
සාහිත්‍යය හා තදනුබද්ධ විචාරධාරාවෙහි වඩාත් සහේතුක හා අන්තර්-විෂයයික විචාරයක් දැකගත හැකි වන්නේ ඉතා සුළුතර තුන් පිරිසකගේ විචාර අතුරිනි. එකී සුළුතර විදග්ධ පෞරුෂ අතුරින් පෘථුල චින්තන වපසරියක් ඇති වැදගත් විචාරකයකු ලෙස මහාචාර්ය ඒ.වී. සුරවීර හැඳින්විය හැකි ය.
එතුමා අතින් සංග්‍රහ වූ සාහිත්‍ය විචාර කෘති රාශිය අතුරින් පොදුවේ මෑත දශක දෙක තුළ අතිශය ප්‍රචාරයට ගිය විචාර ප්‍රවණතා පිළිබඳ අත්පොතක් වූයේ 1991දී පළමුවරට මුද්‍රණය වූ ‘සාහිත්‍ය විචාර ප්‍රදීපිකාව’ ය.
සාහිත්‍ය විචාර ප්‍රදීපිකාවට අන්තර්ග්‍රහණය වූ විචාර ප්‍රවණතාමය පරාසය ඉතා පුළුල් ය. එයට කාව්‍යවිචාරය, නාට්‍යවිචාරය, සමකාලීන විවාදාත්මක මතවාද හා කතිකා, ප්‍රබන්ධ පිළිබඳ පෙර-අපර දෙදිග මතවාද, සාහිත්‍ය මූලධර්ම පිළිබඳ නව විචාරය, මාක්ස්වාදි සාහිත්‍ය මූලධර්ම, සංස්කෘතිය පිළිබඳ විචාරය හා අර්ථකථන, බටහිර විශ්ලේෂි දර්ශනය, සාංදෘෂ්ටිකවාදය ආදි විශාල විෂය පසුතලයක් ආවරණය වෙයි.
මේ නිසා ම සාහිත්‍ය විචාර ප්‍රදීපිකාව මේ මෑත යුගයේ අප කාගේත් විචාර අත්පොත බවට පත්ව තිබිණි.
මහාචාර්ය ඒ.වී. සුරවීර ප්‍රකට ප්‍රබන්ධ රචකයකු වශයෙන් අදාළ ක්ෂේත්‍රය තුළ කළ නියෝජනයට වැඩි මැදිහත් වීමක් ප්‍රබන්ධ විචාරය සම්බන්ධයෙන් සිදු කළ බව අවධාරණය කිරීම අයුක්තිසහගත නො වේ. ඔහුගේ ප්‍රබන්ධ විචාරය රාෂ්ට්‍රීය වශයෙන් විකාශනය වූ සම්ප්‍රදායෙහි සහ යථායෝග්‍ය ලෙස බටහිරින් හා වෙනත් සම්ප්‍රදායන්ගෙන් උකහාගත් සාරාර්ථවල ව්‍යක්ත දෙමුහුමක් බව කිව යුතු ය.
ඔහුගේ සම්ප්‍රදාය හා විචාරය යන කෘතියෙහි අන්තර්ගතය ද ඒ ක්ෂේත්‍රයට ඔහු කළ එවන් දායකත්වයකි.
මේ කෘතිය රචනා වූයේ 1999දී ය. එහි විෂයයික අන්තර්ගතය ඒ යුගයට වඩා වර්තමානයට බෙහෙවින් වැඩදායක බව ප්‍රබන්ධ විචාරය උගන්වන හා විචාරයේ යෙදෙන සරසවි ඇදුරකු වශයෙන් මගේ හෘදයංගම හැඟීම වේ. මේ කෘතිය හෙන්රි ජේම්ස්ගේ ‘The Art of Fiction’, ටී.එස්. එලියට්ගේ ‘Tradition and the Individual Talent’ සහ ජොර්ජ් ලූකාස්ගේ ‘Critical Realism and Social Realism’ මෙන් ම රේමන්ඩ් විලියම්ස්ගේ ‘The Creative Mind’ යන ශාස්ත්‍රීය ලිපිවලින් යුතු ය.
වත්මනෙහි විශ්වවිද්‍යාල සාහිත්‍ය පාඨමාලා අතුරෙහි ප්‍රමුඛ තැනක් ‘නිර්මාණ රචනය හා අධ්‍යයනය’ යන්නට යෙදේ. එහිදී නිර්මාණාත්මක ලේඛනය හා පරිණාමික සංරචක ආදර්ශනය අවශ්‍ය ය.
මේ කාරණයේදී සාහිත්‍ය සම්ප්‍රදාය සියුම්ව අධ්‍යයනය හා එහි සාරාර්ථ ප්‍රතිනිර්මාණාත්මකව වත්මනට කැඳවීම වැදගත් වේ. මේ කරුණේදී මහාචාර්ය ඒ.වී. සුරවීරගේ ‘සම්ප්‍රදාය නිර්මාණය හා විචාරය’ කෘතියට සංග්‍රහ වූ ලිපි කීපය සිසුන්ට ද ආචාර්යවරුන්ට ද එක සේ වැදගත් ය.
සම්ප්‍රදාය හා ඉතිහාසය සාහිත්‍යය කෙරේ බලපාන ආකාරය පිළිබඳ මහාචාර්ය විමල් දිසානායක ලියූ ලිපි 10ක් රංග චන්ද්‍රරත්න මහතා සංස්කරණය කළ ‘Cross Currents’ (2012) නම් ඉංග්‍රීසි ලිපි සංග්‍රහයට අඩංගු වේ. ‘Literature and Varieties of History’ නම් වූ ඒ ලිපි මහාචාර්ය ඒ.වී. සුරවීරගේ ‘සම්ප්‍රදාය නිර්මාණය හා විචාරය’ කෘතිය විසින් එළිපෙහෙළි කෙරුණු මාර්ගයට ම දැල්වූ පහන් වැටක් වැනි වේ.
වර්තමානයේ ක්‍රමයෙන් හිස ඔසවන විචාර ක්‍රමය ආචාරධර්ම සිද්ධාන්ත හා මනුෂ්‍ය අධ්‍යත්මය විසින් අනුදක්නා ලද තත්ත්ව උල්ලංඝනය කරනු පෙනේ.
වත්මනෙහි පුවත්පත් ග්‍රන්ථ හා විවිධ සඟරා ආදියෙහි දැකිය හැකි විචාර බොහෝ විට අදාළ ප්‍රස්තුතයයෙහි ගුණ-දොස් විෂයයානුබද්ධව විවේචනය කරනු වෙනුවට පුද්ගලබද්ධ අපහාස, නින්දා සහ කුල-ගොත් ගටා කරන ආක්‍රෝශ-පරිභවවල ස්වරූප උසුලයි. මේ පිළිබඳ නිදසුන් දැක්වීම ම පොදු ආචාරධර්මය උල්ලංඝනය කරන්නකි.