පැරැණි ගොවි­තැ­නට පෙල­ඹෙන අලුත් ප්‍රව­ණ­තාව | Page 3 | සිළුමිණ

පැරැණි ගොවි­තැ­නට පෙල­ඹෙන අලුත් ප්‍රව­ණ­තාව

පරි­සර හිත­කාමී ගොවි­තැ­නට  අතී­තයේ මිනිසා යොමු වී සිටි­යත් නාග­රි­ක­ක­ර­ණ­යත් සමඟ ඊට සමු දීමට සිදු වූයේ නොසිතූ ලෙසය. කෘෂි­ක­ර්මා­න්ත­යට තාක්ෂ­ණය පිවි­සී­මත් සමඟ මිනිසා පරි­ස­ර­යෙන් බැහැර විය. එහෙත් තාක්ෂ­ණය මිනි­සාට අව­ශ්‍යය. නැති නම් වේග­යෙන් වර්ධ­නය වන ජන­ග­හ­න­යට ආහාර සැප­යී­මට නොහැ­කිය.  එමෙන්ම තර­ග­කාරී  වෙළෙ­ඳ­පොළේ තර­ග­ක­රු­වකු වීම­ටද නොහැකි වේ.
 

බෝ නොවන රෝගවලින් පසුගිය වසරේ මිය ගිය ගණන 137,000 ඉක්මවන බව වාර්තා වෙයි. මෙකී භයානකත්වයට ක්ෂණික කෑම රටාව හා වසවිස යෙදවූ ආහාර ගැනීම විශාල වශයෙන් හේතුවන වන බව කියැවේ.

‘හරිත විප්ලවය‘ විසින් වැඩි අස්වනු සඳහා ගොවියා පෙලඹවූ ආකාරයටත් වඩා වේගයෙන් ඒ ක්‍රමය වෙනස් කරන්නට දැන් කාලය පැමිණ ඇති බවද මේ සෞඛ්‍ය දත්ත මගින් කියැවෙන්නේ? වස-විස නැති ගොවිතැන ගැන කතා කරන ප්‍රවණතාව ගොවියාගේ වෙනස් වීම ගැන කියැවෙන්නකි.

පරිසර හිතකාමී ගොවිතැනට අතීතයේ මිනිසා යොමු වී සිටියත් නාගරිකකරණයත් සමඟ ඊට සමු දීමට සිදු වූයේ නොසිතූ ලෙසය. කෘෂිකර්මාන්තයට තාක්ෂණය පිවිසීමත් සමඟ මිනිසා පරිසරයෙන් බැහැර විය. එහෙත් තාක්ෂණය මිනිසාට අවශ්‍යය. නැති නම් වේගයෙන් වර්ධනය වන ජනගහනයට ආහාර සැපයීමට නොහැකිය. එමෙන්ම තරගකාරී වෙළෙඳපොළේ තරගකරුවකු වීමටද නොහැකි වේ.

තාක්ෂණය පැමිණීමත් සමඟ ගොවිතැනට එක් වූ මාරයා වස-විසය. වස-විස සමඟ මිනිසා නොයෙක් ලෙඩ-රෝගවලටගොදුරු වූ අතර, ඉන් අත්මිදීමට නොහැකිව බොහෝ අසරණ තත්ත්වයකට පත් විය.

මින් සමහර රෝග සුව කළ හැකි අතර, ඇතැම් ඒවා නිසා මරණය පවා සිදු විය. බොහෝ ලෙඩ-රෝගවලට මුල් වූයේ වස-විස මිස වෙන කිසිවක් නොවේ. එහෙයින් මොනවාද මේ වස විස කියන්නේයැයි විමසීම වටී. සැබවින්ම අපට වස-විස නැතිව වගා කිරීමට නොහැකිද?

මෙහිදී අතීත මිනිසා වගා කළේ කෙබඳු ආකාරයටද යන්න විමසා බැලිය යුතුය. අතීතයේ තිබූ සංවෘත ආර්ථික රටාව නිසා මිනිසාට තමන්ගේ ආහාර තමන්ටම නිෂ්පාදනය කර ගැනීමට සිදු විය. එහෙත් ජනගහනය වර්ධනය වීමත් සමඟ මිනිසා සංකීර්ණ සමාජයට එළඹියේය. මීට මුහුණ දීම එතරම් පහසු නොවීය. මේ නිසා මිනිසා තමාට හැකි ලෙස තමන්ට කළ හැකි නිෂ්පාදනය කිරීමට යොමු විය. මේ අනුව තමාගේ අතිරික්තය අන් අයට අලෙවි කර මුදල් කිරීමට හුරු වූයේය.

කෙසේ වුවත්, වෙළෙඳපොළ අරභයා වගා කිරීමේ ප්‍රතිපත්තිය පැමිණියේ මීට පසුවය. වෙළෙඳපොළ උදෙසා වගා කිරීමේදී නිෂ්පාදන භාණ්ඩයේ පෙනුම ඉතා වැදගත් විය. මේ නිසා වෙළෙඳපොළට ගෙන යන භාණ්ඩයේ ආකර්ෂණය පිළිබඳ ගොවියා සැලකිලිමත් වූයේය. මේ අනුව පණුවන්ගෙන් තොර, රෝගවලින් තොර භාණ්ඩ අලෙවි කිරීමට ගොවියා වග බලා ගත්තේය.

එසේම අලුත් එළවුළු ලෙස අලංකාරව වෙළෙඳසල්වල තිබෙන දේ මිල දී ගැනීමට පාරිභෝගිකයා වැඩි නැඹුරුවක් දැක්වීය. මේ නිසා කෙසේ හෝ අලුත් එළවුළු නිෂ්පාදනය කළ යුතුය යන සංකල්පය බිහි විය. අලුත් එළවුළු යනු රෝග පළිබෝධ ආදියෙන් තොර වූ ඒවා බව නිර්මිතයක් පැමිණියේය. මේ අනුව එළවළුවල මෙන්ම කෘෂි නිෂ්පාදවල පෙනුම රැක දීමට වස-විස වෙළෙඳපොළට පැමිණියේය.

කෙසේ වුවත්, විශාල නිෂ්පාදන ප්‍රමාණයක් වෙළෙඳපොළ උදෙසා ඉදිරිපත් කිරීමේදී ගොවියා කාර්යබහුල විය. මෙහිදී පෙර පැවැති කෙම් ක්‍රම සහ ගොවියා තම පරම්පරාවෙන් උරුම කරගත් කෘෂි හානි වළක්වන ක්‍රමද බැහැර කිරීමට ඔහුට සිදු විය. සරල ක්‍රම අනුගමනය කරමින් සංකීර්ණ ආර්ථික පද්ධතියක් මෙහෙවීමට නොහැකි බව ගොවියා තේරුම් ගත්තේ අත්දැකීමෙනි.

මේ අතර කෙසේ හෝ කලට වේලාවට භාණ්ඩය වෙළෙඳපොළට යැවීම සහ විශාල ගැනුම්කරුවන් කණ්ඩායමක් දිනාගැනීමට ගොවියාට අවශ්‍ය විය.

ගොවියා ව්‍යාපාරිකයකු බවට පත් වූයේ මේ ආකාරයටය. විවෘත ආර්ථික රටාවත් සමඟ මේ තත්ත්වය තවත් වර්ධනය විය. ක්‍රමයෙන් ඉක්මනින් අස්වැන්න ගැනීමට හෙතෙම හුරු විය. මේ අනුව අඩු කලකින් පූදින වී වර්ග සොයාගැනීමට ඔහු පුරුදු වූ අතර, බටහිර අනුමැතියෙන් ආලේපනය වීමට හෙතෙම අමතක නොකළේය. මේ අනුව වගාබිම සිටම අස්වැන්න දක්වාම වස-විස යොදනු ලැබීය.

ඔහුට මෙහි අනර්ථකාරී බව මතකයට නැඟුණේ ලෙඩ වීමත් සමඟය. එතෙක්ම කඩිනම් නිෂ්පාදනය පිළිබඳව විමසුවා මිස, අන් කිසිවක් පිළිබඳ අවධානය යොමු නොකළ බව නම් සත්‍යයකි.

නැවුම් පලතුරු කියා ඔවුන් රැවටුණේ අලංකාරත්වය උදෙසාය. මේ නිසාම නව මොඩලයේ ලෙඩ-රෝග සෞඛ්‍ය වෙළෙඳපොළට පිවිසියේය. ඒ සඳහා විශේෂයෙන් වෙන් වූ විශේඥයෝද හිඟ නොවීය. එක් ජාලයක බලපෑමක් අනිත් ජාලයද ග්‍රහණය කරගත්තේ මෙලෙසය. මේ නිසා නව බෙහෙත් වර්ග නිෂ්පාදනයද ඇරැඹියේය.බොහෝ රටවල් අතර සෞඛ්‍ය නිෂ්පාදන සම්බන්ධවද හුවමාරු සම්මුති ඇති විය.

මෙසේ වගාබිමෙන් ඇරඹි විප්ලවය ක්‍රමයෙන් සෙසු ක්ෂේත්‍ර ආක්‍රමණය කරමින් ඇති කළේ සාහසික බවකි. මේ නිසා අපේ පස අපේ වගා බිම පමණක් නොව, අපේ ජීවිතයද අපට අහිමි වූයේය. කුරුලු තුඩ, මඩතවාළු, කළු හීනැටි වැනි අපට හිමි වී තිබුණු වී වර්ග අහිමි වීමද අපේම නොසැලකිල්ල සහ තරග නිසා සිදු විය.

එහෙත් තාක්ෂණයේ ආදීනවත්, වස-විසෙන් තොර ගොවිතැනක් අවශ්‍ය බවත් ගොවියාට දැන් දැන් ඒත්තු යමින් ඇත. එබැවින් ඔවුහු පැරණි ක්‍රමවලට යෑමට නව නැඹුරුවක් දක්වති.

මෙය ඉක්මනින් කළ නොහැකි වුවත්, පොහොර සහ වස-විස වෙළෙන්දන්ගේ මාපියාව විසින් මේ තත්ත්වය හරස් කරමින් සිටින බව නම් නොරහසකි. එහෙත් වර්තමානයේ වුවත්, යථාර්ථය තේරුම් ගැනීමේ කිසිදු වරදක් නැත.

මේ සඳහා සූක්ෂ්ම විය යුතුය. එහෙත් මේ වෙනුවෙන් සුළුතරයක් නඟන හඬම හෙට දවසේදී විප්ලවයක් වනු ඇත. අපේ ජෛව විවිධත්වය යළි යථා තත්ත්වයට පත් කිරීමට නම් මුලින්ම අප තුළ උනන්දුවක් ඇති විය යුතුය. මේ සඳහා නොපමා වීමද අපේ වගකීමකි.

 

 

රූපාන්ති බුලත්සිංහල

Comments