
යටත් විජිත මානසිත්වයෙන් නිදහස ලබා බොහෝ දේශයන් මහා ඉහළින් එහි සතුට සමරයි. එහෙත් සැබැවින් ම ලැබූ නිදහසත් සමඟ බොහෝ දේශයන් ගමන් ගන්නේ ස්වාධීන, සෞභාග්‍යවත් දේශයකටද? අයියාරි හෙවත් ‘අන්තිම ප්‍රෝඩාව’ පෙබරවාරි 9 වැනිදා සිට රිදී තිරයේ දිග හැරෙන නවතම බොලිවුඩ් සිනමා අන්දරයයි.
බොලිවුඩයට සිහිවටනයක් වෙන සිත්තම් ගෙන එන නීරාජ් පාණ්ඩේ මෙහි අධ්‍යක්ෂවරයාය. බේබි, රස්ටම්, “එම්.එස්. දෝනි : ද අන්ටෝල්ඩ් ස්ටෝරි”, ගෙන ආ ඔහුගේ නවතම වික්‍රමය ‘අයියාරිය’ ය. පසුගිය වසරේ අති දැවැන්ත ආදායම් වාර්තාවක් පිහිටුවූ ටොයිලට් - ඒක් ප්‍රේම් කතා හි සම නිෂ්පාදකවරයා වූයේ ද ඔහුය.
‘අයියාරි’ ට පාදකවී ඇත්තේ සත්‍ය සිදුවීමකි. හමුදා සෙබළුන් දෙදෙනකු වටා කතාව ගෙතී ඇත. මේ සෙබළුන් දෙදෙනා සටන් වදින්නේ දේශය වෙනුවෙන් ද? එකිනෙකාට එරෙහිවද?
සුපිරි චරිතාංග නළු මනෝජ් බජ්පායි (හමුදා කණ්ඩායම් ප්‍රධානි අභේ සිං) මෙහි රඟන්නේ සිද්ධාර්ත් මල්හෝත්‍රාගේ මේජර් ජායි බක්ෂිගේ) මෙහෙයවන්නා ලෙසයි. ප්‍රවීණ මනෝජ් හා නව පරපුරේ සිද්ධාර්ත් තිරයේ එකට රඟන්නේ ප්‍රථම වතාවටය. ඔවුන් නීරාජ්ගේ නිර්මාණයකට එක්වන්නේ පළමු වරටය.
අභේ සිං හා ජායි වෙනස් වූ අරමුණු ඔස්සේ ඉලක්කවලට ළඟා වීමට උත්සාහ ගනී. එක් අයකු අනෙකාගේ අභිමතාර්ථයට එකඟ නොවේ. එහෙත් ජාතිය වෙනුවෙන් කැපවීම මේ හමුදා වීරයන්ගේ අභිප්‍රායයි. ජයගන්නේ කවුරුද? ඉන්දියානු ජනරජ දිනයේදී ජනවාරි 26 වැනිදා ‘අයියාරි’ තිරගත වීමට නියමිතව තිබුණත් ‘සංජේ ලීලා බන්සාලිගේ අති දැවැන්ත ආන්දෝලනාත්මක සිනමා නිර්මාණය ‘පද්මාවත්’ ජනවාරි 25 සිට තිරගත වීම අරැඹුණු නිසා එය දැන් තිරගත වන්නේ පෙබරවාරි 9 වැනිදා අක්ෂේ කුමාර්ගේ පෑඩ් මෑන් සමඟ ද්වන්ධ සටනක් ලබා දෙමිනි.
සිනමා පටයට අති දැවැන්ත බොලිවුඩ් තරු රැසකගේ රංගන දායකත්වය ලබාගෙන ඇත. මෙහි නස්රුදීන් ෂා බාබුරාඕ ශාස්ත්‍රී ලෙසත් අනූපම් ඛේර් තාරික් අලි ලෙසත් රඟති. රකුල් ප්‍රීත් සිං, මොහමඩ් සීෂාන් අයූබ්, කුමුද් මිශ්රා, ශිවම් පට්ල්, පුරු රාජ්කුමාර්, පැට්රික් ක්ලාක්, අදිල් හුසෙන්, ඇලෙක්ස් ඕ නෙල්, දීප්රාජ් රානා, පූජා චොප්රා සෙසු වැදගත් චරිත නිරූපණයෙහි යෙදෙති.
‘අයියාරි’ පළමු සිනමා පටයේ පෝස්ටරය නිකුත් කෙරුණේ 1971 දී ඉන්දු පකිස්ථාන යුද්ධයේදී ජීවිත පූජා කළ විෙජ් දිවාස් ඇතුළු ඉන්දියානුවන්ට උපහාර වශයෙනි.
අයියාර් ට්‍රේලරය මිනිත්තු 3 ක් පමණ දීර්ඝය. එය නිකුත් කර පැය 24 ක් යාමට ද මත්තෙන් මිලියන හතක ජනකායක් නරඹා තිබේ. සිනමා පටයේ ප්‍රවර්ධන ගීතයට මූම්බායි කොලීජියේ සිසුන් පන්දහසක් මැද සිද්ධාර්ත් හා රකුල් විසින් නර්තනයේ යෙදුණහ. ඊට ඉහළ ම ශිෂ්‍ය ප්‍රතිචාර ලැබිණි.
සිනමා පටය පිළිබඳ අදහස පළ කළේ 2017 අප්‍රේල් මාසයේ සිටය. දිල්ලි, ලන්ඩන්, කාශ්මීරය, කයිරෝ වැනි ලොව නගර ගණනාවක ම සිනමා පටය රූගත කරන ලදි. මනෝජ් බජ්පායි තමන් රැඟූ විශිෂ්ට ම සිනමා පටයක් ලෙස ‘අයියාරි’ ට මනාපය පළ කර තිබේ.
අයියාරි කතා නායිකාව වන්නේ සෝනියා ගුප්තා ලෙස රඟන රකුල් ප්‍රීත් සිං ය. විසිහත් හැවිරිදි රකුල් ප්‍රීත් ටොලිවුඩයෙන් (තෙළිඟු සිනමාවෙන්) බොලිවුඩයට පෑයූ තරුවකි. ඇය රංගනයෙන් දායක වන දෙවැනි බොලිවුඩ් සිනමාපටය මෙයයි. තිස්තුන් හැවිරිදි සිද්ධාර්ත් මල්හෝත්‍රා සමඟ මේ දේශපාලන ත්‍රාසජනක කතා පුවතට හෘදයාංගම නව යෞවන ප්‍රේමයක් මුසු කිරීමට දෙදෙනා සමත්වී ඇති බව බොහෝ දෙනාගේ අදහසයි. මෙහි රකුල් හා සිද්ධාර්ත්, හිරිපොද වැස්සේ තෙමෙමින් නර්තනයේ යෙදෙන ශෘංගාරාත්ම ගීතයක් ද අන්තර්ගතය. ඇය සිනමා පටයට එක්වූයේ නීරාජ් පාණ්ඩේ, මනෝජ්, සිද්ධාර්ත් වැනි දක්ෂයන් සමඟ වැඩ කිරීමට ලැබුණු සතුට ද හදවතේ පුරවාගෙනය.
අනූපම් ඛේර් නම් ජ්‍යෙෂ්ඨ නළුවා නීරාජ් පාණ්ඩේ ගේ නිර්මාණයකට එක් වන්නේ හත්වැනි වරටය. අ වෙන්ස්ඩේ (2008), ස්පෙෂල් 26 (2013), ටෝටල් සියාපා (2014), බේබි (2015), එම් එස් දෝනි : ද අන්ටෝල්ඩ් ස්ටෝරි (2016), නාම් ෂබානා (2017), දෙදෙනා මීට පෙර එක් කළ නිර්මාණය. ජ්‍යෙෂ්ඨ නළු නසරුදීන් ෂා නීරාජ්ගේ නිර්මාණයක් හා එක්වන්නේ දෙවැනි වරටය. සිනමා පටය රූගත කරද්දී මනෝජ් බජ්පායි දිගින් දිගට ම හිසරදයෙන් පීඩා විඳ තිබේ. ප්‍රතිකාර ගෙන පසුව ලන්ඩනයේ රූගත කිරීම්වලට සහභාගී වූයේය.
සිනමා පටයේ සංගීතය රෝචක් කෝලි හා අන්කිත් තිවාරිගේය. පසුබිම් සංගීතය සන්ජෝයි චෞද්රිගෙනි. සුනිධි චෞහාන්, පාලක් මුච්චල්, අන්කිත් තිවාරි, අමිත් මිශ්රා, නේහා භාසින්, රෝචක් කෝලි ගායනයෙන් දායක වී ඇත. ‘ලා ඒ දූබා, යාද් හෛ, ෂුරු කරු යන ගීත ත්‍රිත්වයෙන් සිනමා පටය රසාලිප්ත වී තිබේ. අයියාරි තිරගත වීමට නියමිත සිද්ධාර්ත්ගේ තිස්තුන් වැනි උපන් දිනයේ සතුටේ උණුසුම පවතිද්දීමය. ඔහු ජනවාරි 16 දින උපන් දිනය සැමරීය.
අක්ෂේ කුමාර්ගේ පෑඩ් - මෑන් හා අයියාරි නිර්මාණ දෙකම පෙබරවාරි 9 දින තිරගත වීම ගැන සිද්ධාර්ත් පසුවන්නේ එතරම් කැමැත්තකින් නොවේ. අක්ෂේ ජනවාරි 26 ට තිරගත වීමට නියමිතව තිබූ පෑඩ් මෑන් පෙබරවාරි 9 ට කල් දැමූ නමුත් එය ‘අයියාරි’ සමඟ එකම දිනකට තිරගතවීම කනගාටුවට හේතුවක් බව ඔහු පවසයි.
කෙසේ වුවත් ද්වන්ධ සටනක් ඉදිරියේ තිබියදී සිද්ධාර්ත් හා අක්ෂේ එක්ව දිවා භෝජන සංග්‍රහයක් භුක්ති විඳ තිබේ. නීරාජ් හා අක්ෂේ සුසංයෝගය බේබි සිනමා පටයෙන් ඇරැඹුණකි. අයියාරි සිනමා කණ්ඩායම රන් දෙවොලට ගොස් සිනමා පටයේ සාර්ථකත්වය පතා පූජාවක් පවත්වා ඇත.