වියත් සිළුමිණ: ඒ. වී. සුරවීර | සිළුමිණ

වියත් සිළුමිණ: ඒ. වී. සුරවීර

‘පෑදි දියට බොරදිය’ කෙටිකතා පොතේ ‘පොඩිසිඤ්ඤයියා’ නම් කෙටිකතාව පිළිබඳවය එදවස මා අපොස උසස් පෙළ සිංහල විෂයයට විවරණයක් කළේ. ඒ කෙටිකතා පොත රචනා කළේ මහාචාර්ය ඒ.වී. සුරවීරය. අපට සිංහල ඉගැන්වූ ආනන්ද විද්‍යාලයේ සිටි ජී.එච්.ඊ. සමරවික්‍රම ගුරුතුමා මේ කෙටිකතාව ඇතුළු සිංහල විෂයය රසවත් ලෙසත් අරුත් පැහැදිලි ලෙසත් ඉගැන්වීය. ඒ.වී. සුරවීරයන්ද ආනන්ද මහා විද්‍යාලයේ කලක් ගුරුවරයකු ලෙස සේවය කර තිබේ. ඒත් එතුමාගෙන් ඉගැනීමේ වාසනාව මා හට හිමි වූයේ විද්‍යෝදයට (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) පැමිණි ප්‍රථම වර්ෂයේදීය. පසුකලෙක එතුමා විසින් ආරම්භ කළ ලේඛකත්ව හා සන්නිවේදන පශ්චාත් උපාධි පාඨමාලාවේදීද එතුමා වෙතින් දැනුම ලැබුවෙමි. එබඳු ගුරුන්ගෙන් අකුරු ඉගැනීමට ලැබීම භාග්‍යයකි.

ඒ.වී. සුරවීරයන් මුලින්ම රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනාගත්තේ ‘අනුරාධපුර සංස්කෘතිය’ පොතටය. ඒ වේදිකාවේම අපේ පියා -විමල් අභයසුන්දර මහතා- ද ‘නිෂාදි’ පොතට සම්මාන දිනාගත්තේය. ඒ පොත පුද කොට ඇත්තේ කුලුඳුල් පුතා වූ මා නමටය. අපගේ පියාණන් තුළද මහාචාර්ය ඒ.වී.සුරවීරයන් ගැන පැවතියේ අප්‍රමාණ ගෞරවයකි. එහෙත් ඔවුන් තෝරාගෙන ගමන් කළ සාහිත්‍ය මාර්ගයේ වෙනස්කම් ද විය. එය ස්වාභාවිකය. එම විචාර මතවාදී ගුණෙන් පොහොසත්ය.

මහාචාර්ය ඒ.වී. සුරවීරයන්ගේ ශාස්ත්‍රීය ලේඛන මෙන්ම නිර්මාණ රාශියක්ද අධ්‍යයනය කොට රසවිඳ ඇති මා මෙහිදී මේ කෙටි ලිපියෙන් වඩාත් නැඹුරු වන්නේ සාහිත්‍ය සමාජ විද්‍යාව පිළිබඳව දැරූ අදහස් කීපයක් ඉදිරිපත් කරන්නටය. පෙරදිග මෙන්ම අපරදිග සෞන්දර්යවේදය පිළිබඳ ප්‍රාමාණික රචනා මැනවින් හදාළ සුරවීර මහාචාර්යතුමා භාවාතිශය සාහිත්‍යය, බොළඳ නිසරු හා අධම අවරගණයේ කලාව කෙරෙහි කිසි සේත් නැඹුරු නොවීය. තත් පරපුර බොහෝ වියතුන් ඇසුරෙහි පැවැතුණේ උත්තම උදාර පරමාර්ථයි. පාඨකයා ඕලාරිකව, භාව ප්‍රකෝපයෙන් මුසපත් කොට රාගයෙන්, ප්‍රචණ්ඩත්වයෙන් ව්‍යාකුල කොට මුදල් හරිහම්බ කරන අශ්ලීල සෞන්දර්යවේදය, ජුගුප්සාජනක සාහිත්‍යය ඔහු පිළිකෙව් කළේය. එබඳු බාල-බොලඳ සාහිත්‍යයෙන් මිදී, පාඨකයා මෙන්ම නිර්මාණකරුවාද සබුද්ධික ප්‍රඥාසම්පන්න මනුෂ්‍යයන් බවට පත් කිරීම, ගුණ-නැණ පිරුණු සාධාරණ යුක්තිසහගත නීතිගරුක විනය පිළිපදින ශිෂ්ටාචාරවත් පුරවැසියන් බිහි කිරීම ඔහුගේ පරමාර්ථ අතර දැකගත හැකි වූ ප්‍රධාන අභිප්‍රායකි.

‘සමාජීය සාහිත්‍ය අධ්‍යයනය’ කෘතිය 1982 පළ වූ, ඒ.වී. සුරවීර මහතා ලියූ අගනා රචනයකි. එහි පෙරවදනේ සඳහන් මේ කරුණු වැදගත් වෙතැයි සිතමි:

“සාහිත්‍යය හදාරන බොහෝ දෙනා පුරුදු වී සිටින්නේ හුදෙක් කෘතියම කේන්ද්‍ර කරගනිමින්, එය නිර්මාණය කළ ලේඛකයාගෙනුත් එය පහළ කළ සමාජයෙනුත් ඉවත් කොට සාහිත්‍ය කෘතියක් අගය කිරීමට බව පෙනේ. සාහිත්‍ය අධ්‍යයනයෙහි ඌනතා දුටු ඇතැම් නූතන සාහිත්‍යධරයෝ සාහිත්‍ය ඊට වඩා පුළුල් ක්‍ෂේත්‍රයක පිහිටා අධ්‍යයනය කළමනා විෂයක් සේ සලකති. ජර්මනිය, ප්‍රංසය, එංගලන්තය, සෝවියට් දේශය ආදි රටවල ඇතැම් සාහිත්‍යධරයෝ මෙහිලා පෙරමුණ ගත්තෝය.”

ශ්‍රී ලංකාවේ පළමුවැනි විශ්වවිද්‍යාලයේ මානව විද්‍යාව විෂයය නොව, සමාජ විද්‍යාව උගන්වන්නට පටන්ගත්තේ ඇමෙරිකානු සමාජ විද්‍යාඥයකු වූ බ්‍රයිස් රයන් ගෙන්වා ගැනීමෙනි. සර් අයිවර් ජෙනිංස් මහතාගේ මේ ක්‍රියාකලාපයට විරුද්ධව මාර්ටින් වික්‍රමසිංහ ඇතුළු කිහිප දෙනෙක් විවේචන ඉදිරිපත් කළහ. ගම, ගැමියා, බුදුදහම, කුලක්‍රමය, පන්ති ක්‍රමය, සංස්කෘතිය, ඥාති ක්‍රමය වැනි ප්‍රස්තුත එහිදී අවධානයට ලක් වූ ක්‍ෂේත්‍ර විය. පුද්ගලයා, සමූහය, ප්‍රජාව, සමාජය, සංස්කෘතිය හා සාහිත්‍යය අතර පවත්නා අවියෝජනීය සම්බන්ධතාව අවධානයට ලක් කළ ලිපි රචනා ගණනාවක් ඇති අතර ඒ.වී. සුරවීර මහාචාර්යතුමන් මෙහිදී අවධානය යොමු කොට ඇති විචාරාත්මක ලේඛන කිහිපයකි. ඒවා රචනා මඟින් කාල් මාක්ස් සහ ෆෙඩ්රික් එන්ගල්ස්, ප්ලේකනොව් සහ ලුනචරස්කි, ජෝජ් ලුකාස් හෝල්ඩ්මාන් වැන්නෝ විමසුමට ලක් වෙති. ඉන් අත් කරගත හැකි ඥානය, ආලෝචනා ශ්‍රී ලාංකික සමාජ සාහිත්‍යයට ගළපයි. බර්න්ස් සහ බර්න්ස් ඉදිරිපත් කළ මේ අදහස සාහිත්‍ය සමාජ විද්‍යා විෂය ක්‍ෂේත්‍රයේද අවධාරණයට ලක් කෙරේ.

“සාහිත්‍යය වනාහි: අපේ ජීවිතය අර්ථවත් කිරීමට දරනු ලබන ප්‍රයත්නයකි. සමාජ විද්‍යාව වනාහි: අපේ ජීවිත ගෙන-යන පිළිවෙළහි අර්ථ සෙවීමට දරනු ලබන ප්‍රයත්නයකි.”

සමාජයක් හෝ ජනකායක් හෝ සකස් කොට හික්මවමින් උසස් තැනක් කරා යවනු පිණිස ආගමටත් වැඩි බලයක් පාන්නේ ඒ ජනයාගේ සාහිත්‍යය බව මානව විද්‍යාව හා සිංහල සංස්කෘතිය පොතේ මාර්ටින් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත. “සාහිත්‍යමය සාධක ඉවත ලා සමාජ අධ්‍යයනයක යෙදෙන්නා සමාජයක පරිපූර්ණත්වය කෙරෙහි අන්ධයෙක් වෙයි” යනු රිචඩ් හෝගාට්ගේ අදහසයි.

සාහිත්‍යයත් සමාජ විද්‍යාව මෙන්ම මිනිසා සමාජයට හැඩගැසුණු ආකාරය, ඔහු ඒ සමාජය වෙනස් කිරීමෙහිලා දරන තැත, වඩා හොඳ සමාජයක් ඇති කිරීම සඳහා ඔහු කෙරෙහි ඇති අපේක්ෂා යනාදිය පිළිබඳ යථාර්ථ ගවේෂණයන් සේ හැඳින්විය හැකි බව සුරවීරයන්ගේ අදහසයි. එහෙත් මෙහි පවතින නොගැලපෙන තැන්ද ඇති බව ඔහු කියයි. ඒ මෙසේය:

“මෙවැනි සමානකම් ඇතත් මේ විෂය දෙක අතර නොගැළපෙන තැන්ද පවත්නා බව අමතක නොකළමනාය. සාහිත්‍යය කලාවකි. සමාජ විද්‍යාව විද්‍යාත්මක ශික්ෂණයකි. එහෙයින් සමාජීය සාහිත්‍ය අධ්‍යයනයෙහි යෙදෙන්නා හට කලා මාධ්‍යයේ සූක්ෂමතා හා කාර්යයද පිළිබඳ අවබෝධයක් තුබුව මනාය. සමාජීය සාහිත්‍ය අධ්‍යයනය සඳහා වැඩි පිටු බලයක් ලැබෙනුයේ අව්‍යාජ එහෙයින්ම උසස් සාහිත්‍ය නිර්මාණයන්ගෙන් මිස සමාජ තතු දීර්ඝ වශයෙන් ඇතුළත් කෘතීන්ගෙන්ම නොවේ.”

සිංහල සාහිත්‍ය කෘති හා ඒ දෙස විචාරක්‍ෂියෙන් බැලූ ලේඛකයන්ගේ අදහස්ද උපුටා දක්වමින් සිය මතය අදීනව කියන්නට සුරවීරයෝ සමත් වෙති. එතුමා විසින් කරන ලද සියලු පරිවර්තන, නිර්මාණ, ශාස්ත්‍රීය විචාර සමාජීය පදනමක් මත හිඳ කරන ලද ඒවාය.

ඔහු විසින් ‘ලේඛන සමීක්‍ෂා: නව ආලෝකධාරා’ නමින් අතිශය අගනා කෘතියක් පළ කරන ලදී. යුරෝපීය ආධිපත්‍යයෙන් නිදහස ලබා කාලයක් ඉකුත් වුවත් මේ වන තුරුත් මෙරට බහුතර මිනිසා යටත්විජිත ආකල්පයන්ගෙන් මුළු මනින්ම නිදහස් වී සිටින බවක් නම් නොපෙනේ. ඒ යටත්විජිත චින්තනය තහවුරු වීමට එකල මෙහි පැවැති අධ්‍යාපන ක්‍රමය මෙන්ම නවසිය හතළිස් ගණන්වල පිහිටුවනු ලැබූ අපේ විශ්වවිද්‍යාලයද බෙහෙවින් හේතු වූ බව පෙනේ. මේ පසුබිමෙහි පිහිටා අපේ යටගියාව ගැන නව ආකල්ප වගා කිරීමට දැන් කාලය එළඹ ඇති බවට ඉඟි පෑම උක්ත කෘතියේ අභිප්‍රාය වී ඇත. ගැඹුරු සමාජීය, සංස්කෘතික හා පුද්ගල ජීවන අවබෝධයක් සඳහා එළඹීමට ආලෝකය සැපයීමට මේ සුරවීරයන්ගේ ලේඛන අපට මඟ පෙන්වයි.

Comments