදහසේ සැබෑ හැඩතලය හඳුනාගැනීමට සමත් වී ඇත්තේ ද යන්න ගැටලුවක ස්වරූපයෙන් ඉස්මත්තට එන්නේ සැබෑ නිදහස්කාමීන්ගේ ජීවන තතු විමසන විට ය. තාක්ෂණික යුගයක විභාග හා රැකියා ඉලක්ක කරගත් අධ්‍යාපනයකට හුරු වී සිටින අපට ඉන් ඔබ්බෙහි වන දැනුම්කලාප ඇත්තේ ද, ඒවා මොනවා ද යන්න පෙන්වා දෙන මාලිමාවක් වැනි වූ යුගපුරුෂයකු හා මහාකවියකු හඳුනාගනිමින් ඒ ජීවන දර්ශනය ඔස්සේ නිදහසේ සැබෑ අරුත හඳුනාගැනීම සඳහා කිසියම් උත්සාහයක යෙදීමට අද දවසේ අපි අදහස් කරමු. මේ විශිෂ්ට පුද්ගලයා වන්නේ මහා කවි රවින්ද්‍රනාත් තාගෝර් (1861-1941) ය.
පෙබරවාරි 04 නිදහස් දිනය ලෙස අප වැඩිදෙනකුට ඉතා හොඳින් මතක තිබෙන්නේ එය නිවාඩු දවසක් වන නිසා ය. පෙබරවාරි 2-3 දිනවල ගමන්-බිමන් යන අපට ජාතික කොඩි ගොඩගසා විකුණන වෙළෙඳසල් සහ වෙළෙඳුන් ද දක්නට ලැබෙයි. එමෙන් ම ජාතික කොඩියට ඉල්ලුමක් ඇති බව පෙනී යන්නේ ක්‍රිකට් තරගයක් ආසන්න වන විට ය. මංගල උත්සවයකදී හෝ වෙනත් උත්සව අවස්ථාවකදී සිංහ ධජය සුළඟේ ලෙළ-දෙනු අපට පෙනී යන අවස්ථා ද තිබේ. මේ හැරුණු විට නිදහස ආශීර්වාදයක් බවට පත් කරගනිමින් අප විසින් ඉෂ්ට-සිද්ධ කරගනු ලැබූ වෙනත් කිසියම් කාර්යසාධනයක් ඇත්තේ ද යන්න සිතා බැලීමට නිදහස් දිනයේ හෝ අප නිදහසක් ලබාගත යුතු ය. ඒ සඳහා අපූරු අවකාශයක් විවර කර දෙන්නේ තාගෝර් චින්තනය යි.
විශිෂ්ට කලාකෘතියක් බිහි කිරීම සඳහා මානසික නිදහස අත්‍යවශ්‍ය යැ යි බොහෝ දෙන කියති. නිහඬ පරිසරයක් මෙන් ම සැනසිලිදායක මනෝභාවයක්, දේශපාලන නිදහසක් නැතිව හොඳ කලාකෘතියක් බිහි නොවන බව ය, බහුතරයකගේ මතය වන්නේ. කලක් මා තුළ ද පැවැති මේ අදහස, කිසියම් දෙදරීමකට ලක් වූ අවස්ථා ගණනාවක් ම තිබේ. ඒ එක් දිනයක් ලෙස මතක් කරගත හැකි වන්නේ වැලිකඩ සිරගෙදර අවට වෙසක් කලාපය නරඹමින් සිටි වෙසක් පුරපසළොස්වක දිනයකි. සිරකරුවන් අතින් නිර්මාණය වූ ඒ අපූරු වෙසක් සැරසිලි දුටු මට සිතුණේ මෙවැනි සියුම් කලානිර්මාණ සඳහා උත්තේජනයක් සපයන පරිසරයක් සිරගෙදර තුළ තිබිය හැකි දැ යි කියා ය. තවත් අතකින් සිතා බලන විට ප්‍රජාතන්ත්‍රවාදි පාලන ක්‍රමයක් හෝ නිදහස් වාතාවරණයක් නොපැවැති අතීත යුගවල ඉදි වූ සීගිරිය, අවුකන හා සමාධි පිළිමය හා සීගිරි ගී දකින-කියවන විට ද මා තුළ බොහෝ විට මතුව නැඟුණේ මේ ප්‍රශ්නය යි.
නිදහස් රටක, ප්‍රජාතන්ත්‍රවාදි පාලනසමයක අප භුක්තිවිඳින යම් නිදහසක් වේ නම් ඊට සරිලන නවෝත්පාදන අප අතින් බිහි වී තිබේ ද? විමර්ශනය පෝෂණය කිරීමෙහි ලා කලාවේ, සාහිත්‍යයේ කාර්යභාරය කෙබඳු ද? ලාභ උපරිම කරගැනීමේ, ලාභ කඳුගැසීමේ ඉලක්කය වටා සංවිධානගත වූ අධ්‍යාපනයකින් මිනිස් සිතකට, මිනිස් ජීවිතයකට සෙතක්, ශාන්තියක් උදා කරගත හැකි ද යන ප්‍රශ්නවලට සැපයෙන ඍජු හා වක්‍ර පිළිතුරු ගණනාවක් තාගෝර් චරිතයෙන්, ඒ චින්තනයෙන් උකහා ගැනීමට පුළුවනි.
තාගෝර් වැනි නිර්මාණශීලි ලේඛකයෝ හුදු කලාකෘති පමණක් නිපදවන්නෝ නො වෙති. ඔවුහු නව ජීවනකලාවක් ද නිර්මාණය කරති. ඒ කලාව, ඒ ජීවන රටාව ඔවුන්ගේ නිර්මාණශීලි හැඟීම සමාජ පරිවර්තනයකට බඳුන් කරයි.
(මාර්ටින් කාම්ප්චෙන්, උපුටාගැනීම: ඉන්දියා දර්ශන, වෙළුම 24, අංක 2/2010)
චින්තනයේ තාර්කික ලක්ෂණ ගැන සිත යොමු කරන්නට කුඩා කාලයේදී ම දරුවන් යොමු කිරීමේ ප්‍රතිලාභය කවර දා හෝ අත්පත් කරගන්නේ ඒ දරුවන් ම බව අප අමතක කර ඇත. එහෙත් තාගෝර් චින්තනයට අනුව මිනිසා ලෝකයට බිහි වූයේ දෙවියන්ගේ එක ම උපදේශයක් මත ය. එය මෙසේ ය:
‘ඔබේ හැටි ප්‍රකාශ කරන්න’
සියවසරකට පෙර පිහිටුවනු ලැබූ අද දවසේදී ‘පථාභවන’ ලෙස හැඳින්වෙන තාගෝර්ගේ පාසල ව්‍යූහගත වී ඇත්තේ මේ අවධාරණයට නිදහසේ පිළිතුරු සැපයිය හැකි වාතාවරණයක ය. පථාභවන යනු ශාන්ති නිකේතනයේ එළිමහන් පාසල ය. ශාන්ති නිකේතන පාසලේ මුල්කාලයේ එළිමහන් පන්ති පැවැත්වුණේ විවිධ ඍතුවල බලපෑම් දරුවන්ට හැඟෙන-දැනෙන ආකාරයට ය. මිනිසා හා සොබාදහම අතර වැට-මායිම්, කඩුලු නිර්මාණය වී තිබීම අහිතකර වන බව තාගෝර් කවියා දැන සිටියේ ය. සොබාදහමට සමීප වීම නාගරික කලබලකාරිත්වයෙන් මඳකට හෝ ඈත් වීම ගුරු-ගෝළ සබඳතාවට මනා අවකාශයක් විවර වීම මෙන් ම උතුම් වූ සත්‍ය ගවේෂණය සඳහා ඒ ඔස්සේ ආලෝකධාරාවක් එල්ල කිරීම ද එහි අරමුණ වී තිබිණ. ‘ඔබේ හැටි ප්‍රකාශ කරන්න’ යන අවධාරණය ඔස්සේ දරුවන් උනන්දු කරවනු ලැබුවේ ස්වයම්ප්‍රකාශන ඉදිරිපත් කිරීම සඳහා ය. ප්‍රශ්නෝත්තර කටපාඩම් කරවීමක් එහිදී සිදු වුණේ නැත. දරුවන්ට තුන් ආකාරයක සම්බන්ධතා තිබිය යුතු යැ යි තාගෝර් විශ්වාස කළේ ය. ඒ පරිසරය, සොබාදහම හා මිනිසා ය.
ජීවිතයේ සියුම් ඉසවු ගැන පන්තිකාමරයකදී දරුවකුට ඉගැන්විය නොහැකි ය. හදවතේ සියුම් ඉසවු ස්පර්ශ වන්නේ විශිෂ්ට කවියක්, විශිෂ්ට සාහිත්‍යයක් රසවිඳින විට ය; පරිසරය ආස්වාදනය කරන විට ය. තමා ජීවත් වන්නේ කුමක් සඳහා ද, තමාට අවශ්‍ය වන්නේ කුමක් ද වැනි ප්‍රශ්නවලට පිළිතුරු ගලා එන්නේ එවන් වූ සියුම් වූ වින්දනයන් ද සමඟිනි. මහා කවියා එය වචනවලට නඟන්නේ මෙසේ ය:
‘මිනිසා සිය අභිමතය අනුව ක්‍රියා කිරීමෙන් වැළකී, පුරුද්දට ගැති වන විට ඔහු පරපුටුවකු බවට පත් වෙයි. එසේ වීමෙන් ඔහු තමන්ට පවරා ඇති කාර්යය ඉටු කරගැනීමේ මාර්ගය අහෝසි කරගනී. කාර්යය ඉටු කිරීම යනු: ‘කළ නොහැකි සේ පෙනෙන දේ කළ හැකි දේ බවට පත් කිරීම, මගින් ප්‍රගතියේ මාවත ඔස්සේ මිනිසාගේ සැබෑ ඉරණම කරා ගමන් කිරීමයි’.
රවීන්ද්‍රනාත් තාගෝර් මහා කවියා උපන්නේ බෙංගාලයේ ය. ඔහුගේ බස වූයේ බෙංගාලි බස ය. එය ලෝක භාෂාවක් නොවේ. එහෙත් තාගෝර් කවියා මුළුමහත් ලෝකයේ ම මහා කවියකු බවට පත් වූයේ ය. නොබෙල් ත්‍යාගය දිනූ ප්‍රථම ආසියාතිකයා වීමේ ගෞරවය හිමි වන්නේ ද ඔහුට ය. රටවල් දෙකක් සඳහා ජාතික ගී රචනා කළ එක ම රචකයා වන්නේ ද ඔහු ය. ඒ දෙරට වන්නේ ඉන්දියාව හා බංග්ලාදේශය යි. කවියකු, නාට්‍ය රචකයකු, ගීත රචකයකු, නවකතාකරුවකු හා ඒ සියල්ලට වැඩියෙන් චින්තකයකු ද වූ තාගෝර්, චිත්‍ර ශිල්පියකු බවට පත් වූයේ ජීවිතයේ පශ්චිම යාමයේදී ය. වසර 60 වන විට තෙලිතුඬ අතට ගත් මේ මහා කවියා එමඟින් ලොවට දැක්වූ ආදර්ශය වූයේ ජීවිතයේ ඕනෑ ම අවස්ථාවක, ඕනෑ ම කෙනකුට, ඕනෑ ම දෙයක් ආරම්භ කළ හැකි බව ය. මේ සියල්ලට පාදක වන්නේ මානසික නිදහස ය.
තාගෝර් චින්තනය ප්‍රභාස්වරව දැල්වෙමින් පැවැතුණේ ආධ්‍යාත්මික අවශ්‍යතා විෂයයෙහි ම නො පවේ. භෞතික පක්ෂය කෙරෙහි ද ඔහුගේ නිරන්තර අවධානය යොමු ව තිබිණි. ස්වභාවධර්මයේ ක්‍රියාකාරිත්වයට මුල් වූ හේතුව ගවේෂණය කිරීමේ පිපාසයකින් පෙළුණු තාගෝර් කවියා ඇල්බට් අයින්ස්ටයින් වැනි සමකාලීන විද්‍යාඥයන් සමඟ ද දීර්ඝ ලෙස අදහස් හුවමාරු කරගෙන තිබේ. 1930 වසරේ ජර්මනියේදී ඔහු අයින්ස්ටයින් සමඟ සංවාදයේ යෙදී ඇත්තේ යථාර්ථයේ සහ අහම්බයේ ස්වභාවය පිළිබඳව ය. එය තමා අනුදත් ස්වභාව ධර්මය පිළිබඳ උපනිෂද් දර්ශනය හා අදාළ ස්වකීය අර්ථනිරූපණයන් වර්ධනය කරගැනීමට උපකාරි වන්නකි යි ඔහු දැන සිටියේ ය.
තාගෝර් අධ්‍යාපන කවයේ මුලසුන හෙබවූ ප්‍රවීණ කවියකු, නාට්‍යරචකයකු වන උදය නාරායන සිංගේ අදහසකට අනුව විශ්වීය මිනිසා තනන අධ්‍යාපනයක් (මිනිසා විශ්වයේ හරිමැද සිටුවා අවට බැලීමට අවස්ථාවක් සලසාදෙන ආකාරයේ අධ්‍යාපනයක්) ගැන තාගෝර් හැරුණු විට මෙතෙක් සිතා බැලූ කිසිවෙක් නැත. ‘ඉන්දියා දර්ශන’ 24 වෙළුම (2/ 2010) වෙත ලිපියක් සපයමින් උදය නාරායන සිං කියා සිටින්නේ දැනුම හෝ දක්ෂතාව පමණක් මිනිසුන් දීර්ඝ දුරක් ගෙන නොයන අතර, ඊට වැඩි යමක් අපට අවශ්‍ය බව ය. එහිදී නාරායන සිං විසින් අයින්ස්ටයින්ගේ අවධාරණයක් උපුටා දක්වනු ලබන්නේ ඒ බව සනාථ කරවනු පිණිස ය.
දැනුම සහ දක්ෂකම පමණක් ම හේතුවෙන් මනුෂ්‍යත්වය ප්‍රීතිමත් සහ උදාර ජීවිතයකට යොමු වන්නේ නැත. මෙහිදී උසස් සදාචාර ප්‍රමිති සහ හරයන් ප්‍රකාශ කරන්නන්, විෂයමූල සත්‍ය ගවේෂකයන්ට වඩා ඉහළින් ඔසවා තැබීමට සෑම හේතු යුක්තියක් ම ඇත. බුද්ධ, මෝසස් සහ ජේසුස් වැනි පුරුෂයන්ට මනුෂ්‍යත්වය කොතරම් ණය ගැති ද? කුතූහලාත්මක හා නිර්මාණාත්මක බුද්ධියේ සියලු ජයග්‍රහණවලට වඩා ඔවුන් උසස් බව මගේ අදහසයි.
- ඇල්බට් අයින්ස්ටයින්, (1879-1955)
මේ ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන්ගේ ගොඩට මම තාගෝර්ගේ නම ද එකතු කිරීමට කැමැත්තෙමි’ යි උදය නාරායන සිං වැඩිදුරටත් කියයි. ඒ, මිනිසා සම්පූර්ණ වන්නේ කෙසේ ද යන පැනයට පිළිතුරු තාගෝර්ගේ ජීවිතය හා ඒ අවධාරණ හරහා විසිරී-පැතිරී ඇති හෙයිනි.
ප්‍රජාතාන්ත්‍රික සමාජයක මානවශාස්ත්‍ර අධ්‍යාපනයේ කාර්යභාරය හා වැදගත්කම පැහැදිලි කරමින් මාර්තා සී නස්බෝම් විසින් ලියන ලද 'for Profit: Why Democracy Needs the Humanities' නම් කෘතියේ (‘කලාව කුමකටද’ නමින් මෙය සිංහලට පරිවර්තනය කරනු ලැබ ඇත්තේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති විසිනි) ශික්ෂණ විද්‍යාව (තර්ක කිරීමේ වැදගත්කම) ගැන අපූරු සඳහන් කිහිපයක් ම වෙයි. සොක්‍රටීස් පවසා ඇත්තේ ද ‘පරීක්ෂාවට ලක් නොකරන ලද ජීවිතය මනුෂ්‍යයකුට ජීවත් වීමට නොවටිනා ජීවිතයකි’ යි කියා ය. අප කවුරුත් දන්නා පරිදි සොක්‍රටීස් දිවි පිදුවේ විචාරාත්මක ප්‍රශ්න කිරීම නම් වූ පරමාදර්ශය උදෙසා ය. මහාචාර්ය මාර්තා නස්බෝම් ඉහත කෘතියෙන් පෙන්වා දෙන්නේ ‘සොක්‍රටික චින්තනය ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදි සමාජයක වැදගත් වන දෙයකි’ යි කියා ය. ජනවාර්ගිකත්වය, කුලය හා ආගම යනාදියෙන් වෙනස් ජනතාවන්ගේ පැවැත්ම යන යථාර්ථය පිළිගැනීමට තැත් කරමින් සිටින සමාජවලට මේ චින්තනය විශේෂයෙන් ම වැදගත් වන ආකාරය ඇය සාධක සහිතව පෙන්වා දෙයි.
‘පරීක්ෂාවට ලක් නොකරන ලද ජීවිත ගත කරන මිනිසුන් නිසා ඇති වන තවත් ගැටලුවක් නම් ඔවුන් එකිනෙකාට ගෞරවයෙන් තොරව සැලකීම යි. දේශපාලන විවාදය යනු තමන්ගේ පිලට ලකුණු රැස් කරන ක්‍රීඩා තරගයක් යැ යි මිනිසුන් සිතන විට, ඔවුන් අනිත් පාර්ශ්වය සතුරන් සේ දකින්නටත්, ඔවුන්ගේ පරාජය නැත් නම් අවමානය අපේක්ෂා කරන්නටත් ඉඩ ඇත. එකඟාතාවකට එන්නට හෝ පොදු තැනකට ආ යුතු ය, යන්න එවැනි අයට සිතෙන්නේ නැත.’
(කලාව කුමටද, 78-79 පිටු)
මෙය අපට අපගේ ඇස්-කන්වලට, සිතට මොන තරම් නම් හුරු-පුරුදු වූවක් ද? පක්ෂ දේශපාලනය තුළ මේ ස්වභාවයෙන් ඇට්ටකුණා වී ඇති පුද්ගල ජීවිත අකා-මකා හෝ වෙනස් කළ හැකි බවක් මේ යුගයේ අපට පෙනී යන්නේ ද?
ශිෂ්‍යයන් තුළ අනුවේදනය වගා කළ හැකි වන්නේ සාහිත්‍ය හා කලා පිළිබඳ ඉගැන්වීමේදී බොහෝ සාහිත්‍ය කෘති, සංගීතය, ලලිතකලා හා නැටුම් යනාදිය සමඟ කටයුතු කිරීම ඇසුරෙනි යි පෙන්වා දෙන මාර්තා නස්බෝම්, අමෙරිකාවේ විටින් විට පමණක් භාවිත කරනු ලබන සංගීතය හා නැටුම් පිළිබඳ අවධානය අතින් තාගෝර් බටහිරට වඩා ඉදිරියෙන් සිටියේ යැ යි ද කියයි. තාගෝර්ගේ විශේෂ සැලකිල්ලට යොමු වූ කාන්තාව පිළිබඳ මහාචාර්ය මාර්තා නස්බෝම් තබන සටහන මෙවැනි ය:
ඇය පෙන්වා දෙන්නේ කාන්තාවන් පත් කර ඇත්තේ තමන්ගේ ශරීරය පිළිබඳ ලජ්ජා විය යුතු හා නිදහසේ ශරීරය මෙහෙයවීමට අවසර නැති කොට්ඨාසයක් ලෙස වන බව යි (විශේෂයෙන් පුරුෂ පාර්ශ්වය ඉදිරියේ). ස්ත්‍රී-පුරුෂ ප්‍රභේදය හේතුවෙන් ස්ත්‍රිය අත්විඳින අසාධාරණය පිළිබඳ තියුණු දැක්මක් නිදහස්කාමියකු වූ තාගෝර් තුළ පැවති අතර, නිදහසේ හැසිරෙන්නැ යි දරුවන්ට කී පමණින් සාම්ප්‍රදායික මර්දනය මැඬගෙන නැඟී සිටින්නට ඔවුන්ට හැකියාවක් ලැබෙනු ඇතැ යි ඔහු විශ්වාස කළේ නැත. ඒ අනුව මැනවින් රංග වින්‍යාසය කරන ලද චලනයන් ඔස්සේ ඔවුන් ඒ-මේ අත චලනය කරවීම, වැඩි නිදහසක් ඔවුන්ට අත්පත් කර දෙන බව ඔහු දුටුවේ ය. තමන් හැඳ සිටින සාරිය ලිහී-ගැලවී යෑම හේතුවෙන් ශරීරය අනාවරණය වීම පිළිබඳ බියකින්, චකිතයකින් තොරව නිදහසේ ශරීරය මෙහෙයවිය හැකි ඇඳුමක් ස්ත්‍රිය සඳහා නිර්මාණය කර දෙන ලෙස තාගෝර් වරක් සිය නෑනණ්ඩියගෙන් ඉල්ලීමක් කළ බව මහාචාර්ය මාර්තා සී. නස්බෝම් පැහැදිලි කරයි. ඊට ප්‍රතිචාර දක්වමින් ඇය නිර්මාණය කළ හැට්ටය අද පවා ඉන්දියාවේ සෑම තැන ම පාහේ ස්ත්‍රීන් සාරියට අඳින හැට්ටය බට පත් වී ඇති බව ද ඇය වැඩිදුරටත් පෙන්වා දෙයි.
මහා කවි රවීන්ද්‍රනාත් තාගෝර්ගේ නිදහස් චින්තනය සියලු සීමා-මායිම්, සියලු වැට-කඩුලු තරණය කරමින් ගලා-ගිය මහා ප්‍රවාහයක් ලෙස හැඳින්වීම නිවැරදි වන්නේ මේ අනුව ය. සුවිශේෂ ලක්ෂණ සහිත ‘රබීන්ද්‍ර සංගීත්’ නම් වූ අපූරු සංගීත ආරක් බිහි කළ මේ මහා චින්තකයා ‘ගීතබිතාන්’ නම් වූ ග්‍රන්ථය සංස්කරණය කළේ ‘පූජාභක්ති ගීත’ සහිත පරිච්ඡේදයක් ද ඊට එක් කරමිනි. ‘බිපුල තරංගා රේ’ (අහෝ! මේ දැවැන්ත රළ) ලෙස ඇරඹෙන ගීතයක් මේ කොටසට එක් වී ඇත්තේ තාගෝර්ගේ කනිෂ්ඨ පුතණුවන් වූ සමීන්ද්‍රනාත් (1896-1907) එකොළොස්වන වියේදී මිය-යෑම පාදකව ය. එහෙත් වියෝදුකක්, පශ්චාත්තාපයක් ගැන කිසිදු සඳහනක් මේ ගීතයට අන්තර්ගත වී නැත. එහි තේමාව වී ඇත්තේ අනවරත ජීවන චක්‍රයේ සොඳුරු අබිරහස යි. ඒකත්වය, සමස්තය සමඟ සුසංයෝග කිරීමේ පරමාර්ථයෙන් බිහි වූ රබීන්ද්‍ර සංගීතය, ග්‍රාහකයා තුළ සදාතනික හා සමස්ත රස පරාසයක් මවයි. කවියාගේ මේ අපූරු සංගීතය ඕනෑ ම කෙනකුට ජීවිත ගමනේ විවිධ අවස්ථාවල සුමිතුරු ගමන්සගයකු බවට පත් කරගත හැකි වන්නේ එහෙයිනි.
කවදත් තාගෝර්ගේ විශ්වාසය වූයේ අධ්‍යාපනය තුළ තරගයට ඉඩක් නැති බව ය. පාසල මගහැරිය ද පසුකලෙක සුවිශිෂ්ට අධ්‍යාපනඥයකු බවට පත් වූ එතුමා ‘පථාභවන’ සහ ‘ශික්ෂාශාස්ත්‍ර’ යන පාසල් දෙක ද ඇතුළුව ශාන්ති නිකේතනයේ ‘විශ්වභාරතී’ අන්තර්ජාතික විශ්වවිද්‍යාලය පිහිටුවීමට පුරෝගාමි වූයේ ය. අධ්‍යාපනය හා නිදහස පිළිබඳ එතුමාගේ නිර්වචන සර්වකාලීන ය; සාර්වභෞමික ය.
‘දැනුම සඳහා අමුද්‍රව්‍ය අත්පත් කරගැනීමෙන් හෝ අනෙක් අයගේ අදහස් අයිති කරගැනීමෙන් හෝ අපේ මනසට සැබෑ නිදහස අත් නො වේ. එසේ නිදහස ලැබෙන්නේ ඒ මනසට ම අයත් විනිශ්චය ප්‍රමිතීන් ඇති කරගැනීමෙන් හා ඊට අයත් සිතිවිලි නිෂ්පාදනයෙනි.
- රවීන්ද්‍රනාත් තාගෝර් (1915දී තම පාසලේ විෂයමාලාවක් සඳහා ලියූවකි)
කසායක් මෙන් බලහත්කාරයෙන් ගිල්වනු ලබන පාඩම්, යාන්ත්‍රික ලෙස මතක තබාගන්නා දරුවා සම කළ හැකි වන්නේ රොබෝවකුට ය. දරුවකුට විභාගවැට තරණය කිරීම සඳහා මේ ක්‍රමයෙන් කිසියම් අනුබලයක් සැපයුණ ද, ඔවුන්ගේ සිත්සතන් තුළට ආනන්දනීය පූර්ණත්වයක් කාන්දු කිරීමට එය කිසි සේත් ප්‍රමාණවත් වන්නේ නැත. ගවේෂණීය විචාර චින්තනය, නිර්භීත පරිකල්පනය සඳහා යොමු නොකළ දරුවන් අනුක්‍රමයෙන් රූපාන්තරණය වන්නේ ලාභ උපයන්නන් බවට ය. ලාභය කඳුගැසීම, ජීවිතයේ ඒකායන අරමුණ කරගත් මිනිසුන්ගෙන් පිරි අනාගත ලෝකය සඳහා වැඩි-වැඩියෙන් සිරගෙවල් ද නිර්මාණය විය යුතු ව තිබේ. ලාභ කඳු ගැසීම හේතුවෙන් හිරේ විලංගුවේ වැටෙන්නෝ මෙකල ද සිටිති.
යටත්විජිත යුගයේ පටන් ඉන්දියාවේ අධ්‍යාපනය සැකසී තිබුණේ ද උගත් දේ වැමෑරීමේ ක්‍රමවේදයට අනුව ය. තාගෝර් වැන්නකුට එවැනි අධ්‍යාපනයක නිරත වීම උගහට වූයේ ඒ නිසා ය. තාගෝර් ළමා කාලයේදී පාසල හැර ගියේ තමා තුළ වූ කිසිවක් විකසිත කරන්නට මේ නීරස අධ්‍යාපනය සමත් නොවන බව තේරුම් ගැනීම හේතුවෙනි. එවැනි හැඟීම්-දැනීම් උපදින්නේ ආලෝක මිනිසුන් තුළ ය. ආලෝක මිනිසා යනු නිදහසේ සිතන්නට දන්නා මිනිසා ය.
දැන්, තාගෝර් දැල්වූ මේ පහන් ආලෝකයෙන් අපට අප දෙස බලන්නට පුළුවනි. අපගේ ජයග්‍රහණ මොනවා දැ යි යළි-යළිත් සිතා බලන්නට දැන් වඩාත් අපට බල කෙරෙමින් තිබේ. නවෝත්පාදකයන් කෙසේ වෙතත් වෙළෙන්දන්ගෙන් හා බ්‍රෝකර්වරුන්ගෙන් නම් අපේ රටට හිඟපාඩුවක් නැති බව ය, බැලූ බැල්මට නම් පෙනී යන්නේ. අපි ඇතැම් විට කාගේ හෝ න්‍යායක් තුළ සිරගත වී සිටිමු. ධනවාදය වේවා, සමාජවාදය වේවා, නව ලිබරල්වාදය වේවා මේ කිසිවක් නියමාකාරයෙන් නිවැරදි ලෙස අප අත්හදා බලා ඇති බවක් නොපෙනෙයි. පොදු ප්‍රශ්න වෙනුවට අපගේ අතිපෞද්ගලික ප්‍රශ්න වෙනුවෙන් පමණක් හඬනැඟීමේ, උද්ඝෝෂණය කිරීමේ පුරුද්දට තවමත් අපි අනුගත ව සිටිමු.
තවමත් අප අධ්‍යාපනය යැ යි කියන්නේ කටපාඩම් කරගත් දේ පුනරුච්චාරණය කිරීමට ය. උගතුන් ලෙස බොහෝ විට අප හඳුන්වන්නේ අනුන්ගේ උද්ධෘතවලින් යැපෙන්නන් ය. මේ අධ්‍යාපන තරගයේ ධාවනපථය දිනෙන් දින ම ප්‍රසාරණය වෙමින් පවතී. එහෙත් ඉරි-කොටු සෙල්ලම්වලින්, කණාශොට්වලින් උගතා වීමේ සෙල්ලම තාගෝර්ගේ පාසලේදී අත්හදා බැලුණේ නැත. මවුවරුන්ගේ ක්‍රියාකාරකම් සඳහා දරුවන්ට ලකුණු ලබාදීමේ වැඩපිළිවෙළක් ද එහිදී දියත් නොවිණි.
අවසාන වශයෙන් සඳහන් කළ යුතු වන්නේ නව නිෂ්පාදන බිහි කරන්නට, නවෝත්පාදකයන් වන්නට අප අසමත් වන්නේ නම් ‘නිදහස’ ගැන උදම් ඇනීම පාළුගෙයි වළං බිඳීමක් වන බව ය. නිදහස අහිමි වූ විට ජීවගුණය සිඳී-යෑමේ ඛේදවාචකය මහා කවි රවීන්ද්‍රනාත් තාගෝර් තුමන් විසින් පෙන්වා දෙනු ලැබ ඇත්තේ මෙසේ ය:
‘රුකක් කොටයක් බවට පෙරළන්න.
එවිට එය ඔබ සඳහා දැවෙනු ඇත.
එහෙත් ඉන් පසු කවරදාවත් එය
ජීවමාන මල් හෝ පල හෝ නොදරනු ඇත.’