අපිත් වැස්සට පැනලා නටමු | Page 3 | සිළුමිණ

අපිත් වැස්සට පැනලා නටමු

ජංගම දුරකතන තිරය මත සටහන් වී තිබූ දුරකතන අංකය දුටු ෆියෝනා තුළ ඇති වූයේ තමා පිළිබඳවම කළකිරීමකි. රාඝව්... නිවසට පැමිණ මෙතරම් දිනයත් ගත වුව ද, ඔහුට දුරකතන ඇමතුමක් දීමට තමාට සිහි නොවූයේ මන්දැයි ඇය කල්පනා කළාය. තමා යුතුකම් නොදන්නා අයෙක් යයි රාඝව් සිතන්නට ඇත. තෙමසකට වඩා අධික

කාලයක් තිස්සේ තමා වෙනුවෙන් සිය කාලයත් ශ්‍රමයත් කැප කළ රාඝව්ට තමා අකාරුණික වූවා නොවේදැයි ෆියෝනාට සිතිණ. ඇය දුරකතන ඇමතුම හා සම්බන්ධ වූවාය.

“කොහොමද ෆියෝනා? ”

රාඝව්ගේ ගැඹුරු හඬ ඇසිණ. කල්කටාවේ ඉතාමත් ජනප්‍රිය එෆ්. එම්. ගුවන් විදුලි නාළිකාවක් වූ ෆ්‍රෙන්ඩ්ස් එෆ්. එම්. හි සන්නිවේදකයකු වූ ඔහුට හිමි වී තිබුණේ කලාතුරකින් ඇසිය හැකි තරමේ ගැඹුරු ප්‍රියමනාප කටහඬකි.

“දන්නවද ෆියෝනා? අපේ මල්ලිගෙ කටහඬට කල්කටාවෙ කෙල්ලො පිස්සු වැටිලා ඉන්නෙ.”

ස්මිතාගේ නිවසට ගිය දිනට පසු දිනයේ වුවමනාවටත් වඩා තම සොහොයුරාගේ යහගුණ වර්ණනා කළ ස්මිතා පැවසූ බව ෆියෝනාගේ මතකයට නැගිණ.

“ඔය බොරු ෆියෝනා.”

රතු කර ගත් මුහුණින් යුතුව රාඝව් පැවසූ අයුරුත් ස්මිතා එයට හඬ නගා සිනාසුණු අයුරුත් සිහිපත්ව ෆියෝනාගේ මුවග සිනාවක් නැගිණ.

“බොරු? කෙල්ලො එවපු ලියුම් පෙට්ටිය ගේන්නද ෆියෝනාට පෙන්නන්න? ”

“ප්‍රසිද්ධ පුද්ගලයින්ට ගොඩක් දෙනා ආදරේ කරන බව ෆියෝනා දන්නවා. ”

රාඝව් පැවසුවේ ලජ්ජාවෙන් විය යුතුය.

“ෆියෝනා.”

දුරකතනය තුළින් රාඝව්ගේ කටහඬ ඇසුනු ෆියෝනා කල්පනා ලොවින් මිදුණාය.

“මොකද සද්දයක් නැත්තෙ? මගේ බිල යනවා. කතා කරන්න. ”

“සොරි රාඝව්. ඔයා කතා කරද්දි මට මතක් වුණේ ස්මිතාව. ”

“බොරු කියන්න එපා. අක්කා කිය කියා හිටියෙ ලංකාවට ගියත් හරි කෙල්ලට අපිව අමතකම වුණා කියලා. ”

“මම කෙල්ලක් නෙමෙයි කියලා ස්මිතාට හැමතිස්සෙම අමතක වෙනවා. ”

“අක්කට විතරක් නෙමෙයි. මටත් අමතක වෙනවා. ”

ෆියෝනා නිහඬ වූවාය. විවාහක ගැහැනියක බව නොදැන රාඝව් සිය ආදරය ප්‍රකාශ කළ දිනය කරා තම සිත වේගයෙන් ඇදී ගිය ද ඇය වහා එම මතකයෙන් මිදෙන්නට උත්සාහ කළාය.

“රාඝව් අද ගෙදරද? ”

“දැන් ඉන්නෙ ගෙදර. උදේ ප්‍රෝග්‍රෑම් එකක් කරලා ආවා. එද්දි වැස්සකට අහුවුණා. එතකොට මට ආයෙම ඔයාව මතක් වුණා. මතකද එදා අපි ඇවිදලා එද්දි වැස්සට අහු වුණු හැටි? වැස්සට තෙමුණු හැටි? හල්වා කාපු හැටි? මෝහන් බොග් කන්න ගිහින් ඒ මොනවද කියලා ඔයා මගෙන් අහපු හැටි ”

“ඇයි නැත්තෙ රාඝව්? මට හොඳටම මතකයි. ”

“පොත ලියන්න පටන් ගත්තද? ”

“තව නෑ. තවම මගේ හිත එකලාසයක් වුණේ නෑ රාඝව්. ”

“හිතේ කිසිම දෙයක් තියා ගන්න එපා. පොත් ලියන කෙනකුට ඕන වෙන්නෙ පිරිසුදු කඩදාසියක් වගේ අවුල් නැති හිතක්. ”

“මගේ හිතේ අවුලක් නෑ. ”

“වචන වලින් කිව්වට ඔය කටහඬෙන් මට හිත කියවන්න පුළුවන්. හිතේ තියෙන හැමදේම මට ලියලා එවන්න. ”

“මං රාඝව්ට ලියුමක් එවන්නම්. ”

“අදම ලියුම ලියන්න. පස්සෙ පෝස්ට් කළාට කමක් නෑ. හෙට උදේම පොත ලියන්න පටන් ගන්න. පිළිගැන්වීම කරන්නෙ මට නම් ලියන්න තම කාලයත්, ශ්‍රමයත් කැප කරමින් තෙමසකට අධික කාලයක් මා බෙංගාලය පුරාම කැඳවාගෙන ගිය මා මිතුරු රාඝව්ටයි කියලා. ”

ෆියෝනාට හඬ නගා සිනා පහළ විය. රාඝව් ද සිනාසෙන හඬ දුරකතනය තුළින් ඇසිණ.

“පිදුමට උරුමක්කාරයා වෙන කවුරුවත් නෙමෙයි. ඔයාම තමයි. ඔයා මා වෙනුවෙන් කොච්චර මහන්සි වුණාද රාඝව්? ”

“මං ඒක කිව්වෙ විහිළුවට. ඇත්තට නෙමෙයි. විවාහක බිරිඳ ගැන කිසිම විදියෙ අහිතක් නොහිතා කරුණු හොයන්න බෙගාංලයට එව්ව ඔයාගෙ ස්වාමි පුරුෂයා මිසක් වෙන කිසිම කෙනෙක් ඔයාගෙ පොතේ පිදුමට සුදුසු නෑ. ”

“බලමු. ඉස්සර වෙලා පොත ලියලා ඉන්න එපායැ? ”

“ෆියෝනා. මම නවතිනවා. අන්න අක්කා කතා කරනවා. ඔය වෙන මුකුත් නෙමෙයි ඉරිසියාව. බායි. ”

රාඝව් කලබලයෙන් දුරකතනය විසන්ධි කළේය. ජංගම දුරකතනය පසෙක තැබුවද, ෆියෝනාගේ මුවග නැගි සිනාව ඒ වනතුරුත් වියැකී නොතිබිණ. රාඝව්... තම ජීවිත කාලය තුළ හමු වූ හොඳම මිතුරා ඔහු නොවේදැයි ඇය කල්පනා කළාය. ඔහු හා ගිය ගමන් බිමන් සියල්ලෙහිදීම ඔහු මිතුරකුටත් වඩා වැඩිමහලු සොහොයුරකු මෙන් තමා

රැක බලා ගත් ආකාරය ඇයට සිහි විය.

නිවසට ඇවැසි එළවළු හා පලතුරු ගෙන යන්නට රාඝව් සමග කල්කටා නගරයට ගිය සැඳෑවක් ෆියෝනාගේ මතකයට නැගිණ. එම දිනවල දිවා හා සවස් කාලයේ දරා ගත නොහැකි තරම් වූ දාහය නිසා තුනී කපු කුර්තාවකින් සැරසී ගිය ආකාරයත්, එක්වරම අහස අඳුරු වැහි වලාකුළු වලින් පිරී ගිය ආකාරයත් ඇය සිහි කළාය.

“තව ටිකකින් මහා වැස්සක් වහීවි. ”

අඳුරු අහස දෙස බලමින් රාඝව් පැවසුවේය.

“මං පිස්සෙක් වගේ ඔයාවත් ඇදගෙන ආවා. කා එක තියෙන තැනට කිලෝමීටර් බාගයක් විතරම යන්න තියෙනවා. ”

“ඒකට කමක් නෑ. අපි තෙමි තෙමි යමු. ”

“පිස්සුද? ”

තම අතෙහි වූ බඩු පුරවා ගත් කූඩය අනෙක් අතට මාරු කළ රාඝව් ෆියෝනා දෙස රවා බැලුවේය.

“ඔව්. මට පිස්සු. ”

තම මුවගට නැගෙන සිනාව සඟවා ගන්නට දෙතොල් පට තද කරගෙන සිටියද, රාඝව්ගේ දෙනෙතින් සිනාව දෝර ගලා යන ආකාරය ෆියෝනා දුටුවාය.

“දෙන්න ඔය බෑග් එකත් මගෙ අතට. අපි ඉක්මන් කරලා යමු. ”

රාඝව් ෆියෝනා අත වූ බෑගය ද උදුරා ගන්නට තැත් කළ ද, ඇය එයට ඉඩ නොදුන්නාය. ඒ හා සමගම අඳුරු අහසින් වැහි බිඳු වැටෙන්නට වූයේ කිසිසේත්ම අනපේක්ෂිත ආකාරයෙනි. ස්වල්ප වේලාවක් තුළ ෆියෝනා හැඳ සිටි කපු කුර්තාව වැසි දියෙන් තෙමී ගියෙන් රාඝව් ඇය ද ඇදගෙන අවන් හලකට ගිය ද, වැස්සෙන් බේරීම සඳහා එහි

ඉදිරිපස රැස් වී සිටි පිරිස අතරින් එතුළට රිංගා යාම අසීරු විය. අවන් හලෙහි මේස සියල්ලම පිරී පැවතිණ. කඩය ඉදිරිපිටත්, ඇතුළතත් සිටි සියලු දෙනාගේ මුහුණු වල පිරී ඇත්තේ සතුටක් නොවේදැයි වටපිට බලන ෆියෝනා දුටුවාය.

“ඇයි ඒ? ”

රැස්ව සිටි පිරිස පවසන කිසිවක් නොවැටහුන ෆියෝනා රාඝව්ගෙන් ඇසුවාය.

“වර්ෂා මංගල්. මේ මොහොතෙයි වැහි කාලය පටන් ගත්තෙ. හැම කෙනෙක්ම වැහි කාලය පටන් ගන්න එක ගැන සතුටු වෙනවා. ”

ෆියෝනා උනන්දුවෙන් වටපිට බැලුවාය. බෙංගාල හෝ වෙනත් නොවැටහෙන බසකින් කතා බහ කරමින් සිටින මිනිසුන්ගේ මුහුණු වල පිරී ඇත්තේ මහත් සතුටකි.

“දන්නවද ෆියෝනා. දැන් පාරට බැහැලා බැලුවොත් පෙනේවි මිනිස්සු වැස්සෙ තෙමි තෙමී නටන හැටි. කාලයක් පෑවිල්ල නිසා පීඩා වින්ද මිනිස්සුන්ට මෝසම් වැහි ආරම්භය හරියට මංගල්ලයක් වාගෙ. ”

“අපිත් වැස්සට පැනලා නටමු.”

වැසි වැටෙමින් පැවතිය ද, තවමත් පවතින දාහය දරා ගත නොහැකි ෆියෝනා ඇසුවාය.

එයට පිළිතුරු වශයෙන් කිසිවක් පවසන්නට මුව විවර කළ ද, විශාල බන්දේසියක් රැගෙන ඔවුන් අසළට පැමිණි කඩ හිමියා දුටු රාඝව් ආයාසයෙන් වදන් ගිල ගත්තේය.

 

ලබන සතියට

Comments