
සංජේ ලීලා බන්සාලිගේ ‘පද්මාවත්‘ චිත්‍රපටය පසුගිය 25 වැනිදා ඉන්දියාවේ කාන්පූර් හි ක්ෂත්‍රිය ප්‍රජාවගේ බලවත් විරෝධතා මැද තිරගත වීම ඇරැඹුණා. මීට සමගාමීව අපේ රටේද තිරගත වීම ඇරැඹුණු අතර මැජස්ටික් සිටි හිදී මෙය නැරඹීමේ අවස්ථාව අපටද හිමිවුණා.
මීට පෙර මෙම කර්නි සේනා ප්‍රජාව විසින් පද්මාවතී රැජන ලෙස රඟපෑ දීපිකා පදුකෝන්ගේ සහ අධ්‍යක්ෂ සංජය ලීලා බන්සාලිගේ හිස් රැගෙන එන කෙනකුට ඉන්දීය රුපියල් කෝටි 5 බැගින් තෑගි දෙන බව පවසා සිටි අතර චිත්‍රපටය තිරග ත කළ දිනයේ දීපිකාගේ නාසය පොඩිකර ගෙන එන කෙනකුට රුපියල් කෝටියක් දෙන බව කාන්පූර් ක්ෂත්‍රීය මහසභා සභාපති ගජේන්ද්‍ර සිං රාජ්වත් ප්‍රකාශ කර තිබුණා.
මෙම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක අනුව අලවුදින් කිල්ජි ම්ලේච්ඡ කුරිරු රජකෙනෙක්ද? ඔහු යුද වැදුණේ සුරූපී පද්මාවතී කුමරිය හිමිකර ගැනීමේ අරමුණින්ද? යන පැනය බොහෝ දෙනකු තිබෙන්නට ඇත. මේ නිසා මොනතරම් විරෝධතා පැවැතියද මේ වන විට පද්මාවත් ඉතා සාර්ථකව තිරගත වෙයි.
1540 දී මලික් මුහමද් ජයාසි විසින් රචනා කළ කාව්‍යයන්ට අනුව පද්මාවතී අතිශයින් සුරූපී ශ්‍රී ලංකාවේ සිංහල කුමරියක වන අතර චිටෝර් හි පාලකයා වූ රතන් සෙන් ඇගේ සිත දිනාගෙන ඉන්දියාවට ගෙන ගිය බවත් කියැවේ.
ඇගේ රුව පිළිබඳව ඇසූ අලවුදීන් කිල්ජි පද්මාවතී හිමිකර ගැනීමට යුද වැදී තිබේ.
අලවුදීන් කිල්ජි ගේ පියා අලි ගුර්ෂාප් වන අතර 1266 හෝ 1267 බටහිර බෙංගාලයේ බර්බ්හම් හි ඉපදී තිබේ. ඔහුට සොහොයුරන් තිදෙනෙකි. කුඩා කාලයේදීම මවුපියන් මියගිය නිසා ඔහුගේ මාමා වූ කිල්ජි රජවංශයේ පළමු පාලකයා වන ජලාලුඩීන් කිල්ජි ළඟ හැදී වැඩෙනවා. පසුව මාමාගේ දියණිය සමඟ විවාහ වන අලවුදින් සිය මාමා මරාදමා දිල්ලියේ සුල්තාන් බවට පත්වනවා.
දෙවැනි ඇලෙක්සැන්ඩර් වරයා වීමේ සිහිනය දුටු ඔහු මොන්ගෝලියානු ආක්‍රමණයන්ගෙන් සිය රාජ්‍ය ආරක්ෂාකරගනිමින් දශක දෙකක් පමණ සාර්ථකව දිල්ලි සිංහාසනයේ ඉදිමින් සාර්ථක පාලනයක් ගෙනගොස් තිබෙනවා.
බිහාර් වලසිට ඇෆ්ගනිස්ථානයටත් කර්ණාටක සිට කාශ්මීරයටත් යනතෙක් ඔහු පාලනය කර තිබේ.
ස්ත්‍රී ලෝලියකු වුවත් සුරූපී වහල් තරුණයකු සමඟ අනියම් ඇසුරක් තිබූ අලවුදින් සිව්වරක් විවාහවී තිබෙනවා. සුරූපී පද්මාවතී කුමරියගේ රූපය ගැන අසා ඇය හිමිකර ගැනීමට යුද වදින ඔහු අවසානයේ පද්මාවතී කුමරිය දැකගන්නට වත් නොහැකි වන්නේ ඇය රජවාසලේ කාන්තාවන් සමඟ ගිනි සෑයකට පැන දිවිනසාගන්නා හෙයිනි. එහිදී කාන්තාවන් නැගූ විලාප අඳෝනා හඬ අලවුදීන් ගේ ජීවිත කාලය පුරාම ඇසුණු බවත් එයින් ම ඔහුගේ සිහි විකල් වී උමතු ලෙස දිවිගෙවා 1316 දී දිල්ලිහිදී මිය ගොස් තිබෙනවා.