ගහේ කටු උල් කරන්න ඕනෙ නෑ | Page 2 | සිළුමිණ

ගහේ කටු උල් කරන්න ඕනෙ නෑ

මවු පිය උරුමයෙන් කලාවට පිය මං කළ තවත් එක් තරුණ කලාකරුවෙක් ලෙස රසාංජන නන්දසිරි හැදින්විය හැකියි. මෙරට වේදිකාව, පුංචිතිරය, සිනමාවේ ප්‍රවීණ රංගන ශිල්පීන් දෙපළක් වන විජය නන්දසිරි සහ දේවිකා මිහිරානි රසාංජනගේ ආදරණීය දෙමවුපියන්.මේ අම්මයි පුතයි දෙදෙනාම මේ දිනවල බොහොම කාර්ය බහුල වුවත් රසඳුන සඳවට රන්තරු විශේෂාංගය හා සම්බන්ධ වුයේ බොහොම සතුටෙන්.

 ඔබ අපේ රටේ පුංචි තිරයේ පළමු ටෙලිනාට්‍ය වු 'දිමුතු මුතුහි' රඟ පෑ රංගන ශිල්පිනියක්. මේ තරම් අත්දැකීම් ඇති ඔබ ඇයි කලාවෙන් තරමක් ඈත් ව සිටින්නෙ..

මම කලාවෙන් ඈත් වෙලා නෑ. මේ දිනවල රටේ පවතින වාතාවරණයත් සමග කලා කටයුතු වලින් තරමක් දුරට ඈත්ව සිටිනවා. එය තත්ත්වය පහව යන තුරු බලාගෙන සිටිනවා. කොළඹ අවට කෙරෙන රූගත කිරීම්වල පොඩි චරිත සඳහා සහභාගි වෙනවා. මේ දිනවල දණහිසේ පොඩි අමාරුවක් නිසා වේදිකා නාට්‍ය රංගනයෙන් තරමක් දුරට ඈත්ව සිටිනවා.

විජය නන්දසිරි යනු අපේ රටේ සිටි ප්‍රවීණතම රංගන ශිල්පියෙක්. ඔහුගේ වියෝවෙන් පසුව ගෙවන ජීවිතය ‍කොහොමද..

විජය කියන්නේ කලාව ජීවිතය කරගත් සොඳුරු සෞන්දර්ය වාදියෙක්. ඔහුගේ පෙනුම ඕනෑම චරිතයකට ගැළපෙන නිසා ඔහු කළ ඕනෑම චරිතයක් ඉතා සාර්ථක වුණා. විජය නිර්මාණ දිවියට සේම පවුල් ජීවිතයත් හොඳින් ගත කළා. ඔහුට මනස නිරවුල්ව තබාගෙන රංගන කටයුතුවල නියැලෙන්න ඉඩ ලබාදිය යුතු නිසයි මා රඟපෑමෙන් ඈත් වුණේ. එහෙත් ඔහුගේ වියෝවෙන් පසුව මාගේ පාළුව තනිකම මගහරවා ගැනීමට නැවතත් රංගනයේ නිරත­‍ෙවන්න තීරණයකළා.

ඔබ දෙදෙනාගේ පුත් රසාංජන දැන් රංගන ශිල්පියෙක්.

කෙටියෙන්ම කියන්න තියෙන්නේ ගහේ කටු උල් කරන්න ඕනෙ නෑ කියන එක. මම පුතාව කුසේ තියාගෙන වේදිකා නාට්‍යවල රඟපෑවා. ඔහු ඉපදුනාට පසුව අපි රඟපාන්න ලෝකෙ වටේම ගියේ දරුවනුත් රැගෙනයි. ඒ ගිය සෑම අවස්ථාවකම ඔවුනුත් පුංචි පුංචි චරිත රඟදැක්වුවා. ඒ ආභාසය පුතාට නිරායාසයෙන්ම පිහිටා තිබුණා. එහෙත් ඉගෙනුමට නැඹුරු වීමත් සමග පුතා ටිකක් රංගනයෙන් ඈත් වුණා.දැන් ඔහු නැවතත් රංගනයට අවතීර්ණ වෙලා.

ඔබ ‍‍ෙදදෙනාම කැමැත්තෙන් සිටියේ පුතාව ගුවන් නියමුවෙක් කරන්න..

දැනටත් පුතා ගුවන් නියමුවෙක් ‍ෙවන්න ඉගෙනුම ලබනවා. උසස් පෙළ අවසන් වුවාට පසුව විජය ඇහුවා පුතාගෙන් මොනවද ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. එම අවස්ථාවේදි තමයි ඔහු කීවේ ගුවන් නියමුවෙක් වෙන්න ඉගෙන ගන්නවා කියා. ඒ සඳහා අපි ඔහුව විදේශගතකර අධ්‍යාපනය ලබාදුන්නා.ඉදිරියේදි එම රැකියාව පුතාට ලැබේවි.

පියාගේ වියෝවෙන් පසුවද පුතා රංගනය පැත්තට යොමුවුයේ.‍..

විජයගේ මරණයත් සමග පුතාට වයසටත් වඩා වගකීම් රැසකට මුහුණ දෙන්න සිදුවුණා. පවුලේම බර කරට ගන්න සිදුවුණා. තාත්තගෙ වෘෂභ රාජ, කුසපබාවතී, හාරත රැජින, ගජබා වේදිකා නාට්‍ය නැවතත් රසිකයන් අතරට ගෙනයෑමට උත්සාහ කරනවා. ඒ වගේම විජයට ආදරය කළ රසිකයන් වෙනුවෙන් යමක් කරන්නට පුතාට ලොකු ඕනෑකමක් තියෙනවා. ඔහුගේ ඇඟේ කලාව ති‍යෙනවා. ඒකෙනුත් ප්‍රයෝජනයක් ගත යුතු නිසා පුතා රංගනයට යොමුවුණා.නමුත් වැඩි වශයෙන් පුතා රංගනය පැත්තට නැඹුරුවුයේ පියාගේ වියෝවෙන් පසුවයි.

තාත්තාගේ චරිතයට සාධාරණයක් කළ හැකි රංගන ශිල්පියෙක් වීමට පුතාට හැකියැයි ඔබ සිතනවාද...

මට බය නැතිව කියනන්න පුළුවන් විජය තුළ පැවැති රංගන හැකියාව පුතාට තියෙනවා කියළා. පසුගිය කාලයේ විජය සහ මම රඟපෑ කුස පබාවතී වේදිකා නාට්‍ය දැන් මම රඟපාන්නේ පුතා සමඟ. ඔහු තමයි විජය රඟපෑ ජයම්පතීගේ චරිතය රඟදැක්වූයේ. එම නාට්‍ය නැරඹූ බොහෝ දෙනෙක් කීවේ පුතා රංගනයට ඉතා දක්ෂයි කියළා. ඔහුට කලාවේ ලොකු ගමනක් තිබෙනවා කියා. වයසෙන් මුහුකරා යද්දි පුතා තවත් දක්ෂවේවි.

පියාත් නොමැති නිසා පුතුගේ අනාගතය කෙසේ ගොඩනැංවීමටද ඔබ අදහස්කරගෙන සිටින්නෙ..

රසාංජනට පියා නැතිවන විට වයස අවුරුදු විසි එකයි. විජයගේ හදිසි වියෝවෙන් පුතාගේ හිස මත ලොකු බරක් එකවරම කඩාවැටුණා.අපේ පවුල මානසිකව කඩා වැටුණා.නමුත් පුතාගේ උත්සාහය මත අපි නැවතත් යථා තත්ත්වයට පත්වුණා. පුතාට විවාහයක් කරදෙන්න තවම වයස මදි. එයා ජීවිතයේ අත්දැකීම් ලබාගෙන මට විවාහයක් කරගන්න ඕනෑ කියන දවසට එය කරදෙනවා.

 


තාත්තා හිටියා නම් ගොඩක් සතුටු වේවි

රංගන ශිල්පිනී රසාංජන නන්දසිරි

 මොනවද මේ දවස්වල කෙරෙන නිර්මාණ කටයුතු..

පසුගිය දිනවල තාත්තා කළ වෙළෙඳ දැන්වීමක රඟපෑවා . එය දැන් විවිධ නාළිකාවල විකාශය කෙරෙනවා. එයට අමතරව ලබන මාසෙ ‍ගිරිරාජ් කෞෂල්‍ය මහතාගේ චිත්‍රපටයකට ආරාධනා ලැබුණා. ඉදිරියේදි එහි රූ ගත කිරීම් සඳහා සහභාගි වෙනවා.

හදිසියේම විදේශ ගතවන්නේ නිර්මාණ කටයුත්තකටද...

නැහැ. මගේ අක්කා‍ පදිංචිව සිටින්නේ ඕස්ට්‍රේලියා‍වේ. ඇයගේ දුව සහන්යා මිහිරානිගේ උපන්දිනයට සහභාගි වෙන්නයි අපි යන්නේ.

රැකියාවට අවතීර්ණ වු පසුව රසාංජන කලාවෙන් ඈත් වෙයිද..

ගුවන් නියමු රැකියාව දිනපතාම කළයුතු රැකියාවක් නෙමෙයි. මාසෙ දින පහළොවක් වැඩ කළොත් අනෙක් දවස් පහළොව ගෙදර. මම හිතනව මේ විවේකයත් සමග කාලය බෙදාගෙන ඉදිරියේදි රංගනයේ නියැලෙන්න හැකිවේවි කියා.

ඒ කියන්නෙ ඔබ වෘත්තීමය මට්ටමේ රංගන ශිල්පියකු වෙන්න කැමැති නැහැ කියන එකද..

මම හිතන්නෙ අපේ රටේ රංගන ශිල්පියකුට කලාව පමණක් වෘත්තිය කරගෙන ජීවත්වීම තරමක් අපහසුයි. විශේෂයෙන් දැන් තිබෙන ආර්ථිකයත් එක්ක. අපේ රටේ වෘත්තීය මට්ටමෙන් කලාවේ නියැළුනු රංගන ශිල්පියෙක් මගේ පියා. ඔහු කලාවෙන් ‍උපයපු මුදලින් ගොඩක් දේ කළා. තාත්තත් මුල් කාලයේ වෙනත් වෘත්තියක් කරන ගමන්මයි කලාවේ නිරතවුයේ. පසුකාලීනව කලාවේ ස්ථාවර වුවාට පසුව තාත්තා වෘත්තීය ජීවිතයෙන් සමුගෙන පූර්ණකාලීනව කලාවේ නියැළුනා. මමත් කවදා හෝ එහෙම වෙන්න පුළුවන්.

ඔබේ පියා ජීවතුන් අතර සිටියානම් ඔබ කලාවට සම්බන්ධවෙන එකක් නැති වේවිද..

තාත්ත හරිම කැමැත්තෙන් සිටියේ මාව කලාවට සම්බන්ධ කරගන්න. මගේ ඒතරම්ම වුවමනාවක් තිබුණේ නෑ. අපේ වේදිකා නාට්‍ය අරගෙන විදේශගත වුවිට රංගන ශිල්පීන් සුළු පිරිසනෙ සහභාගි වන්නේ. එම අවස්ථාවලදී එම නාට්‍යවල විවිධ චරිත සඳහා පෙනී සිට තිබෙනවා.එවැනි අවස්ථා තාත්තා දැක තිබෙනවා. ඔහු දැනගෙන සිටියා මගේ රංගන හැකියාව ගැන.තාත්තා අද සිටියානම් ගොඩක් සතුටු වේවි මම රංගනයේ නියැළීම ගැන.

රඟපෑමට අමතරව ඔබට තවත් හැකියාවන් ගොඩක් තියෙනවා..

රඟපෑමට අමතරව ගායනය, නර්තනය, විදුලි ආලෝකරණය, බෙර වාදනය, වේදිකා පාලනය යන අංශ කිහිපයකම වැඩ කිරීමේ හැකියාව මට තියෙනවා. ඒ කිසිවක් හදාරලා නෙමෙයි. දෙමවුපියන්ගේන් ලැබුණු දායාද. තාත්තගෙ සෑම වේදිකා නාට්‍යයක්ම විදේශ රටවල පෙන්වන අවස්ථාවලදී මම තමයි ඔය කියන සියල්ල කළේ. වෘෂභ රාජ වේදිකා නාට්‍යයේ බෙරකරු ලෙස පෙනී සිටින්නෙත් මම. ඉදිරියේදි තාත්තාගෙ වේදිකා නාට්‍ය පෙන්වීම සඳහා මගේ මෙම විවිධ දක්ෂතා ප්‍රයෝජනයට ගැනීමට අදහස් කරනවා. 

Comments