ජීවිතයේ අවසන් හෝරාව තෙක් ලේඛනය අත් නොහළ මහැදුරු | සිළුමිණ

ජීවිතයේ අවසන් හෝරාව තෙක් ලේඛනය අත් නොහළ මහැදුරු

තමන් නොමැරෙන බවට හිත මොහොතකට රවටාගත් මිනිසුන් සුලබ ලෝකයක කෙදිනක හෝ මිය-යන බව දැන සමාජය වෙනුවෙන් විය යුතු සිය කාර්යයන් එතෙක් නොපිරිහෙළා ඉටු කරන සුළු පිරිසක් ද සිටින බව පැහැදිලි ය. එවැන්නන් ලෝකය, සමාජය දෙස නෙත් සිත් හෙළන්නේ ද සුභවාදි හා යථාර්ථවාදි ආකාරයෙනි. එලෙස සිය සමාජීය කාර්යයන් ජීවිතයේ අවසානය තෙක් ඵලදායීව ඉටු කොට මිය යන ඔවුන් එතැන් සිට සමාජය විසින් හඳුනාගනු ලබන්නේ ද නොමියෙන මිනිසුන් ලෙසට ය.

2014 ජනවාරි මස 14 වන දින සිය ජීවිතය නතර කළ ඒ.වී. සුරවීර මහාචාර්යවරයා අයත් වන්නේ සමාජය අතර එලෙස නොමියෙන මිනිසුන්ව නතර වූ සුළුතරයට ය. ඔහු ජීවත් වූයේ ද කවර දා හෝ ජීවිතය නතර කළ යුතු බවට වන පෙර සූදානමකිනි. පවුලේ සමීපතමයන් ලෙස ඔහු හා යෙදෙන කතා බහකදී අපට ද ඒ හා අදාළ තොරතුරු විටෙක සන්නිවේදනය වූයේ නිතැතිනි. වටිනා පොත-පතින් පිරුණු සිය පුස්තකාලය තමන් ජීවත්ව නොසිටින කාලයකදී සමාජගත කළ හැකි ආකාරයන් ගැන ජීවිතයේ අවසාන දෙවසර තුළ ඔහු කතා කළ දේ අපට මතක ය. මේ වටිනා පොත්-පත් ඔහු අප හැර යෑමෙන් අනතුරුව ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ස්ථානගත වන්නේ ද ඒ අනුව ය.

2014 ජනවාරි මස 14 වන දින අලුයම ලෝකය හැරදා යන ඔහු ජනවාරි 13 වන දින රාත්‍රිය වන තෙක් ගත කළේ සිය සුපුරුදු ව්‍යායාමයෙහි ද, ලේඛනයෙහි ද වෙන දා මෙන් ම නිරත වෙමිනි. සවස් යාමයෙහි මහරගම නගරය තෙක් ඇවිද යළිත් නිවෙසට පැමිණ හුරු-පුරුදු ලේඛන කාර්යයේ යෙදීමෙන් අනතුරුව ඔහු නින්දට යන්නේ පසුදා අදාළ ලේඛනයේ ඉතිරි කොටස් සම්පූර්ණ කිරීමේ අභිලාෂයෙනි. එදිනට ලේඛනයේ අවසාන කළ පිටුව මත බෝල්පොයින්ට් පෑන රඳවා, එලෙස පරිවර්තනය කරමින් සිටි තමන්ම කලකට පෙර ඉංග්‍රීසියෙන් සටහන් කළ ලිපියේ පිටපත ද පසෙක තබා එතැනින් නික්ම යෑමෙන් පිළිබිඹු වන්නේ පැවැති එබඳු අපේක්ෂාව ය.

2014 ජනවාරි 13 වන දා රාත්‍රි 9.30 පමණ වන තෙක් ලියා ගෙන ගිය මේ අවසන් ලේඛනයේ මාතෘකාව සටහන් වන්නේ ‘ලේඛනයේ ගෝලීයකරණය: කාලයාගේ ඇවෑමෙන් ශ්‍රී ලංකාවේ දායකත්වය’ වශයෙනි. එදින සම්පූර්ණ කොට ඇත්තේ එහි 09 වන පිටුව ය. ඒ 10 වන පිටුවෙන් පසුදින ආරම්භයට ඉඩ සලසමිනි. ඔහු විසින් අවසන් වතාවට කළ ලේඛනයේ අවසාන ඡේදය 09 වන පිටුවේ සඳහන්ව ඇත්තේ මෙලෙසිනි:

‘ක්‍රිස්තු වර්ෂයෙන් පස් වන ශතවර්ෂය පමණ වන විට ශ්‍රී ලංකාවෙහි පාලි සාහිත්‍යය විෂයයෙහි නව ප්‍රබෝධයක් ඇති වන්නට පටන් ගත් බවත්, සිංහල භාෂා සාහිත්‍යයක් කෙරෙහි තිබූ උනන්දුව පාලි භාෂා සාහිත්‍යයක් වෙත යොමු වූ බවත් පෙන්වා දෙනු වටී. දීපවංශය, මහාවංශය යන ඉතිහාස ලේඛන දෙක සම්පාදනය කෙරුණේ මේ වකවානුවේ ය. සිංහල අට්ඨකථා නමින් සිංහල භාෂාවෙන් තිබූ බුද්ධ වචනය විස්තර කෙරුණ අට්ඨකථා පාලි භාෂාවට පරිවර්තනය කිරීමේ අවශ්‍යතාවක් එකල මතු වී ආ බව පෙනේ. අනුරාධපුර මහා විහාරය ආශ්‍රිත ස්ථවිරවාදී මහා සංඝයා මේ කාර්යයෙහිලා මහත් අභිරුචියෙන් ක්‍රියා කළ බව පෙනේ. ක්‍රිස්තු වර්ෂ පස් වන ශතවර්ෂයේ මහානාම රාජ්‍ය සමයේදී පමණ බුද්ධඝෝෂ නාමධාරී ධර්මධර මහාස්ථවිරතෙම මෙහි වැඩම කර ඇත්තේ මේ වකවානුවේදී ය.’

සිංහලයට මෙලෙස පරිවර්තනය වන අදාළ ලේඛනයට පාදක වන්නේ 2002 වර්ෂයේ නවදිල්ලි නගරයේදී පැවැත්වුණුඅ අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනයේදී ඒ.වී. සුරවීර මහාචාර්යවරයාම ඉංග්‍රීසියෙන් කළ දේශනයක ලිඛිත සටහනකි.

‘Globalization of the written world: Yesterday and Today - Sri Lankan perspective’ ලෙස නම් වූ ටයිප් පිටු 12කින් සමන්විත ඉංග්‍රීසි ලේඛනයේ 4 වන පිටුවේ මැදක් දක්වා වන පරිවර්තනය ඔහු එලෙස සිදු කරන්නේ ජනවාරි 13 වන දා රාත්‍රියේදී ය.

අපේක්ෂිත පරිදි සිය ඉංග්‍රීසි ලේඛනයේ සිංහල පරිවර්තනයේ ඉතිරි කොටස් පසුදා ලියන්නට ඔහුට නොහැකි වන්නේ අනපේක්ෂිත හෘදයාබාධයකට තවත් හෝරා හතරකදී ලක් වීමෙනි.

අපේ නිවෙසත්, මගේ මාමණ්ඩිය වන ඔහුගේ නිවෙසත් අතර පරතරය සටහන් වන්නේ අඩි 20ක පළලින් යුත් මහරගම යහම්පත් මාවතෙනි. ජනවාරි 14 වන දා අලුයම 1.30ට පමණ නින්දේ සිටි අපට හදිසියේ ලැබෙන පණිවිඩයට අනුව එහි ඇතුළු වන මොහොතේ අප ලක් වන්නේ ජීවිතයේ කිසිම දිනක අමතක නොකළ හැකි සිත සසල වන අත්දැකීමකටය. ලෝකයද, සමාජයද හරිහැටි දැකීමෙන් නොනැවතී සිය ලේඛනයෙන් ඒ සියලු විමසුම් ලෝකයේ, සමාජයේ පවතින්නට සටහන් කළ ඔහු ලෝකය හැර යන්නට ගත වූයේ තවත් තත්පර ගණනකි. නොවැටෙන ගානට පත් වූ නාඩි අල්ලා සිටින මොහොතේ වරක් අප දෙස හෙළූ ඒ නෙත් නිසල වූයේ සැණෙකිනි.

ලෝකය, සමාජය ගැන තවත් බොහෝ දේ කියන්නට, ලියන්නට හැකි ශ්‍රේෂ්ඨයකුගේ මේ හදිසි නික්ම යෑමත් සමඟ නිතැතින්ම හිතට ඇතුළු වූයේ වචනයෙන් විස්තර නොකළ හැකි තරමේ හිස් බවකි. ඒ නිඳන කාමරයෙන් නිවෙසේ සාලයට පිවිසීමේදී ඇස ගැසුණේ ඉන් හෝරා හතරකට පමණ පෙර ඔහු සිය ලේඛන කාර්යයෙහි යෙදෙමින් සිටි මේසයය. ඉදිරි දිනයේ ඔහුගේ සුරතට හසු වන තෙක් නිසොල්මන්ව එහි පසු වන පෑන ද, කොළය ද පමණක් නොව, ඔහුගේ ස්පර්ශයට, විමසිල්ලට ලක් වන ඒ සියලු වටපිටාවද පවතින්නේ නොවෙනස්ව ය. ඒ මනසේ පිරී පැවතුණු තවත් බොහෝ වටිනා දේ ලෝකයට නැවත බෙදා නොහැරෙන බව දැනෙන්නේ අවට පරිසරයට නොව අපට ය.

කෙසේ වෙතත් ඒ.වී. සුරවීර මහාචාර්යවරයා, ලේඛකයා මෙලොවින් නික්ම යන්නේ තමන්ගෙන් විය යුතු කාර්යයන් හා වගකීම් ජීවිතයේ අවසාන හෝරා කිහිපය දක්වා ම ඉටු කිරීමෙන් අනතුරුව ය. ඔහු තබා ගිය දේ අනාගතයට ද සමාජයකට හරවත්ව භාවිත කළ හැකි දේ ය. එහෙයින් ඔහුට ද හිමි වන්නේ ලොව නොමියෙන මිනිසුන් අතර ස්ථානගත වීමේ අවකාශය ය.ය ශාන්ත හෙට්ටිආරච්චි

 

 

Comments