
ඉතාලිය හරහා මෙජිගෝරියට ගිය ගමනේ සිව්වැනි දිනයේදී අප දේව මෑණියන් දර්ශනය වුණු කර්නිකා කන්ද තරණය කළ අන්දම පසුගිය සතියේ ඔබට විස්තර කළා මතක ඇති. මෙම කන්ද බැස අවසන්වන ස්ථානයේ කුඩා අවන්හලකි. යුරෝ එකක මිලකට ලබාගත හැකි රසවත් අයිස්ක්‍රීම් එකකින් , කෝපි කෝප්පය කින් විඩාව නිවා ගැනීමට එය කදිම තැනකි. එසේම මෙම කන්දේ ඇති සුදු පැහැති කුඩා පාෂාණ කැබැලි වලින් කරන ලද දේව මෑණියන්ගේ රුව ඇතුළත් නිර්මාණ මෙම ස්ථානයත් මෙම ගමනත් සිහිපත් වන්නට රැගෙන ආ හැකි අනගි සිහිවටනයන්ය.
අප මීළඟට පැමිණියේ මෙජිගෝරියේ ඇති ප්‍රධානම ස්ථානය වන සාන්ත ජේම්ස් දේවස්ථානය වෙතයි. විවිධ හැඩයේ සුදු පැහැ වලාකුළු වලින් සිත්තම් වුණු නිල්වන් අහස් කුස අරා නැගුණු අපූරු ඔරලෝසු කණු දෙකක් දෙපසට පිහිටන ලෙස ගොඩනගා ඇති මෙම පල්ලිය නිරතුරුවම දස දහස් ගණනක් බැතිමතුන් පිරී ඉතිරී සිටින ශුද්ධ භූමියකි.
අපි දේවස්ථාන භූමියට ඇතුළු වීමු. සිමෙන්ති ගල් අල්ලා තැනු විශාල විවෘත මිදුල දකුණු පසට වන්නට දේව මෑණියන්ගේ පිළිරුවකි. සිමෙන්ති බැමි වලින් වටවුණු මල් පාත්ති වල නිරතුරුවම පිපී සුවඳ දෙන රෝස පිරී තිබේ. ඒ වගේම මෙහි ඇති විශාල තුරු සෙවණ යට තනා ඇති බංකු වල පිරිස වාඩිවී ගිමන් නිවා ගනිති. අතීතයේ මෙහි තිබී ඇත්තේ කුඩා පල්ලියකි. 1892 පදවියක් බවට පත්වූ පසුව එම පල්ලිය තරමක් විශාල ලෙස ඉදිකීරීම ආරම්භ කර ඇති අතර 1897 එම ඉදිකිරීම් අවසන් කර තිබේ.
එහෙත් භුමියේ තිබුණු අසමතුලිත බව නිසා මෙම පල්ලිය ඉරිතැලීම් වලට ලක්වී තිබේ. මේ නිසා පළමුවැනි ලෝක යුද්ධය අවසන් වුණු සැනින් මෙම නව පල්ලිය ගොඩනැගීම ආරම්භ කර තිබේ. 1934 ආරම්භ වුණු මේ ඉදිකිරීම් අවසන් වී මෙම පල්ලිය 1969 ජනවාරි 19 වැනිදා සිට බැතිමතුන්ට වන්දනා කටයුතු සඳහා විවෘත කර තිබේ.
1981 කුඩා දරුවන් හය දෙනාට දේව මෑණියන් දර්ශනය වීමේ පුවත ලොවපුරා ප්‍රචාරය වීමත් සමඟ දහස් ගණන් බැතිමතුන් මෙම ස්ථානයට පැමිණීමෙන් දේවමෙහෙය සඳහා දේවස්ථානයේ ඇතුළත ඉඩකඩ ප්‍රමාණවත් නොවූ නිසා දේවස්ථානයට පසුපසින් ඇති භූමියේ ආසන පනවා කවාකාර විවෘත අල්තාරය නිර්මාණය කර තිබේ. 1989 ගොඩනැගූ මෙම විවෘත අල්තාරය කවාකාර ලෙස තනා ඇති අතර එය ඉදිරිපස විවෘත භූමියේ 5000 කට වාඩිවී දේව මෙහෙයට සහභාගි විය හැකිවන්නට ආසන පනවා තිබේ.
එසේම මෙම විශාල පිට්ටනිය කෙළවර වන්නේ කවාකාර ලෙස සිටවූ ඕක් ගස් සමූහයකිනි. කහ, රතු, දුඹුරු යන විවිධ වර්ණයෙන් සැදුම් ලත් ඕක් තුරුමුදුන් මතින් ඈතින් දර්ශනය වන හරිත පැහැ කඳු පන්තිය දිස්වන්නේ සිතුවමක් මෙනි.
දේවස්ථානයේ නිරිත දෙසට වන්නට මෙම පිට්ටනියේ දකුණු පස කෙළවර ඇති ඔක් ගස් වලින් සෙවණ වුණු මාවතකින් ගිය විට තවත් විශේෂිත ස්ථානයකට පිවිසිය හැකිය. ඒ ජේසුතුමන් කුරුසියේ ඇණගසා මරණයට පත්කිරීමෙන් පසු උන් වහන්සේ මළවුන්ගෙන් නැගීටීම (උත්ථානය) සංකේතවත් කරමින් තනා ඇති දැවැන්ත ලෝහමය පිළිරුව ඇති ස්ථානයටයි. රිසන් සේවියර් ( Risen Saviour) උත්ථාන වූ ගැලවුම්කරු ලෙසින් නම් කර ඇති මෙම ලෝහමය පිළිරුව ස්ලෝවේනියානු ජාතික මූර්ති ශිල්පියකු වන ඇන්ඩ්‍රෙජ් ඇජ්ඩික් (Andrej Ajdic ) ගේ නිර්මාණයකි. මෙය 1998 පාස්කු මංගල්‍යය දින විවෘත කර තිබේ.
මෙම පල්ලිය ඇතුළතත් පිටත භූමියේත් නිරතුරුවම සංචාරක බැතුමතුන්ගෙන් පිරී ඇති අතර ප්‍රධාන දේවමෙහෙය පැවැත්වෙන්නේ පස්වරු 7.00 ටය. මේ නිසා අපි පල්ලියේ දකුණු පසට වන්නට ඇති ඉටිපහන් දල්වන ස්ථානයට ගොස් ඉටි පහන් දල්වා ආශීර්වාද ලබාගෙන මීටර් 500 ක පමණ දුරින් පිහිටි අප නැවතී සිටි හෝටලය වෙත ගියෙමු.
ප්‍රසාදි සැලසුම් කර තිබූ ආකාරයට ගිමන් නිවාගැනීමෙන් පසු රාත්‍රී 7.00 ට ආරම්භ වන දේව මෙහෙයට සහභාගි වන්නට අපි සවස 6.30 ට පමණ දේවස්ථානය වෙත යන්නට පිටත් වීමු. අපේ රටේ නම් සවස හය යනු හිරු අහසේ සැඟව යන වේලාවයි. අඳුර පරිසරය වෙලා ගනිද්දී අහස රතුපැහැයට හැරී සියොතුන් කැදලි කරා යනු දැකිය හැකියි. එහෙත් මෙජිගෝරියේ බටහිරට වන්නට හිරු දීප්තිමත්ව බබලමින් තිබේ. දේවස්ථානයේ ඇති දැවැන්ත ඔරලෝසු දෙකෙහි සටහන් වන වෙලාව දකින විට අපට සිත්වලට පුදුමය සටහන් වන්නේ සවස හය හත වෙද්දී අපේ රටේ නම් අඳුර වෙලා ගන්නා නිසාය.
අපි දේවස්ථාන බිමට පිවිස එහි වම් පසින් පිටු පස ඇති කවාකාර අල්තාරය පිහිටි විවෘත බිමට යන්නට පිටත්වුණෙමු. මෙහිදී අපූරු දර්ශනයක් නෙත ගැටුණි. ඒ විවිධ රටවලින් පැමිණි විවිධ ජාතීන්ට අයත් කතෝලික බැතිමතුන් පාපොච්චාරණය කිරීමේ යෙදී සිටීමයි. තැනින් තැන පූජා ප්‍රසාදි තුමන්ලා වාඩිවී සිටින අතර ඔවුන් අසල නියෝජනය කරන රට සඳහන් පුවරුවක් තබා තිබේ.
ඒ ඒ රටවල අය තමන්ගේ භාෂාවට අදාල පියතුමා වෙත යන්නට පෝලිමක් සෑදී වාරය එන තෙක් බලා සිටී. අප ඔවුනට බාධාවක් නොවන ලෙස ගමන් කර පූජාව පැවැත්වෙන අංගණය වෙත පිවිසුණෙමු. එතැන එකම හිස් ගොඩකි. ලොව නන් දෙසින් පැමිණ සිටින විවිධ ජාතින්ට අයත් දස දහසකට අධික ජනකායක් මෙම දේව මෙහෙයට සහභාගි වන්නට රැස්ව සිටිති. දැවැන්ත ඩිජිටල් තිර සවිකර ඇත්තේ ඈත කෙළවරේ සිටින අයට පවා පියතුමා හොඳින් දර්ශනය වීමටය.
පූජාව ආරම්භ විය. පූජක තුමන්ලා සිය ගණනක් අල්තාරය පාමුල සිටිති. ප්‍රධාන පූජකතුමා දේශනය ආරම්භ කළේය. උන් වහන්සේ කතා කරන භාෂාව අපට නොතේරුනත් අපගේ ජංගම දුරකතන වල ඇති රේඩියෝව ක්‍රියාත්මක කර එහි එෆ් එම් තරංග 75 සුසර කරගත්විට ඉංග්‍රීසි භාෂාවෙන් පූජාවට සවන්දිය හැකිය.
මේ නිසා බොහෝ බැතිමත්හු එලෙස තම තමන්ගේ භාෂාවලින් පූජාවට සවන්දෙනු දැකිය හැකිය. පැයක පමණ කාලයක් පූජාව පැවැත්වුණු අතර හිරු ක්‍රමයෙන් බැස ගොස් රාත්‍රිය උදාවන ලකුණු පෙන්වමින් කඳු පෙළට ඉහළින් අහස රත්පැහැ ගැන්වී ඉතා අලංකාර දර්ශනයක් මවයි. අපි පූජාව අවසන් වී හෝටලය වෙත පැමිණියේ අධික වෙහෙසත් කුසගින්නත් නිසා ඉක්මනින් ආහාර ගන්නටය.
මෙහි ජනතාවගේ ප්‍රධාන ජීවන මාර්ගය වන්නේ ගොවිතැන සහ වයින් නිෂ්පාදනයයි. එළවළු, පලතුරු සහ විශේෂයෙන් වයින් නිෂ්පාදනයට අවශ්‍ය මිදි ඔවුහු වගා කරති. අප මෙහි නැවතී සිටින දිනවල ගෝවා, තක්කාලි, පිපිඤ්ඤා අමුවෙන් කපා පිළියෙල කරන සලාදය කෑම මේසයේ අනිවාර්ය අංගයකි. එසේම සුදු සහ රතු වයින් ඕනෑ තරම්ය. ආහාර ගත් අප වෙහෙස නිසා ඉක්මනින් නින්දට ගියෙමු.
ලබන සතියේ කුරුස කන්ද මුදුනට නගිමු.