සින­මාවේ වම් ඉවුර අද පාළුයි | සිළුමිණ

සින­මාවේ වම් ඉවුර අද පාළුයි

සිනමාවේ වම් ඉවුරක් පිළිබඳ ඉන්ද්‍රචාපගේ සමීපරූප හැත්තෑව දශකය තරම් ඈතට ඇදී යනවා. මෙරට හිටපු සිනමා විෂය පිළිබඳ ප්‍රවීණත්වයක්, විචාරාත්මක දැනුමක් තිබුණු නිර්භීත විචාරකයකු වූ සිරිල් බී.පෙරේරායි, වම් ඉවුරේ සිනමාකරුවන් තිදෙනකු පිළිබඳ හැඳින්වීමක් කොට තිබුණේ.

 ඒ තිදෙනාගේ මුහුණු සමීපරූපයේ ඇඳෙන්නේ බොඳව ගිය මුහුණු දෙකක රූප සමග. වසන්ත ඔබේසේකර සිනමාකරුවාගේ මුහුණ දුර්වර්ණව මැකීගොස් තිබුණත් ධර්මසේන පතිරාජගේ මුහුණ තවමත් පෙර දා විදියටම ඉන්ද්‍රචාපට පෙනෙනවා. ඉතිරිවී ඇති මුහුණ ඉන්ද්‍රචාප හඳුනාගන්නවා වම් ඉවුරේ තුන්වැනි සිනමාකරුවා ලෙසින්.

ඔහු සිනමාවේ මෙන්ම වේදිකා නාට්‍යයේද වම් ඉවුර නියෝජනය කල කරනු ලබන ධර්මසිරි බණ්ඩාරනායක නම් වූ කලාකරුවායි. පසුගිය දවසක ඔහු දැඩි කනස්සල්ලෙන් අප අමතනු ඉන්ද්‍රචාප දුටුවා. වසන්තත්, පතීත් නැති වම් ඉවුරෙන් බැසයන්නට තරම් ඔහුට දුක හිතෙන සිදුවීමකට මුහුණ පාන්නට සිදුවෙලා.

පතීත් වසන්තත් නැති වම් ඉවුරේ තනිවූ ධර්මසිරිගේ දෑස් කඳුළින් පිරිලා. නිර්මාණකරුවකුට තම නිර්මාණයක වටිනාකම, තමන් දුක් මහන්සි වී හදා වඩාගත් දරුවකුට ඇති ආදරය වගේ. ඔහුගේ චිත්‍රපට අතර අප අගය කළ අපූරු සිනමා කෘතියක් වන තුන්වන යාමය ඉන්දියාවේ ප්‍රසාද් ලැබ් හි හිරවී තියෙනවලු නිදහස් කර ගැනීමට අවශ්‍ය එක්සත් ජනපද ඩොලර් 16343 ක මුදලක් නැතිකමින්.

තමන්ගේ දරුවකු වැනි නිර්මාණයකට මේ වගේ ඉරණමක් අත්වන කොට ඒවගේ දෙයක් දරාගන්න පුළුවන් කාටද?කොහොම වුණත් ධර්මසිරි වම් ඉවුරෙ තනිවෙලා. පතී ආසන්නයේම වමිවුරින් නික්මුණු දැවන්තයා.

ධර්මසේන පතිරාජගෙ සමීප රූප රාශියක් ඉන්ද්‍රචාප දකිනවා. සිනමා අධ්‍යක්ෂ පතී, ගේය පද රචක පතී, පතී නම් වූ විශිෂ්ට ටෙලිනාට්‍ය නිර්මාණකරුවා, වේදිකා නාට්‍ය පරිවර්තක නිෂ්පාදක පතී, ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල රැසකම ශිෂ්‍ය මාණවක මාණවිකාවන්ට සිනමාව පිළිබඳ ඥානය බෙදාදුන් කථිකාචාර්ය පතී ආදීන්ගේ සමීපරූප ඇඳී මැකී යනවා.

සිනමාවේ අහස්ගව්ව පොන්මනී, බඹරු ඇවිත්,පාර දිගේ, සොල්දාදු උන්නැහැ වගේ පතීගෙ චිත්‍රපට අතරින් කොරා සහ අන්ධයා නාට්‍ය රචනයත් පුටු නාට්‍ය පරිවර්තනයත් ඉන්ද්‍රචාපට පෙනෙනවා.

පතී පරිවර්තනය කළ පෙඩ්‍රෝ පරාමෝ නවකතාවත් ඊට ඔහුට ලැබුණු රාජ්‍ය සම්මානයත් ඉන්ද්‍රචාප දකිනවා. කඩුල්ල, මායා මන්දිර, ඇල්ල ළඟ වලව්ව. හා තවත් ටෙලි නාට්‍යත් ඔහුට හිමිවූ සිනමා සම්මාන, ජනාධිපති,ඕසීඅයිසී,වැනි සම්මානත් පතීගෙ කුටියේ නිහඬව නිසලව දුකින් ඇති කියලා ඉන්ද්‍රචාපට හිතෙනවා.පතී වම් ඉවුරේ තමන්ගේ සගයා ධර්මසිරිගේ හංස විලට රචනා කළ විශිෂ්ට චිත්‍රපට ගීතය හෙමින් සැරේ පියා විදා යාන්තමින් ඉන්ද්‍රචාපට ඇහෙනවා. අහස්ගව්වේ තනිවූ පතීට ඉන්ද්‍රචාප මේ ගීතය ගයනවා.

කඳුළක් සුසුමක් හදින් ගලන තෙක්

එකමුතු වී අපි ඉමු මිතුරෝ

එන්න මගේ පිය මිතුරෝ

පාළු වම් ඉවුර දිගේ හිනැහෙන උදුම්බරා දිහා බලාගෙන ඉන්න පතීගෙ සමීප රූපය ඉන්ද්‍රචාපට පෙනෙනවා. 

 

Comments