නව දැනුමෙන් සන්නද්ධ වූ ප්‍රාඥයා | Page 2 | සිළුමිණ

නව දැනුමෙන් සන්නද්ධ වූ ප්‍රාඥයා

සමාජ පිළිගැනීමක් ලබන විද්වතුන් රටකට පහළ වන්නේ ඉතා කලාතුරකිනි. එවැනි විද්වතෙක් 1930 ඔක්ෙතා්බර් මස 12 වෙනි දින ගම්පහ දිස්ත්‍රික්කයේ උඩුගම්පොළ - කොරස ග්‍රාමයේ උපත ලැබුවේ ය. ඔහු නමින් අලංකාරගේ වික්ටර් සුරවීර හෙවත් ඒ.වී. සුරවීර ය. මේ දරුවාට අකුරු කියවන ලද්දේ හිස්සැල්ලේ ඥානෝදය නාහිමියන් විසිනි. වයස අවුරුදු තුනේදී ඔහු රණසිංහ බෞද්ධ පාසලට ඇතුළු වෙයි. ඒ විද්‍යාලයේ දෙවෙනි පන්තිය දක්වා ඉගෙන ගත් සුරවීර අනතුරුව විගොඩ රජයේ පාසලට පිවිසෙයි. පසුව 1939 දී මේ ශිෂ්‍යයා ගම්පහ රජයේ ඉංග්‍රීසි පාසලට ඇතුළු වන්නේ ය. එහෙත් ගම්පහ ඉංග්‍රීසි විද්‍යාලයේ “ප්‍රථම වර්ෂය බී” පහළ පන්තියට ඔහු බාර ගැනිණ. පස්වෙනි ප්‍රමාණයෙන් පසුව සුරවීරට ද්විත්ව උසස්වීමක් ප්‍රදානය කෙරිණ. බොහෝ පන්තිවල සිටිය දී ඔහුට පන්ති නායක තනතුර ලැබිණ. පාසල් සමයේ දී මේ ශිෂ්‍යයා කනිෂ්ඨ කැඩෙට් කණ්ඩායමට බැඳෙයි. හේ කනිෂ්ඨ පාඨශාලා සහතික පරීක්ෂණයෙන් මෙන් ම, ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පරීක්ෂණයෙන් සමත් වූයේ ය. අනතුරුව, කොළඹ නාලන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීමට සුරවීරයන්ට අවස්ථාව ලැබෙයි. කෙසේ වෙතත්, ඔහු නාලන්ද විද්‍යාලයේ ඉගෙනුම ලැබුවේ ඉතා කෙටි කලක් ය. අනතුරුව, කොළඹ රාජකීය විද්‍යාලයේ විශ්වවිද්‍යාල ප්‍රවේශ පන්තියට බඳවා ගැනීමේ විභාගයට සුරවීර පෙනී සිටියි. ඔහුගේ ඉංග්‍රීසි දැනුම ප්‍රමාණවත් නොවූ බැවින්, ඒ විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ විභාගයේ දෙවෙනි වරට පෙනී සිටින පන්තියට තෝරා ගැනිණ. විශ්වවිද්‍යාල ප්‍රවේශ පන්තියට ඇතුළු වීමට ප්‍රථම වසර දෙකක් ගතකොට සුරවීර ලන්ඩන් මැට්‍රිකියුලේෂන් විභාගයට ඉදිරිපත් විය. ඔහු ඒ විභාගයෙන් සමත් වෙයි.

යොවුන් සුරවීර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා තෝරා ගත්තේ ලංකා ඉතිහාසය, භූගෝලවිද්‍යාව, පාලි හා සිංහල යන විෂයයන් ය. රාජකීය විද්‍යාලයේ සිටි අවධියේ සිංහල සංගමයේ වැඩකටයුතුවලට ද හෙතෙම විශේෂ උනන්දුවක් දැක්වූයේ ය. විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්ෂණයට පෙනී සිටීමෙන් පසුව සුරවීර පල්ලෙවෙල පෞද්ගලික අධ්‍යාපන ආයතනයක ගණිතය හා ඉංග්‍රීසි අධ්‍යාපන ආයතනයක ඉගැන්වූයේ ය. වර්ෂ 1950 ඔක්තෝබර් මාසයේ ඔහුට කොළඹ සරසවියට ඇතුළුවීමේ අවස්ථාව ලැබිණ. සුරවීරයෝ ප්‍රථම වර්ෂය සඳහා පාලි, ඉන්දීය ඉතිහාසය හා සිංහල හැදෑරූහ. දෙවෙනි වර්ෂයේ දී සිංහල විශේෂ උපාධිය සඳහා හේ අධ්‍යාපන කටයුතුවල නිරත වෙයි. එච්. ඒ. පී. අභයවර්ධන, ගාවින් කරුණාරත්න ඔහු සමඟ සිංහල‍ ගෞරව කළ කලණ මිතුරෝ වූහ. මේ තිදෙනා සරසවියේ ප්‍රචලිත වූයේ ත්‍රිමූර්තිය නමිනි. 1952 සැප්තැම්බර් මාසයේ සඳුදා දිනයක ලංකා විශ්වවිද්‍යාලයේ කලා අංශය පේරාදෙණියට ගෙනයෑම නිසා සුරවීර ඇතුළු කණ්ඩායමට කොළඹින් පේරාදෙණියට යෑමට සිදු වෙයි. සුරවීර හා අභයවර්ධන ජයතිලක ශාලාවේ නේවාසික වූහ. පේරාදෙණියේ දී බෞද්ධ සහෝදර සංගමයේ ලේකම් ධුරය සුරවීරට ලැබිණ. වර්ෂ 1954 ජුනි මාසයේ අවසානයේ දී හෙතෙම සරසවියේ අවසාන පරීක්ෂණයට පෙනී සිටියේ ය. නොබෝ කලකින් ඔහු මරදානේ ශාන්ත ජෝශප් විද්‍යාලයේ ගුරු පත්වීමක් ලබයි. සුරවීර මේ විද්‍යාලයේ දී සිංහල හා ඉතිහාසය ඉගැන්වූයේ ය. ඊට අමතරව, ඔහු පාසල් කාලයෙන් පසු ඇක්වයිනාස් උපාධි ආයතනයේ සිංහල විෂයය උගන්වයි.

සිංහල ගෞරව උපාධිය ලබා ගැනීමෙන් පසු තරුණ සුරවීර ලංකා සිවිල් සේවා විභාගයට ලීවේ ය. මෙහිදී ඔහු ලිඛිත පරීක්ෂණයෙන් සමත් වුවත් සම්මුඛ පරීක්ෂණයෙන් අසමත් වෙයි. දැඩි ලෙස කම්පාවට පත්වූ සුරවීර, ටික කලකින් ශාන්ත ජෝශප් විද්‍යාලයෙන් අස්වී කටුගස්තොට ශ්‍රී රාහුලයට ගුරුවරයකු වශයෙන් බැඳුණේ ය. ඒ අවධියේ දී ඔහු පේරාදෙණියේ ශාස්ත්‍රපති පශ්චාත් උපාධියට ලියාපදිංචි වූයේ ය. “ශ්‍රී ලංකාවේ සංස්කෘතිය” ඔහුගේ ශාස්ත්‍රපති උපාධි නිබන්ධනයයි. 1957 දී හෙතෙම ශාස්ත්‍රපති උපාධිය දිනා ගනියි. 1958 වර්ෂයේ මේ තරුණ ගුරුවරයා කටුගස්තොට රාහුලයෙන් ඉවත් වී, කොළඹ ආනන්දයට පැමිණෙයි. හෙතෙම වසරක් පමණ ඒ විද්‍යාලයේ සේවය කළේ ය.

1960 ජනවාරි මස 01 වෙනි දින විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ සහකාර කථිකාචාර්ය ධුරයකට සුරවීර තෝරාගනු ලැබිණ. 1961 ඔක්තෝබර් මස 01 වැනි දින සිට සිංහල අංශාධිපති තනතුර ඔහු හිමිවේ. විද්‍යෝදය සරසවියේ සේවය කරමින් සිටිය දී සුරවීර 1961 දී පී.එච්.ඩී. උපාධිය සඳහා පේරාදෙණි සරසවියේ ලියාපදිංචි වූයේ ය. ඔහු “සිංහල ඓතිහාසික ලේඛන පිළිබඳ අධ්‍යයනයක් සහිත ව රාජාවලියේ ශාස්ත්‍රීය සංස්කරණයක්” යන මාතෘකාව යටතේ ඉදිරිපත් කළ නිබන්ධනයට වර්ෂ 1964 දී ආචාර්ය උපාධිය පිරිනැමිණ. වර්ෂ 1968 සැප්තැම්බර් මාසයේදී ඇමරිකාවේ අයෝවා විශ්වවිද්‍යාලයේ සාහිත්‍ය නිර්මාණ පාඨමාලාවක් හැදෑරීම සඳහා සුරවීරයන්ට අධිශිෂ්‍යත්වයක් ලැබිණ. ඒ පාඨමාලාව හදාරා අවසන් කොට, 1969 දී පෙරළා සිය රට පැමිණි හෙතෙම විද්‍යෝදය සරසවියේ සාහිත්‍ය නිර්මාණ පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් ආරම්භ කළේ ය. ඊට අමතරව සුරවීරයන්ගේ නිර්දේශය මත උසස් තත්ත්වයේ නිර්මාණ පවා ශාස්ත්‍රපති උපාධි සඳහා නිබන්ධන වශයෙන් පිළිගැනිණ.

සුරවීර කෙටිකතාකරුවෙකි; නවකතාකරුවෙකි; සාහිත්‍ය විචාරකයෙකි; සම්භාව්‍ය ග්‍රන්ථ සංස්කාරකවරයෙකි; කෘතහස්ත පරිවර්තකයෙකි; එමෙන් ම මානව හිතවාදියෙකි. මේ ලේඛකයා ග්‍රන්ථ හතළිහකට ආසන්න සංඛ්‍යාවක් රචනා කළේ ය. මුලින් ම රසවාහිනී සඟරාවට ශාස්ත්‍රීය ලිපි හා කාව්‍ය නිර්මාණ හෙතෙම යැවුවේ ය. ඒවායින් බොහොමයක් උක්ත සඟරාවේ පළ විය. “විචාර විලාසය” (1957) ඔහු විසින් රචිත ප්‍රථම ග්‍රන්ථයයි. සුරවීර කෙටිකතා සංග්‍රහ හතරක් පළ කළේ ය. කාටත් එපාවෙලා (1969), ඔහුගේ මුල් ම කෙටිකතා සංග්‍රහයයි. අනතුරුව එතුමා පෑදිදියට බොරදිය (1970), ගොදුරු ලොබ (1973), බව තිමිර (1984) යන කෙටිකතා සංග්‍රහ පළ කළේ ය. පෑදිදියට බොරදිය හා ගොදුරු ලොබ කෙටිකතා සංග්‍රහවලට රාජ්‍ය සාහිත්‍ය සම්මාන පිරිනැමිණ.

සුරවීර නවකතාකරුවෙක් ද වන්නේ ය. හෙයියන්මාරුව (1971) ඔහුගේ ප්‍රථම නවකතා නිර්මාණයයි. අනතුරුව හේ නොයන් පුතුනි ගම හැරදා (1975), අත්ත බිඳෙයි පය බුරුලෙන් (1977), සදා මෙලෙස පුර දෙරණේ (1980), අඳුර දුරලන රැස් (1984) යන නවකතා පළ කළේ ය. සදා මෙලෙස පුර දෙරණේ නවකතාවට රාජ්‍ය සාහිත්‍ය සම්මානයක් ලැබිණ.

සාහිත්‍ය විචාර කලාවේ පෝෂණය උදෙසා ද සුරවීරගෙන් ඉමහත් මෙහෙයක් වූයේ ය. විචාර විලාසය (1957), සිංහල සාහිත්‍ය සම්ප්‍රදාය (1969), නවකතා නිර්මාණය හා අවබෝධය (1973), සමාජීය සාහිත්‍ය අධ්‍යයනය (1982), නිර්මාණ පසුබිම (1987), සම්ප්‍රදාය නිර්මාණය හා විචාරය (1989), සාහිත්‍ය විචාර සංහිතා (1995), ලේඛන සමීක්ෂා - නව ආලෝකධාරා (2011) යන කෘතීන් සාහිත්‍ය විචාරයේ ප්‍රගමනයට දායක වන්නේ ය. සුරවීරගේ ඇතැම් විචාර ග්‍රන්ථවලින් නවකතා හා කෙටිකතා නිර්මාණය කිරීමට ද, අවශ්‍ය උපදෙස් ලබාගත හැකි ය.

මේ ලේඛකයා ග්‍රන්ථ කිහිපයක් සංස්කරණය කරමින්, සම්භාව්‍ය සාහිත්‍යයේ ග්‍රන්ථවලට ආලෝකයක් ලබා දුන්නේ ය. ඔහුගේ රාජාවලිය, පූජාවලිය, අලකේශ්වර යුද්ධය, අනුරාධපුර සංස්කෘතිය, අනුරාධපුර සමාජය, කතිකාවත් විමර්ශනය යන සංස්කරණ මේ අතරින් කිහිපයකි. චිරන්තන සාහිත්‍ය හා ඓතිහාසික ග්‍රන්ථ සංස්කරණය කිරීම නිසා ආධුනිකයන්ට හා සරසවි සිසුන්ට උක්ත ග්‍රන්ථ රසවිඳීමට හා අවබෝධ කර ගැනීමට පහසු විය. අනුරාධපුර සංස්කෘතිය (1957) ග්‍රන්ථයට රාජ්‍ය සම්මානයක් ප්‍රදානය කිරීම නිසා සුරවීරයන් එකල ඇතැම් උගතුන් අතර ප්‍රචලිත විය. සුරවීර පරිවර්තනයෙන් ද සිංහල සාහිත්‍යයේ උන්නතිය උදෙසා ඉමහත් සේවයක් කරයි. පිඹිත් නළා සුරා මතින්, ඇරිස්ටෝට්ල්ගේ කාව්‍ය ශාස්ත්‍රය, කලාව යනු කුමක් ද? යන ග්‍රන්ථ එතුමාගේ පරිවර්තනවලින් කිහිපයකි. මහාචාර්ය සුරවීර 2014 ජනවාරි 14 වැනි දින දැයෙන් සමුගත්තේ ය. ඒ සමඟම ශ්‍රේෂ්ඨ ලේඛකයෙක් ද අපට අහිමි වූයේ ය.

Comments