කලාවේ නියැ­ලෙන දොස්තර ස්පිට්ල්ගේ මුනු­පුරා බ්‍රයන් ස්පිට්ල් | Page 3 | සිළුමිණ

කලාවේ නියැ­ලෙන දොස්තර ස්පිට්ල්ගේ මුනු­පුරා බ්‍රයන් ස්පිට්ල්

ඉංග්‍රීසීන් අපේ රටට නිදහස ලබා දී වසර 70ක් සපිරෙද්දීත් අපට එම පාලන කාලයේ ලැබූ ඇතැම් දේ ගැන මතකය තවමත් අමතක කිරීමට නොහැකිය. අතීතයේ අපේ රටේ තිබුණු සැබෑ පරිසරය, මිනිසුන්ගේ සැබෑ ජීවන තොරතුරු මෙන්ම පාලනය පිළිබඳව නිවැරැදි තොරතුරු වර්තමානයේ අපට දැනගත හැකි ප්‍රබලම මාධ්‍යයක් වන්නේ එදා විසූ විදේශිකයින් ලියූ ලේඛනය. සුදු වැද්දා, සුදු ගෝනා ඇතුළු නවකතා රැසක් රචනා කළ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ආර්.එල් ස්පිටිල් මහතා ද එලෙස අපේ රටට පැමිණ මෙහි සේවය කළ ප්‍රකට ලේඛකයකි. ශ්‍රී ලාංකීය ජන සමාජයට, ස්වභාව සෞන්දර්යට මහත් ආදරයක් දක්වමින් පොත් පත් රාශීයක් රචනා කළ එතුමා, අද ජීවතුන් අතර නොසිටිය ද ඒ පරපුර නියෝජනය කරමින් කලාවේ දිගු ගමනක් ගොස් සිටින ඔහුගේ මුනුපුරකු අපට හමුවිය.

වේදිකාව, ටෙලි නාට්‍යය මෙන්ම සිනමාවේ සහාය කලා අධ්‍යක්ෂකවරයෙක්, සහාය නිෂ්පාදන කළමනාකරුවෙක්, වේදිකා පරිපාලනයේ ද ක්‍රියාකරමින් සිය රංගන කුසළතාව ද රසිකත්වය හමුවට ගෙන එන බ්‍රයන් ෆ්‍රැන්සිස් මැල්කම් ස්පිට්ල් නොහොත් බ්‍රයන් ස්පිට්ල් එම චරිතයයි. රසඳුන මෙවර කතාබහක යෙදෙන්නේ ඒ සොඳුරු කලාකරුවා සමඟය.

•කලා ක්ෂේත්‍රයට ඔබේ ආගමනය සිදුවන්නේ කේසේද ?

මා කුඩා කාලයේ ඉඳලා ඉංග්‍රීසි චිත්‍රපට නැරඹීමට දැඩි රුචිකත්වයක් දැක්වුවා. ඒ වගේම පසු කාලීනව සිංහල, දෙමළ චිත්‍රපටි බලන්නත් නැඹුරු වුණා. ඒ අතුරින් මම මගේ මව්පියන් එක්ක ප්‍රථමවරට නැරඹූ ‘සවුන්ඩ් ඔෆ් මියුසික්‘නැමැති ඉංග්‍රීසි චිත්‍රපටය පුදුමාකාර විදියට හිතට වැදුණා. ඒ චිත්‍රපටය නරඹපු දවසේ ඉඳලා මටත් කලාව ගැන දැඩි ආසාවක් ඇති වුණා. නළුවෙක් වීමේ වුවමනාව හිත පුරා දුවන්න පටන් ගත්තා. එදා ඉඳලා මම නිකන් හිටියේ නැහැ, කලාව ගැන බොහෝ දේ ඉගෙන ගන්න උත්සහ ගත්තා. ඒ නිසා වෙන්න ඇති මට වේදිකාව, ටෙලි නාට්‍යය වගේම සිනමාව කියන අංශ තුනම ජයගන්න පුළුවන් වුණේ.

•ජාත්‍යන්තර සම්මාන හා ගෞරවයට පත් සුදු වැද්දා, සුදු ගෝනා ඇතුළු නවකතා රැසක් රචනා කළ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ආර්.එල් ස්පිටිල් මහතා සහ ඔබ අතර තිබෙන ඥාතිත්වයත් ඔබේ කලා ගමනට අත්වැලක් වුණා නේද ?

විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ආර්.එල් ස්පිටිල් මහතා කියන්නේ මගේ මුත්තණුවන්. මගේ පියා පර්සි බර්ටි බර්ට්‍රම් ස්පිට්ල්. මගේ පියාගේ තාත්තා තමයි ජෝර්ජ් ස්පිට්ල්. ඒ කියන්නේ මගේ සීයා. එතුමගේ පවුලේ සහෝදර සහෝදරියෝ 09 ක්. විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ආර්.එල් ස්පිටිල් මහත්මයා ඒ පවුලේ දෙවැනියා. අපේ තාත්තගේ තාත්තා ඒ පවුලේ බාලයා. ඒ කාලේ හිටපු ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක් තමයි මැල්කම් ස්පිට්ල්, එතුමත් මහාචාර්ය ආර්.එල් ස්පිටිල්ගේ සහෝදරයෙක්. ස්පිට්ල් පවුල ජනප්‍රිය වෙන්න හේතුව වුණේ මහාචාර්ය ස්පිට්ල් නිසයි. එතුමන් ජාත්‍යන්තර සම්මාන රැසක් දිනාගත් ලේඛකයෙක්. මම හිතන්නේ එයත් එක්තරා විදිහකට මේ ගමන එන්න ආභාසයක් වුණා. මොකද එතුමා මේ රටේ පරිසරයට, සංස්කෘතියට, අපේ කමට පුදුම ඇල්මක් දක්වපු පුද්ගලයෙක්. මම එතුමාව දැකලා නැති වුණාට මගේ මවුපියන්, විශේෂයෙන් ම මගේ පියා එතුමා ගැන කියූ දේවල් තදින්ම හිතට වැදුණා. එතුමා මගේ මුත්තණුවන් කියලා කියන්න ලැබීමත් මා ලැබූ වාසනාවක් .

• ඔබ වේදිකාව, ටෙලි නාට්‍යය හා සිනමාවට එන්න කලින් නිෂ්පාදන කළමනාකරණය, වේදිකා පරිපාලනය වගේ අංශ රැසක නියැලෙනවා නේද ?

1982 වසරේ ලක්ෂ්මන් පුෂ්පකුමාරගේ ‘වටරවුම‘ වේදිකා නාට්‍යයේ ආධුනික වේදිකා පරිපාලන ශිල්පියා ලෙසයි කලා ක්ෂේත්‍රයට මුලින් ම පිවිසෙන්නේ. පසුව ප්‍රසිද්ධ පාරක් නොවේ, ෂා වැනි වේදිකා නාට්‍ය වල වේදිකා පරිපාලන, නිෂ්පාදන කළමනාකරු මෙන්ම නළුවෙක් ලෙසත් දායකත්වය ලබා දුන්නා. අවුරුදු කුමාරයා, කප්රුක සෙවණ, හිම වරුෂා, ආදර සරෝජා, සරා සහ සුභා, සුදු හාමිනේ,කොළොම්පුරේ ශ්‍රීයා වගේ ටෙලිනාට්‍යය බොහොමයකත් අධ්‍යක්ෂණයෙන් ද, සහාය නිෂ්පාදන කළමනාකරුවකු විදිහටත්, රංගන ශිල්පියකු හැටියටත් දායක වුණා. එකම නාට්‍යයක රංගනය වගේම වෙනත් අංශවලිනුත් දායක වෙන්න ලැබීම මා ලැබූ ජයග්‍රහණයක්. නව මිනිසෙක්, ජූලිය විලාපය, සිංහ කොඩියේ රාජසිංහ වැනි නාට්‍යය රැසකත් නළුවෙක් වගේම අනෙකුත් අංශ සඳහාත් දායකත්වය ලබාදෙන්න මට අවස්ථාව ලැබුණා. එවැනි අවස්ථා කෙනකුට ලැබෙන්නේ හරිම විරලවයි.

• එතකොට ඔබ කොහොමද ටෙලි නාට්‍යයට හා චිත්‍රපටවලට පිවිසෙන්නේ ?

ගුණ දහමෙන් පොහොසත් දක්ෂ රචකයෙක් සහ අධ්‍යක්ෂවරයකු වූ ලක්ෂ්මන් පුෂ්පකුමාර මහතා මට කලාවේ නිවැරැදි ගමන් මඟ ගැන නිවැරැදි මාර්ගය පෙන්වා දුන්නා. ඔහුගේ නිර්මාණශිලීත්වය හා යමක් සිතා මතා කිරීමේ ක්‍රමය මා උකහා ගත්තා. ඒ අනුව ලක්ෂ්මන් පුෂ්පකුමාර මහතාගේ ‘අවුරුදු කුමාරයා‘ඒකාංගික ටෙලි නාට්‍යයේ නිෂ්පාදන කළමනාකරුවෙක් ලෙසයි ටෙලි නාට්‍යයට පිවිසෙන්නේ. පසුව එම ටෙලි නාට්‍යය වගේම ටෙලි නාට්‍යය රැසක රංගනයේ නියැලෙන්න අවස්ථාව ලැබුණා. ඊට අමතරව සීමා පවුරු, බීරළු කොට්ටය, සුදු නංගි, ආදරවන්තයෝ, එක ඉත්තක මල්, දිය සායම් වැනි ප්‍රාසාංගික හා ඒකාංගික ටෙලි නාට්‍යය රැසකට දායකත්වය ලබාදෙන්න පුළුවන් වුණා. එලෙස ටෙලි නට්‍යයවල නිරත වෙලා ඉද්දි ඕනෑම නළුවකුගේ නිළියකගේ ඊළග අරමුණ තමයි සිනමාවට ප්‍රවිශ්ට වෙන එක. ඒ වාසනාව මට එන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්මයා අධ්‍යක්ෂණය කළ ‘ක්‍රිස්තු චරිතය‘ චිත්‍රපටය නිසයි.ඉන් පසුව සුනිල් සෝම පීරිස්ගේ ඔබට දිව්රා කියන්නම් , ෂෙල්ටන් පයාගලගේ ගොළු මුහුදේ කුණාටුවක්, භීෂණයේ අතුරු කතාවක් වැනි චිත්‍රපට සඳහා රංගනයෙන් දායකත්වය ලබාදෙන්න පුළුවන් වුණා. ඊට අමතරව බහු භූතයෝ, ගිනිගත් මධුසමය වැනි චිත්‍රපටවල සහාය කලා අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන්න හැකියාව ලැබුණා.

• මෙතෙක් ආ ගමන් මගේ ඔබේ ගමනට අතහිත දුන් අය මතක් කළොත් ?

මම අධ්‍යාපනය හැදෑරු මෝදර ඩීසලන් විදුහලේ විදුහල්පතිතුමන්, ආචාර්ය මණ්ඩලය, ලක්ෂ්මන් පුෂ්පකුමාර, සෝමසිරි අසුරමාන්න, හේමචන්ද්‍ර පෙරේරා, සංඛ විජේසේකර, ඩොනල්ඩ් ජයන්ත, සමන් නන්දන, සරත් නාමල්ගම වගේම මගේ මවුපියන්, බිරිය දු දරුවන් වගේම ඥාතීන්ගෙන් මේ ගමන එන්න විශාල දායකත්වයක් ලැබුණා. ඒ වගේම මම මේ වන විට නිවාස සංවර්ධන අධිකාරියේ මිනුම් අංශයේ මිනුම් සහායකයකු ලෙස සේවයේ නිරත වී සිටිනවා. ආයතනයේ ඉහළ නිලධාරියගේ සිට සියලුම දෙනා ඉහළ සහයෝගයක් ලබාදෙනවා. ඒ හැමෝම මම ගෞරවයෙන් සිහිපත් කරනවා.

• එදා සහ අද කලාවේ ඇති වී තිබෙන වෙනස ඔබ දකින්නේ කොහොමද ?

කලාව කියන්නේ පිරිසුදු නිර්මල විෂයක්, එය බිහිවන්නේ ලස්සන මානව හිතවාදීයා තුළින්. කවුරු මොනව කිව්වත් කලාව මුදලින් හෝ බලයෙන් යට කරන්න බැහැ. එය ඊයේත් අද මෙන්ම හෙටත් කොතනක හෝ රැදී පවතිනවා.

• ඔබේ අනාගත බලාපොරොත්තුව ?

මගේ එකම ප්‍රාර්ථනාව සහ බලාපොරොත්තුව තමයි කලා ක්ෂේත්‍රය තුළ සෑම අංශයකින්ම පිරිපුන් දක්ෂතා ඇති කලාකරුවකු වීම. ඒ හරහා දිගු ගමනක් ගිහින් මට හැකි පමණින් රටට සේවයක් කිරීම. 

 

Comments