
ශ්‍රී ලාංකීය සිනමාවේ උන්නතිය වෙනුවෙන් සුවිශේෂී කැපවීමක් සිදු කළ ධර්මසේන පතිරාජයන් පසුගිය දා දැයෙන් සදහටම සමුගත්තේය. 'අහස්ගව්ව, බඹරු ඇවිත්, පාරදිගේ, එයා දැන් ලොකු ළමයෙක්, සොල්දාදු උන්නැහේ, වාසුලි, මතුයම් දවස , සක්කාරං, පොන්මනී' ඇතුළු සිනමා නිර්මාණ රැසක් ද ‘කඩුල්ල‘, ‘ඇල්ල ළඟ වලව්ව‘ ආදී ටෙලි නිර්මාණ ද ඔහු ගේ අග්‍රගණ්‍ය කලා කෘතීන් වේ. ඔහු විශ්වවිද්‍යාල ආචාර්යවරයකු ලෙස කටයුතු කරමින් සිනමාව කලාව වෙනුවෙන් අලුත් පරපුරක් බිහිකිරීමට දායක විය. මේ ඔහු පිළිබඳ කලා ලොවේ ප්‍රවීණයන් දැක් වූ අදහස් බිඳකි.
කලාවේ හැම අංශයකටම දායක වුණා
ප්‍රවීණ සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක
ආචාර්ය ධර්මසේන පතිරාජ ගැන කතාකරන විට මුලින්ම පැවැසිය යුත්තේ අපි මුලින්ම ඔහුගේ සිනමා ප්‍රේක්ෂකයින් බවයි. පාසල් වියේ සිටි පිට අමුත්තක් ඇති සිනමාවක් ඔහුගෙන් දැක ගන්නට ලැබුණා. ඒ වන අපිට ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සිනමා කෘති අපි නරඹා තිබුණා.
නමුත් වෙනස්ම ආරක සිනමාවක් අපට පතිරාජ හඳුන්වා දුන්නා. 1970 දී පමණ ඔහු 'සතුරෝ ' කියන කෙටි චිත්‍රපටය නිර්මාණය කළා. එය එදා අපි නරඹන කොට ඒ නිර්මාණයට අපේ සිත් ඇදී ගියා. මොකද එයින් කතා කළේ අපි මුහුණ දුන් වඩාත් සිත් ගත් තේමාවක්. රැකියා විරහික බව, තාරුණ්‍යයේ අපේක්ෂ භංගත්වය ගැනයි. ඒවා අපේ සිත් තුළ ප්‍රබල කම්පනයක් ඇති කළා.
1974 දී පතිරාජ ඔහුගේ 'අහස්ගව්ව' නිර්මාණය කරනවා. එය ලාංකේය සිනමා ගමන්මඟ වෙනස්කළ චිත්‍රපටයක්. පේරාදෙණිය විශ්ව විද්‍යාලය පාදක කර ගනිමින් තරුණ ජීවිත තේමා කර එය ගොඩනැගෙනවා. ඒ වගේම සිනමාවේ අපි දැක්ක කඩවසම්
, දඟකාර, නළු නිළියන් වෙනුවට රැඩිකල්, සෙල්ලක්කාර ගති එකතු කරපු නළුනිළියන් සමුහයක් ඔහුගේ සිනමාව ඔස්සේ සිංහල සනමාවට එක්කර ගැනීමේ ආරම්භක අවස්ථාව අපි දකිනවා. එලෙස ඇරැඹි ගමන පතිරාජ නොනැවතී සිනමාව පෝෂණය කළා. දශකයෙන් දශකයට අලුත් අත්දැකීම් ප්‍රදානය කරමින් සිනමාව වෙනුවෙන් අඛණ්ඩව වැඩ කරපු සිනමාවේදියෙක් ඔහු. ධර්මසේන පතිරාජ මාව දැන සිටියේ නාට්‍යකරුවෙක් ලෙසයි. මම 1979 දී 'හංසවිලක්' චිත්‍රපටය කරත් දී එහි තිර නාටකය පතීට කියවන්නට දුන්නා.
එහි දී ඔහුට ගීතයක් ලියන්න ආරාධනා කළා. ඒ සිදුවීම අදටත් හරිම අමරණීයයි. පතී වැල්ලවත්තේ මුහුද අයිනට වෙලා ගීතය විනාඩි 30න් රචනා කළා.'හෙමින් සැරේ පියා විදා' ගීතය රචනා වුණේ එලෙසයි. දැන් හංසවිලක් චිත්‍රපටයට වසර 35ක් පමණ වෙනවා. තවමත් මේ විනාඩි 30න් රචනා වූ ගීතය ගැන කවුරුත් කතා කරනවා. පතී කියන්නේ කලාවේ හැම අංශයක්ම ස්පර්ෂ කළ ශාස්ත්‍රඥයෙක්. එවන් අමරණීය මිනිසෙක් අහමිවීම දුකක්.
නොදැනුවත්කමේ සිට දැනුම්වත්කමට ජනයා රැගෙන ගිය යෝධ නැවක්
ප්‍රවීණ රංගන ශිල්පී, අධ්‍යක්ෂක ජැක්සන් ඇන්තනී
මට පතිරාජ මුණගැහෙ විට මම පතිරාජගේ අති විශාල රසිකයෙක් කිව්වොත් නිවැරැදියි. ඔහුගේ දෙවැනි යෙදවුමේ දී එනම් ඔහුගේ ටෙලිනාට්‍යකරණයට මම ප්‍රවිශ්ට වෙනවා. 'ඇල්ල ළඟ වලව්ව', 'කඩුල්ල' කියන ටෙලි නාට්‍ය විෂයෙහි. මම විශ්වාස කරන්නේ එතුමන් තමයි ලංකාවේ බිහි වූ චින්තනමය පොහොසත් කමෙන් යුතු විද්‍යාර්ථී අධ්‍යක්ෂවරයා. පතිරාජ සූක්ෂම වුණේ සමාජ විද්‍යාව සිනමාවට ගෙන එන්න බවයි මගේ හැඟීම. තමා උගත් සමාජ විද්‍යාව සිනමාරූපීව සහ සිනමා පොහොසත් කමින් යුතුව සිනමාවට නගන්නයි ඔහු කටයුතු කළේ.
කලා ලෝකය පතීව හඳුනාගත්තේ නව රැල්ලේ සිනමා කරුවා ලෙසයි. මගේ කියැවීමට අනුව පතී පිළිබඳ ඒ හැඳුනුම ප්‍රමාණවත් නැහැ. නවරැල්ලේ සිනමාවට ගැඹුරු සමාජ විෂයන් එතුමා ගෙන එනවා. මම දකිනවා 1971 දී මෙරට කැරලි දෙකක් ඇති වෙනවා. ඒවා ඇති වෙන්නේ,එකම මාතෘකාව මුල් කර ගනිමින්, එකම අවශ්‍යතාව මුල්කර ගනිමින්. ඒ තරුණ අසහනය හා විරැකියාව හේතු කොට ගෙන තරුණයා විඳින අසම්පූර්ණත්වය යි.
1971 දී මේ විෂය කේන්ද්‍ර කර ගෙන රෝහණ විජේවීර ගහපු කැරැල්ලතමයි 71 එකේ කැරැල්ල. මේ විෂය පථය කේන්ද්‍ර කර ගනිමින් ධර්මසේන පතිරාජ ගහපු කැරැල්ල තමයි 'අහස් ගව්ව'. තරුණ අවශ්‍යතාවය ඔහු ඉදිරිපත් කළ විදිහ තමයි 'අහස්ගව්ව' සිනමා කෘතිය. 'බඹරු ඇවිත් ' ඔස්සේ සමාජ විද්‍යාත්මක දේශපාලනික ප්‍රකාශය සිනමාවට ගෙන එනවා.දේශපාලනය සෞන්දර්යාත්මකව, ශාස්ත්‍රීය සමාජ විග්‍රහයක් නොවී සෞන්දර්යය සහිත සුන්දර රූප ගීත සහිත සිනමා ප්‍රකාශනයක් බවට එය පත් කරනවා. ඒ වගේම තමයි එතුමාගේ 'සොල්දාදු උන්නැහේ ' චිත්‍රපටයත්. ගැඹුරු විෂය පථයන් ඔහු සිනමා භාෂාවෙන් ඉදිරිපත් කළා.
ඔහුගේ ටෙලි නාට්‍ය කලාවත් එලෙසයි. මගේ රංගන දැකලා රාම ක්‍රිෂ්ණා නේපත්‍යාගාරයේ දී මට අතට අත දීලා ඔහුගේ 'ඇල්ල ළඟ වලව්වේ' 'ග්‍රේෂන් අප්පෝගේ චරිතයට මට කතා කරනවා. ඒ ටෙලි නාට්‍යය පුරා එතුමා සහ මා අතර ඇති වූ සංවාදය හේතු කොට ගෙන මාව අගයන සමීපතම මිතුරෙක් බවට පත් වුණා. ඉන්පසුව 'කඩුල්ල 'ටෙලි නාට්‍යයේ 'කුරුතේරිස්' චරිතයට ඔහු මට කතා කරනවා. මේ නාට්‍යයේ කුරුතේරිස් ඔස්සේ කතා කළේ කොම්පදෝරු දේශීය ධනපති පන්තියේ උත්පත්තිය හා නැඟීසිටීමයි.
එය අපූරු සමාජ විද්‍යාත්මක විග්‍රහයක්. එය විශාල පිරිසක් නැරැඹු ටෙලිනාට්‍යයක්. මම පතීව දකින්නේ නොදැනුවත්කමේ සිට දැනුම්වත්කමට ජනතාව රැගෙන ගිය යෝධ නැවක් ලෙසයි. එතුමා එයට සිනමාව,කලාව භාවිතා කළා. වම් ඉව්රේ සිනමා ධාරාව සකස්වෙන්නේ ඔහුගෙන්. තමන්ගේ ජීවිත කාලය තුළ ජනතාව වෙනුවෙන් කළහැකි කළ යුතු යුතුකම් සමභාරය ඉටු කළ කලාකරුවෙක් ඔහු. පතිරාජගෙන් මේ සමාජයට ඉටු වූ මහඟු සේවය ගැන සැකයක් නැහැ. ඒත් ඒවාට මේ රටෙන් පතීට ලැබුණු ප්‍රතිචාරය කුමක්ද කියන එක ගැන නම් අපිට සතුටක් නැහැ.
විශ්ව විද්‍යාල ක්ෂේත්‍රයේ සෘජු ශාස්ත්‍රඥයෙක්
ආචාර්ය සෞම්‍ය ලියනගේ
මම ධර්මසේන පතිරාජයන්ව ආකාර කිහිපයකින් ඇසුරු කළ කෙනෙක්. මම සිනමාවට එක් වෙන්නේ 90 දශකයේ මුල. වසන්ත ඔබේසේකර, ධර්මසේන පතිරාජ ඒ වන විට සිනමාවට සක්‍රීය දායකත්වය දෙන මුහුකුරා ගිය අධ්‍යක්ෂවරු. පතිරාජයන් සිනමාවේ වගේම රූපවාහිනියෙත් කටයුතු කළා. ඒ කාලයේම විමුක්ති, අශෝක හඳගම වගේ තරුණ සිනමා අධ්‍යක්ෂවරු සිනමාවට ආගමනය වෙලා. මමත් තරුණ නළුවෙක් ලෙස සිනමාවට ප්‍රවේශ වෙනවා.
ඒ මැදිහත්වීම මත ධර්මසේන පතිරාජයන් වසර ගණනාවකට පසුව නිර්මාණය කළ 'මතුයම් දවස' චිත්‍රපටයට මා දායක කර ගන්නවා. එලෙස සිනමාව ඔස්සේ ඔහුව මම හඳුන ගන්නවා. ඉන්පසුව පෞද්ගලිකවත් එතුමා සමඟ දිග සම්බන්ධතාවයක් පවතිනවා. ආචාර්ය උපාධිය වෙනුවෙන් විදෙස් අධ්‍යාපනය ලබන විට මෙරට දී වගේම පිටරට දීත් ඔහු මට හමුවෙනවා.
පෞරුෂත්වයෙන් පිරුණු අධ්‍යක්ෂවරයෙක් ලෙස සිනමාවේදීත් , පෞද්ගලික දිවියේ දී විශිෂ්ට මනුස්සයෙක් ලෙසත් පතිරාජයන් ඇසුරු කිරීමෙන් ලද ආනන්දය පසුකලෙක එතුමා සමඟ මගේ සම්බන්ධතාවය ගොඩනැගෙන්නේ විශ්ව විද්‍යාල ආචාර්ය වරයෙක් ලෙසයි. විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ලෙස පරිපාලනමය කටයුතුවලදී එතුමා මට හමුවෙනවා.
එහි දී ඉතාම සමීපව අපි වැඩ කරනවා. එතුමා සෞන්දර්යය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි පීඨයේ පීඨ මණ්ඩල සාමාජිකයෙක්. මම එතුමාගෙන් දැකපු විශේෂ ගුණයක් තමයි විශ්ව විද්‍යාල ක්ෂේත්‍රයේ අති උදාර, සෘජු ශාස්ත්‍රඥයෙක් වීම. විශ්ව විද්‍යාලීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ පර්යේෂණ, ඉගෙනුම් ක්‍රියාවලිය වර්ධනය කරන්නට එතුමා දැක් වූ බුද්ධිමය දායකත්වය විශිෂ්ටයි.
සිනමාවේ මෙන්ම එතුමන් තම ප්‍රගතිශීලීත්වය, අධීනත්වය විශ්වවිද්‍යාල ප්‍රජාව තුළත් ප්‍රකට කළා. ඔහු ඉතාම සරල විශිෂ්ට විද්වතෙක් ලෙසයි මම දකින්නේ. එවන් අදීන කලාකරුවන් බුද්ධිමතුන් රටටකට පහළ වෙන්නේ කලාතුරකින්. එවැන්නන් හදිස්සියේ බිහි වෙන්නේ නැහැ.
විශාල සේවයක් කළ සිනමාකරුවෙක්
ප්‍රවීණ රංගන ශිල්පිනී ස්වර්ණා මල්ලවාරච්චි
හන්තානේ කතාව, චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර තමයි ධර්මසේන පතිරාජව මට හඳුනාගන්නට ලැබෙන්නේ. ඒ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ සුගතපාල සෙනරත්යාපාගේ සහායට පතිරාජ පැමිණ සිටියා. එහි තිරරචනයේ වැඩකටයුතු සිදුකරන්නට. මම එහිදී දුටුවා සුගතපාල සෙනරත්යාපාට විශාල සහයෝගයක් චිත්‍රපටය රූගත කරන තුරාවටම පතිරාජගෙන් ලැබෙන හැටි. 'හන්තානේ කතාව ' රූගත කළේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදියි.
පතී ඒ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක්ව සිටියා. තිර නාටකයේ පවතින සිද්ධීන් විශ්ව විද්‍යාලය ඇතුළේ වෙන දේවල් ඒ ආකාරයෙන්ම රූගත කරන්නට ඔහුගෙන් විශාල අනුග්‍රහයක් ලැබුණා. හන්තානේ කතාවේ එන අවසන් ගීතය 'අනාත වු දෙරණ කරා..' ගීතය රචනා කරන්නත් පතීගේ අනුග්‍රහය ලැබුණා. ඒ වන විට පතිරාජට අවුරුදු විසිගණනක් ඇති. එදා ඇති වූ දැනහැදුනුම් කම නිසා ඔහුගේ 'අහස්ගව්ව' චිත්‍රපටයට මාව සම්බන්ධ කර ගත්තා.
ඒ චිත්‍රපටයත් සමඟ අපි අතර අති ප්‍රබල මිතු දමක් ගොඩනැඟුණා. එය ඔහු මිය යන තුරාම පැවැතියා. ඒ කාලෙ 'අහස්ගව්ව' එන කොට ඒ වගේ චිත්‍රපටයක් කවුරුත් කරල තිබ්බෙ නැහැ. අපිත් ඒ කාලෙ ලෝක සිනමාව ගැන උනන්දුයි. නිතරම අපි ඒ සිනමා කෘති නරඹනවා. ධර්මසිරි බණ්ඩාරනායක, ධර්මසේන පතිරාජ වගේ සිනමා කරුවන් නවරැල්ලේ සිනමා කලාවක් කරා ප්‍රේක්ෂකයා රැගෙන ගියා. සමාජ ප්‍රශ්න සිනමාවෙන් කලාත්මක ලෙස විහ්‍රහ කළා.
එනිසාම පතිරාජ, ධර්මසිරි, වසන්ත වැනි සිනමා කරුවන් වම් ඉව්රේ සිනමා කරුවන් ලෙස හඳුන්වනවා. පතිරාජ කියන්නේ සිනමාවට වගේම සිනමාව හදාරණ අයට විශාල සේවයක් කළ සිනමාකරුවෙක්. දෙස් විදෙස් කීර්තියට පත් අධ්‍යක්ෂවරයෙක්. ඔහුගේ නිර්මාණ ඔහු ලියූ ශාස්ත්‍රීය ලිපි ලේඛන, ඔහු ගේ දේශන , සාකච්ජා සිනමාව හදාරණ ශිෂ්‍ය ශිෂ්‍යවන්ට මහඟු ප්‍රයෝජනයක් වේවි. මතුපරපුර වෙනුවෙන් ඒවා සංරක්ෂණ ය කරන්න කියල මම යෝජනා කරනවා.
ඔහු නියෝජනය කළේ නිර්ධන පන්තියයි
ප්‍රවීණ රංගන ශිල්පී, අමරසිරි කලංසූරිය
පතියි මමයි ඉගෙන ගත්තේ එකම පාසලේ. ඒ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ. පතී දක්ෂ ශිෂ්‍යයෙක්. ඔහු මට වඩා අවුරුදු දෙකක් පමණ බාලයි. අධ්‍යාපනයෙන් පසුව මම විශ්ව විද්‍යාලයේ නොගියත් පතී ඇතුළු ශිෂ්‍යයන් කිහිප දෙනෙක්ම අපේ පාසලෙන් විශ්ව විද්‍යලයට ගියා. දයා, සීප්පුව, බචෝ, තක්කාලිය වගේ මිතුරන් කිහිප දෙනෙක් කැම්පස් ගියා. මම පාසලෙන් ඉවත් වෙලා සීනියර් විභගෙ කරලා රැකියා කිහිපයකම නියැලුණා.
මම නිතර කැම්පස් එකට යන එනවා. මගේ මව්පියන් ජීවතුන් අතර හිටියේ නැහැ. හරි අමාරුවෙන් තමයි ජීවත් වුණේ . පතී ඒ ගැන දන්නවා. මේ කාලෙ මමත් සිනමාවට හරි ආසයි. සිනමා නිර්මාණ කරන්න සල්ලි එකතු කළා. පසුව ව්‍යාපාරයක් කළා. කොහොම හරි පතී දවසක් කිව්වා රුපියල් 30,000ක් තිබෙනවා නම් චිත්‍රපටයක් කරන්න පුළුවන් කියලා.
මම මගේ මිතුරෙක් සමඟ පතීව හමුවුණා. ඒ විදිහට නිර්මාණය වුණු චිත්‍රපටය තමයි 'අහස්ගව්ව'. එ් චිත්‍රපටය වෙනුවෙන් සම්මාන 9ක් හිමි වුණා. මම හොඳම නළුවා වුණා. පතී හොඳම අධ්‍යක්ෂක වුණා. ජනතාව අතර මාව වඩාත් කතාබහට ලක් වුණේ ඒ සිනමා කෘතියත් සමඟයි. මම පතීගේ දකින විශේෂත්වය තමයි පතී කියන්නේ නිර්ධන පංතිය නියෝජනය කරපු චරිතයක්. එය තමයි පතීගේ මම දකින් සුන්දරත්වය. කිසිම වෙලාවක කිසිම දෙයකට පතී කෑදර වුණේ නැහැ.
ත්‍රෛභාෂාවේම සුවිශේෂී සිනමා ප්‍රාඥයා
අධ්‍යක්ෂ මාලක දේවප්‍රිය
මට පතිරාජ සර්ව හමුවන්නේ මම කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පළමු වසරේ ශිෂ්‍යයෙක්ව සිටින අවධියේදියි. ඒ වන විට මම පතිරාජ සර්ගේ චිත්‍රපට නරඹලා ඔහුගේ තදබල රසිකයෙක් බවට පත්වෙලා හිටියේ. ඒ වන විටත් මම සිනමාවට ඇති කැමැත්ත නිසා 'Life circle' කෙටි චිත්‍රපටයක් නිර්මාණය කර තිබුණා. එය මම VHS කැසට් පටයකට නඟලා පතිරාජ සර්ට බලන්නට දුන්නා. එය 'Tell Aviv' කෙටි චිත්‍රපට උළෙලට යොමු කරන්න පතිරාජ සර් කටයුතු කළා. තරුණ සිනමා කරුවන් විදිහට මා ඇතුළු මගේ සමකාලීනයන් සිනමා නිර්මාණ ඔස්සේ ඔසවා තබන්නට පතිරාජ සර් මහත් පරිශ්‍රමයක් දැරුවා.
ධර්මසිරි පතිරාජ කියන්නේ සේවයට ඇවිත් පඩියක් අරන් ගෙදර යන විදිහේ ආචාර්යවරයෙක් නෙවෙයි. එතුමා විශිෂ්ට ගුරුවරයෙක්. ඔහු සිනමාවට සෑහෙන ශිෂ්‍ය පරම්පරාවක් එක්කාසු කළා. හිනිඳුම සුනිල් සෙනෙවි, ප්‍රියන්ත ෆොන්සේකා, අතුල සමරකෝන් වගේ ශිෂ්‍ය පරම්පරාවකට පසුකාලීනවත් ශිෂ්‍ය පරම්පරාවක් ඔසවා තැබුවා. එලෙසම පතිරාජයන් තවත් අතකින් සුවිශේෂී වෙන්නේ විධිමත්ව උපාධියක් ලබලා සිනමාව හදාරලා ලංකාවේ බිහි වූ ශාස්ත්‍රීය සිනමා උගතාවීමයි.
දර්ශනවාදය,මාක්සවාදය, පශ්චාත් නූතන වාදය පිළිබඳ විහාල දැනුමක් ඔහුට තිබුණා වගේම නූතන දැනුමෙන්ද සමපාත වෙලා හිටියේ. මෙවන් ගුරුවරු ඉතාම විරලයි. පතිරාජ සර්ට සිනමාවට නඟන්නට බැරි වුණු නමුත් සිනමාවට නඟන්න ආසාවෙන් හිටි තිර රචනා කිහිපයක්ම තිබුණා. ඒ සුගතපාල ද සිල්වාගේ 'Dress rehearsal' අජිත් තිලකසේනගේ 'සිරිපා ඉම', 'ගමනාන්තය', සරත් කැල්ලපතගේ 'දෙනම', 'Crocodile', යන තිරනාටක. ඒ වගේම සර්ගේ අවසන් කාලයේ 'හොඳ මිනිහා' කෙටි කතාවෙන් චිත්‍රපටයක් කිරීමේ ආසාව තිබුණා.
ඔහු ජීවත් වෙලා හිටියා නම් තවත් සුවිශේෂී නිර්මාණ සිදු කරාවි. පතිරාජ සර් ක්ෂේත්‍ර ගණනාවක විසල් දැනුමක් පැතිරුණු ලංකාවේ 21 වන සියවසේ බිහි වූ සුවිශේෂී ත්‍රෛභාෂා සිනමා ප්‍රාඥයෙක් ලෙසයි මම දකින්නේ.