
ස්ත්‍රී නියෝජනය
“මම මුලින් ම ඔයාට ‘අපි කසාද බඳිමු’ කියලා යෝජනා කළේ අපි යාළු ෙවලා හරියටම අවුරුදු තුනකින්. එදා ඉඳලා මම දැන් අවුරුද්දක් තිස්සේ හැමදාම වගේ කසාදෙ ගැන මතක් කළාම ඔයා කළේ එක එක හේතු ඉදිරිපත් කරලා ඒක දවස ගානෙ කල්දාන එක. එහෙව් මිනිහා මොකද මේ හිටපු ගමන්, ගහෙන් ගෙඩි එනවා වගෙ කියන්නෙ, ‘අපි ලබන සුමානෙ කසාද බඳිමු’ කියල.” අමිතා, කරුණාසේන දෙස බලා ඇසුවේ ඔහුගේ මේ හදිසි විවාහ යෝජනාව අදහා ගත නොහැකි ව ය.
“නොබැඳ කොහොමද ළමයෝ! මෙදා සැරේ කවදාවත් නැති විදියට ඡන්ද අපේක්ෂකයන්ගෙ ස්ත්‍රී නියෝජනය පිරිමි එක්ක සම මට්ටමකට ගෙනැල්ලනෙ. ඒ හින්දා ස්ත්‍රී නියෝජනය කොයි ක්‍රමයකින් හරි හොයාගන්ඩම වෙනවා” කරු කීවේ ය.
5 සමත්
“මම මේ කලබල වෙලා දුවගෙන ආවේ මන්ත්‍රීතුමා ම ගෙදරින් එළියට බැහැලා තාප්පෙ අලවලා තියෙන පෝස්ටර් ඉරනවා දැකලයි. මට හිතුණේ ඔබතුමාලගේ පක්ෂෙට විරුද්ධව ගහපු පෝස්ටර් ඔබතුමා ඉරලා දානවා කියලයි. ඒ වුණාට දැන් මේ ඔබතුමා ඉවක් බවක් නැතුව ඉරන්නෙ මේ දවස්වල හෝල්වල පෙන්නන ‘5 සමත්’ කියන චිත්‍රපටියේ පෝසටර්නෙ.” චන්ද්‍රපාල, මන්ත්‍රීවරයා වෙත සමීප වී කීවේ විමතියට පත් වෙමිනි.
“විරුද්ධකාරයෝ ගහන ඡන්ද පෝස්ටර්වලට වඩා හපන්නෙ බං මේවා. ‘5 සමත්’ කියල මගෙ ගෙදර තාප්පෙ පෝස්ටර් ඇලෙව්වාම මුළු ගමම මට හිනාවෙන්ඩ ගනියිනෙ, මගෙ අධ්‍යාපන සුදුසුකම් ගැන කියල පෝස්ටරේකුත් අලවලයි කියල” මන්ත්‍රීවරයා කීවේ කෝපයෙන් දත්මිටි කමිනි.
ඡන්ද අල්ලසක්...
“මේ පළාත් පාලන ඡන්දයක් හින්දා මට පසුගිය සුමානෙට යෙදුණු ඔයාගෙ උපන් දිනේට හරිහමං ප්‍රසන්ට් එකක් දෙන්ඩත් බැරි වුණානෙ. ඔන්න අද මම ඒ වෙනුවෙන් ඔයාට ලස්සන මාලයක් ගෙනාවා” රවින්ද්‍ර කවරයක බහාලූ පසුම්බියක් එළියට ගෙන එය තම පෙම්වතිය වෙත දිගු කළේ ආලවන්ත සිනාවක් පාමිනි.
“අනේ තෑන්ක් යූ රවි, ඔයා පරක්කු වෙලා හරි මට බර්ත්ඩේ ප්‍රසන්ට් එකක් දුන්නට. ඒත් අනේ දැන් ඡන්දෙට නාම යෝජනා භාරදීලා දින නියම කරලත් ඉවර හින්දා මේ තෑග්ග ඡන්ද අල්ලසක් වෙලා ඔයා කරදරේ වැටෙන්ඩ බැරිත් නැහැ නේද?” මල්කාන්ති එම තෑග්ග ප්‍රතික්ෂේප කරමින් කීවේ එය ආපසු තම පෙම්වතා වෙත දිගු කරමිනි.
ඒ කතාව වැරැදියි
“ආබාධිතයන්ගෙ සංවිධානයක් නියෝජනය කරන අර අනුරාධපුරේ ආබාධිත නෝනා කරපු කතාව නං බොහොම වටිනවා. ඒත් ඒ කතාවෙදි එයා කියපු එක කතාවක් එක්ක නං මට එකඟවෙන්ඩ අමාරුයි.” ආබාධිතයන්ගේ ක්‍රියාකාරකම්වලින් පිරුණු උලෙළ අවසන් වීමෙන් පසු පැවැති තේ පැන් සංග්‍රහයේදී චන්ද්‍රසිරි තමා අසල සිටි මහාචාර්යවරයා දෙස බලා කීවේ බැරෑරුම් ස්වරයකිනි.
“ඔව් ඒක වටිනා කතාවක්. එතකොට ඔය චන්ද්‍රසිරිට එකඟ වෙන්ඩ අමාරු මොන කතාවත් එක්කද?” මහාචාර්යවරයා සිනාසෙමින් ඇසීය.
“ඇයි ප්‍රොෆෙසර් එයා කිව්වේ ලංකාවේ ආබාධිතයෝ හුඟ දෙනෙකුට කවුරුවත් හොඳ තැනක් දෙන්නෙ නැහැයි කියල. දැන් බලන්ඩ අප පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදියට කොයිතරම් දෙනෙක් පත්කරලා යවලා තියෙනවද? ඒ හින්දා අපි ආබාධිතයන්ට තැනක් දීලා නැහැයි කියන්ඩ පුළුවන්ද?” චන්ද්‍රසිරි මහාචාර්යවරයා දෙස බලා කීවේ ආවේගශීලීව ය.
වැඩිය නරක කවුද?
පළාත් පාලන ඡන්දය සඳහා නාමයෝජනා භාර ගැනීම අවසන් දින උදෑසන එකී ඡන්දයට ඉදිරිපත් වන පක්ෂයක් විසින් අලවනු ලැබූ පෝස්ටරයකින් බොහෝ නගර ගම්වල තාප්ප, බිත්ති වැසී තිබුණි. එහි ලොකු අකුරෙන් මෙසේ සඳහන් විය.
“උනුත් එකයි - මුනුත් එකයි”
ඊට පසු දින උදේ වනවිට එකී පෝස්ටර්වල ඉහත පාඨයට යටින් මෙසේ ලියා තිබුණි.
“උඹලා ඊට වඩා සැකයි.