ත්‍රාස­ජ­නක අත්දැ­කී­මක් ලැබෙන ආන­ති­යෙන් වැඩිම දුම්රිය මඟ | සිළුමිණ

ත්‍රාස­ජ­නක අත්දැ­කී­මක් ලැබෙන ආන­ති­යෙන් වැඩිම දුම්රිය මඟ

දුම්රියෙන් ගමන් කිරීම අපේ රටේ තිබෙන ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යයන්ගෙන් එකක්. විශේෂයෙන්ම බදුල්ල වෙත ගමන් කරනා දුම්රිය දේශීය විදේශීය සැවොම අතර ජනප්‍රිය වී තිබෙන්නේ එහි යන විට කඳුකරයේ සැබෑ සුන්දරත්වය දිස්වෙන නිසායි. මුහුදුබඩ ප්‍රදේශ වල සිට කඳුකරය වෙත ගමන් කරන විට ගමන් මාර්ගයේ ආනතිය වැඩි වන අතර එවිට දුම්රිය සෙමින් අසීරුවෙන් එම ස්ථාන පසු කර දමන්නේ දුම්රිය එන්ජිම මගින් ලැබෙන විශාල ශක්තිය උපයෝගී කරගෙනයි.

මෙලෙස ආනතිය වැඩි වන විට එන්ජිම මඟින් මුළු දුම්රිය ඉහළට ඇදීමට අපහසු වන නිසා කේබල් මගින් ක්‍රියාත්මක වන දුම්රිය විශේෂයක් මේ සඳහා භාවිතා කරයි. Funicular නමින් ඉංග්‍රීසි බසින් හඳුන්වන මෙම දුම්රිය විශේෂය කේබලයක් මගින් බෑවුමෙහි ඉහළට යන හා පහළට යන දුම්රිය දෙක සම්බන්ධ කර තිබෙන අතර මේ නිසා වැඩි අපහසුවකින් තොරව ඉතාමත් තියුණු නැග්මක් ඇති කන්දක පවා ගමන් කිරීමට හැකියාව සහිත වේ. ලංකාවේ මෙවැනි දුම්රිය දකින්නට නොමැති වූවත් මෙවර ඔබ වෙත තොරතුරු රැගෙන එන්නේ ලොව ආනතියෙන් වැඩිම මග හා එහි ගමන් කරන දුම්රිය පිළිබඳවයි.

ස්විස්ටර්ලන්තයේ Schywz හි සිට කඳුකර ගම්මානයක් වන Stoos වෙත ගමන් කරන මෙම දුම්රිය 110%ක ආනතියකින් මුහුදු මට්ටමේ සිට මීටර් 1300ක් පමණ උසට ගමන් කරනවා. පසුගිය දෙසැම්බරයේ අගභාගයේදී මහජනයා වෙත විවෘත වුණු මෙය දැනට ලොව තිබෙන ඉහළම තාක්ෂණය යොදාගෙන නිර්මාණය කරන ලද්දක්. එක් දුම්රියක් මැදිරි 4කින් සමන්විත වන අතර එම එක් මැදිරියක මගීන් 34 දෙනකු සඳහා ඉඩ පහසුකම් තිබෙනවා. මෙම මැදිරි දුම්රිය ගමන් කරන විට එම ආනතියෙන් ගමන් කරනවා වෙනුවට සාමාන්‍ය තිරස් රේඛාවක පිහිටන සේ නිර්මාණය කර තිබෙන්නේ එම මැදිරි වලට බැරල් එකක මෙන් හැඩයක් ලබා දෙමිනි. සම්පූර්ණ දුම්රිය මාර්ගයේ දිග මීටර 1738ක් වන අතර මෙයින් මීටර 743ක්ම දැඩි ආනතියකින් යුතු වීම මෙහි ඇති විශේෂත්වයයි.

1933 වර්ෂයේ සිට මෙම ස්ථානයේ ක්‍රියාත්මකව තිබූ දුම්රිය ඉවත් කර මෙම නවතම දුම්රිය ඉදිකිරීමට කටයුතු ආරම්භ කර තිබෙන්නේ 2013 වසරේදීය. ඇමෙරිකානු ඩොලර් මිලියන 53ක් වැනි විශාල මුදලක් මේ සඳහා වියදම් වූවත් මෙම දුම්රිය එය ගොඩනැගූ සමාගමට ආඩම්බරයක් බවයි ඔවුන් පවසන්නේ.

අංශක 47.7ක ඉතා දළ බෑවුමකින් ගමන් කරන මෙය විනාඩි 4ක් වැනි කුඩා කාලයකින් ස්ටූස් ග්‍රාමය වෙත ළඟා වෙනවා. මෙම ස්ටූස් ග්‍රාමයේ වැසියන් 100ක් පමණ අඩු පිරිසක් වාසය කළත් මෙම ස්ථානය සංචාරකයන් අතර ඉතාමත් ප්‍රසිද්ධ හිම ක්‍රීඩා කරන ස්ථානයක් වනවා. 

Comments