මම කැපිලා පෙනෙන්න අකැ­මැ­ති චරිතයක් | සිළුමිණ

මම කැපිලා පෙනෙන්න අකැ­මැ­ති චරිතයක්

'තව දුරයි ජීවිතේ' දෝණිට හැමෝම ආදරෙයි. මේ චරිතයට පණ පොවන්නේ පුංචි තිරයේ දැන්වීමකින් ක්ෂේත්‍රයට පැමිණ අද වනවිට ස්ථාවර ගමනක් පැමිණ සිටින සඳනි පතිරණගේ රංගන ශිල්පිනියයි. මේ පුංචි හැඩකාරියගේ අලුත්ම තොරතුරු සමඟ අද රසදුනේ 3 වැනි පිටුව හැඩකරන්න අපි ඇයව තෝරාගත්තා.

එක ටෙලි නිර්මාණයක් අවසන් වෙනවාත් එක්කම තවත් ටෙලි නිර්මාණයක දකින්න ලැබෙනවා?

ඔව්. මට ලැබෙන නිර්මාණ ගොඩක් ඒවා ඒ වගේ.

මේ දිනවල සඳනිගේ ද දෝණිගේ ද 'ජීවිතේ තව දුරයි' කියලා හිතන්නේ?

දෝණී තමා එහෙම හිතන්නේ.

ගොඩක් අය කියනවා දෝණියි සඳනියි එක වගේ කියලා?

මෙහෙමයි, දෝණියි සදනියි කියන්නේ දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක්. මොකද අම්මි හැම වෙලාවේම කියනවා, දෝණි ගේ තියෙන හිතුවක්කාරකම්, කතා කරන විදිය මම වගේමයි කියලා. ඒවගේම එයා කියනවා කතාව ලියන අනෝමා ආන්ටි අපේ ගෙදර ඇවිල්ලා හොරෙන් බලන් ඉඳලා වගේලු කතාව ලියලා තියෙන්නේ . කතාව ඇතුළේ කතාව වෙනස් වුණාට දෝණි ගේ සමහර ගතිගුණ මම වගේ කියලා ගොඩක් අය කියනවා.

සඳනි දිගට තිබුණු කොණ්ඩය කපලා, බැණුම් ගොඩක් ඇහුවලු නේ?

මට පොඩි වෙනසක් ඕන වුණා සහ මම එක නාට්‍යයකට කොණ්ඩේ කලර් කළා. ඒ නිසා කොණ්ඩේ පොඩ්ඩක් ඩැමේජ් වෙලා තිබුණේ. මම කොහොමත් මුහුණට වඩා කොණ්ඩය ගැන වැඩිපුර හිතන කෙනෙක්. ඉතින් දුකෙන් හරි කපලා දාන්න වුණා. අම්මෝ ගොඩක් අයගෙන් බැණුම් ඇහුවා. ඒ ගැන නම් කතා කරලා වැඩක් නැහැ. දැන් නම් දිගටම වවන්න තමයි හිතාගෙන ඉන්නේ. වවන්නත් පුදුම උත්සහයක් ගන්නවා.

මේ දවස්වල කාලය ගෙවෙන්නේ කොහොමද ?

මම වැඩ ගොඩක් බදාගෙන වැඩ කරන කෙනෙක් නෙමෙයි. එක නිර්මාණයක් ඉවර වෙද්දී තව නිර්මාණයක් භාර ගන්නවා. කැම්පස් එකේත් අවසන් විභාගය ඉවර වුණා. ඉතින් ප්‍රතිඵල එනතුරු ඉන්නවා.

ඉක්මනින්ම සඳනි ගුරුවෘත්තියට යයිද?

ලබන අවුරුද්දේ මුල වෙද්දී මට ගුරුවරියක් විදිහට වැඩ කරන්න පුළුවන්වෙයි කියලා හිතාගෙන ඉන්නවා. මගේ එකම හීනය සහ එකම බලාපොරොත්තුව ගුරුවරියක් වෙලා පාඩුවේ ජීවත් වෙන එක. තාමත් තියෙන්නේ ඒ හීනෙම තමයි.

ඔබගේ සමකාලීන ක්ෂේත්‍රයේ ඉන්න රංගන ශිල්පින් එක්ක බලද්දී සඳනි කැපිලා පේනවා අඩුයි.

මම කැපිලා පෙනෙන්න ඉන්න අකැමැතියි. ඇත්ත කතාව ඒකයි. මම කොහොමත් මේ දේ කරන්නේ මට ලොකු ජනප්‍රියත්වයක් ලබා ගන්නවත්, මම තමා එක්කෙනා කියලා කියන්නවත් නෙමෙයි. ඇත්තටම මම දන්නවා මම කරන චරිතත් එක්ක මට ජනතාව ආදරෙයි සහ ජනතාව මාව අඳුරනවා කියලා. මට බොරුවට කැපිලා පේන්න ඉන්න ඕන නැහැ.

සඳනිට ඇයි රඟපාන්න හිතුණේ?

මම දන්නේ නැහැ මට දක්ෂතාවක් තියෙනවාද කියලා. ඒත් සාමාන්‍යයෙන් මිනිස්සුන්ගේ ආදරය දිනා ගන්න පුළුවන් විදියේ චරිතයක් කරන්න මට හැකියාව තියෙනවා. ඉතින් ඒ හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්න හිතුණා. මම රංගනය මගේ අනාගතයට බාධාවක් කරගන්නේ නැහැ. මම හැම වැඩක්ම භාර ගන්නේ මගේ අනාගතේ මම කරන වෘත්තිය ගැන හිතලා. ගුරුවරියක් වුණහම කොහොමද ළමයින් එක්ක හැසිරෙන්නේ, සමාජයේ මාව දකින්න ඕන කොහොමද කියන එක ගැන හිතලා තමා මම චරිත තෝරා ගන්නේ.

සඳනී ආදරවන්තියක් නිසා මේ මාසයේ දී විශේෂ දේවල් ලැබේවි නේද?

ඔව්. මට ආදරය හම්බවෙලා තියෙන්නේ. අවු. 1 1/2 ක් තිස්සේ එයා මගෙත් එක්ක ඉන්නවා. පෙබරවාරි 14 කියන්නේ අපි දෙන්නා වැඩිය හිතන්නෙම නැති දවසක්. එදා දවස අපි දෙන්නට සාමාන්‍ය දවසක්.

ඉදිරියේදී අලුත් නිර්මාණ භාර අරගෙන තියෙනවද?

ගොඩක් නිර්මාණ වලට කතා කළා. ටෙලි නාට්‍ය හතරකට වගේ ආරාධනා ලැබුණා. නමුත් ඒවා භාර ගත්තේ නැහැ විභාග වැඩකටයුතු නිසා. බලමු ඉතින් ඉදිරියට ලැබෙන වැඩත් එක්ක නිර්මාණ භාර ගන්නවා. මට මේ වේලාවේ මතක් කරන්න දෙන්නෙක් ඉන්නවා. ඒ රවින්ද්‍ර විජේරත්න සහ තරංග දිසානායක. මොකද මම පාසලෙන් අවුට් වුණාට පස්සේ කමර්ෂල් විතරයි කළේ. ඉතින් ඒ කාලයේ මම පොඩි වැඩියි කියලා ටෙලි නාට්‍ය නිර්මාණ සඳහා භාර ගත්තේ නැහැ. නමුත් මාව බය නැතිව ඒ දෙන්නා නිර්මාණවලට සම්බන්ධ කර ගත්තා. ඒ දෙන්නා නිසා තමා මට මේ තරම් ගමනක් එන්න පුළුවන් වුණේ. 

 
 

Comments