
1960 වසෙර් පැවැත්වූ ප්‍රථම රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළේදී ‘අනුරාධපුර සංස්කෘතිය’ නම් ශාස්ත්‍රීය ග්‍රන්ථය රචනා කිරීම වෙනුවෙන් හොඳ ම ශාස්ත්‍රීය නිබන්ධයට පිරිනැමෙන සම්මානයට හිමිකම් කියූයේ මහාචාර්ය ඒ. වී. සුරවීර ය. මේ සංලාපය කළ දිනය වන විට ඒ ප්‍රථම රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළේදී සම්මානිත ලේඛකයන් අතරින් ජීවතුන් අතර සිටියේ එතුමා පමණී. අඩසියවසක අතීත සැමරුම් හා නූතන සාහිත්‍ය නිර්මාණකරණය පිළිබඳව එවක පුන්කලස ‘මුවදොර වදන’ ට අදහස් දැක්වූ මහැදුරු සුරවීරයන් අවධාරණය කළේ, ලේඛකයා සිය සෑම නිර්මාණයක් සඳහා ම සමාජයට වගකිව යුතු බවයි. ජාතික අධ්‍යාපන කොමිසමේ සභාපති ධුරය හෙබැවූ මහැදුරු සුරවීරයෝ සාහිත්‍ය අනුමණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකි. ඔහු විදෙස් විචාර ක්‍රමවේද පිළිබඳ ඉදිරිපත් කළ ග්‍රන්ථ සමූහය මෙරට විචාර කලාව හදාරන්නන්ට මහඟු අත්වැලක් සපයන බව අවිවාදිත ය.
• ප්‍රථම රාජ්‍ය සාහිත්‍ය සම්මානයට පාත්‍ර වූ ලේඛකයන් අතරින් අද වන විට ජීවතුන් අතර සිටින්නේ ඔබ පමණයි. අඩසියවසක් ගත වී ඇති මේ ඉතිහාසය පිළිබඳ සිහිපත් කළොත්.
එදා මට සම්මානය ලැබුණේ ‘අනුරාධපුර සංස්කෘතිය’ කියන පොතට. මම මෙය රචනා කළේ 1959 වසරේදී. ඒ උත්සවය තිබුණේ අනුරාධපුර නගරයේ. මම විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් විදියට පත් වුණේ 1960 වසරේ ජනවාරි මස 01 වැනිදා. ඒ වසරේ ම සැප්තැම්බර් මාසයේදී තමයි මට සම්මානය ලැබුණේ. ඉතින් මට එදා කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ, මට සම්මානයක් හිමි වෙයි කියලා. ඒ කාලේ සංස්කෘතික අමාත්‍යාංශය සමඟ සබඳතා තිබුණු ආචාර්ය ආනන්ද ගුරුගේ මහත්මයා මට කතා කරලා කිව්වා, ඔයාටත් මේ පාර තෑග්ගක් ලැබෙනවා කියලා. එතකොට තමයි මම දැනගත්තේ මට සම්මානයක් ලැබෙනවා කියලා. ඒ කාලේ දැන් වගේ මේ සම්මාන පස්සෙ, තෑගි පස්සෙ කවුරුවත් දිව්වේ නැහැ. එ් කාලෙ පොතකට තෑග්ගක් ලැබීම ඉතාමත් විරල දෙයක්. ඒ නිසා මෙවැනි සම්මානයක් ලැබීම ඉතාමත් සතුටට කාරණයක් වුණා.
• මේ සම්මාන උලෙළ පැවැත්වූ සැටි සහ එදින සම්මානයට පාත්‍ර වූ ලේඛකයන් පිළිබඳ ඔබේ මතකයේ තිබෙනවාද?
ඇත්තට ම බොහොමයක් දේවල් මතක නැහැ. අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ මූලිකත්වයෙන් තමයි මේ උත්සවය පැවැත්වුණේ. ‘අනුරාධපුර සාහිත්‍යය’ තමයි මේ උලෙළෙහි තේමාව වුණේ. අපිට සම්මාන ලැබුණේ මැතිනිය අතින්.
මට මතක විදියට පියසේන නිශ්ශංක, විමල් අභයසුන්දර, පී.බී. අල්විස් පෙරේරා, ඒ.පී. ගුණරත්න, ම.ව. සුගතපාල ද සිල්වා හා කෝදාගොඩ ඤාණාලෝක ස්වාමීන් වහන්සේට එදා සම්මාන ලැබුණා.
• මේ වනවිට ප්‍රධාන පෙළේ සාහිත්‍ය සම්මාන උලෙළ කිහිපයක් ම ක්‍රියාත්මක වෙනවා. කෘති විවිධාකාර ඇගැයුම්වලට ලක් කැරෙනවා. එදා සම්මාන ප්‍රදානය කිරීමේදී රැකගත් ගුණාත්මක භාවය මෙකල සම්මාන ප්‍රදානයන්හිදී පවතිනවා යැයි ඔබ සිතනවාද?
ඉස්සර මේ වගේ විවිධාකාර සම්මාන ප්‍රදානය කිරීම් තිබුණේ නැහැ. තිබුණේ එක ම සම්මාන උලෙළයි. ඒක සංස්කෘතික අමාත්‍යාංශය මෙහෙයවූ සාහිත්‍ය සම්මාන උලෙළ. එතැනදී සාහිත්‍ය අනුමණ්ඩලය විශේෂයෙන් ම ඉතා විනිවිද බවකින් හා නිරීක්ෂණයකින් යුතුව සම්මාන ප්‍රදානය සඳහා කෘති තේරුවා. බොහොම රහසිගත විදියටයි පොත් ලබාගත්තෙත්; අපෙන් පොත් ඉල්ලුවෙත් නෑ; අපේ පොත් විනිශ්චය සඳහා යොදාගත් බවක් අපි දන්නෙත් නෑ. මේ නිසා ගුණාත්මක අතින් ඉතාමත් හොඳ නිර්මාණ සම්මානයට පාත්‍ර වුණා.
අද වෙනකොට සමහර අය ලියන්නේ සම්මාන ගන්න බලාගෙනයි. වසර අග වීමට පෙර පොත් ලියාපදිංචි කිරීම සඳහා පුදුම තරගයක් තියෙන්නේ. නැත්නම් ඒ වසරේ සම්මානයට ගැනෙන්නේ නැහැනේ. මේ ගැන විශාල ලෙස හිතනවා. පොතක ගුණාත්මක පක්ෂය වැඩි කරගැනීමට මිසක් මේ අවශේෂ කාරණා ගැන කනගාටු වීම නිර්මාණකරුවකුට උචිත නැහැ. මේ පොරකෑම නිසයි අද පොත්වල ගුණාත්මක පක්ෂය අඩුවෙලා තියෙන්නේ.
• මේ වසරේ විවිධාකාර සම්මාන ලබාගත් නවකතා ඇතුළු සම්මාන ග්‍රන්ථ ඔබට කියැවීමට අවස්ථාවක් ලැබුණද?
නැහැ. මට ඔක්කොම කියවන්න බැරිව ගියා. සමහර පොත් නම් මම මිල දී ගත්තා. එයින් එකක් දෙකක් කියෙව්වා. ඒ පොත් ගැන මම මේ වෙලාවෙ කිව යුතු නැහැ කියලයි මට හිතෙන්නෙ. ඒ ගැන කතා කරන්න තව ටිකක් කල් ගත වීම හොඳයි.
• පොතකට නිසි ඇගැයීමක් කළ හැකි විචාරකයන් අද නොමැති බව ඔබ පුවත්පතකට ප්‍රකාශ කොට තිබුණා...
නැහැ නොවෙයි, ඉතාමත් විරලයි. පොතකට ඇගයීමක් කරන්න නම් ඒ ක්ෂේත්‍රය ගැන ප්‍රාමාණික වෙන්න ඕන. නවකතාවක් පිළිබඳ ව ඇගැයීමක් කරන්න නම් ඔහු නවකතා ක්ෂේත්‍රයේ නිපුණයකු විය යුතු වෙනවා. කවියක් ඇගයීමට නම් ඒ ක්ෂේත්‍රය පිළිබඳ ව දැනුමක් තියෙන්න ඕන. මම මේ කියන්නේ කවියක් විචාරය කරන්න කවියෙක් ම වෙන්න ඕන කියන එක නොවෙයි. එහෙම වෙන්න ඕනත් නැහැ.
උදාහරණයක් විදියට, අද නවකතා විචාරය කරන්නේ නාට්‍ය ක්ෂේත්‍රයේ, සිනමා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්! එහෙමත් නැතිනම් නළු නිළියන්! ඒක විහිළුවක්නෙ. ඒක සාහිත්‍ය නිර්මාණයට කරන අපහාසයක්. ඒ අය තේරුම් ගත යුතුයි, ඒ ඒ ක්ෂේත්‍රයේ වගකිව යුතු ප්‍රාමාණිකයන්ට කියලා මේක කරගන්න. නැතිනම් විශාල වශයෙන් අඩුපාඩු සිදු විය හැකියි.
• සාහිත්‍ය නිර්මාණයන්ට නිසි විචාරයක් ලබාදීමේ ක්‍රමවේදයක් අපේ රටේ සැකැසී නැත්තේ කුමක් නිසා ද?
ඉතාමත් දුර්වල විචාර ක්‍රමයක් අපට තිබෙන්නේ. විචාරයක් කරන්න නම්, විචාරය කියන්නේ මොකක්ද කියලා දැනගෙන ඉන්න ඕන. ඒ වගේ ම විචාරය කරන්න කලින් තමන්ට අදාළ ක්ෂේත්‍රයේ පොත්පත් කියවලා තියෙන්න ඕන. එහෙම සිරිතක් තිබෙන බවක් පෙනෙන්නට නැහැ. දැන් සාහිත්‍ය ගත්තහම සිංහලෙන් පළ වූ විචාර පොතපත නැහැ. ඉංගිරිසියෙන් පළවූ පොත් තිබෙනවා. අලුත් මත, පැරණි මුල් බැසගත් මත ආදිය මේ පොත්වල තිබෙනවා. මේවා පරිවර්තනය කරන්න හරි ඕන.
මම සෑහෙන ප්‍රමාණයක් පරිවර්තනය කළා. නමුත් මට අතෑරුණු පොත් තියෙනවා. කියැවීමේ අඩුව නිසයි මේ විචාර කලාවේ දියුණුවක් ඇති නොවන්නේ. අනිත් එක, දැන් ඕන කෙනෙකුට විචාර කරන්න පුළුවන්නේ. ප්‍රවීණත්වයක් නැතිව කළ හැකි එකම දේ තමයි විචාරය! නළු නිළියන්ව විචාරකයෝ කරන රටක්නෙ මේක. ඒකයි! මේ විචාර කලාව පිරිහී තිබෙන්නේ.
• සාහිත්‍ය කෘතියක් සර්වකාලීන හා සර්ව භෞමික විය යුතු වෙනවා. එහෙත් අපේ නිර්මාණකරුවන් මේ ගැන සැලැකිලිමත් වන බවක් පෙනෙන්නට නැහැ...
නිර්මාණයක අගය රැඳෙන්නේ විචාරකයන්ගේ නිගමන අනුව පමණක් නොවෙයි. කාලය කියන සාධකය මෙහිදී ඉතාමත් වැදගත්. කාලයක් තිස්සේ පවතින කෘති තමයි හොඳ කෘති බවට පත්වෙන්නේ. පොතක් පිළිබඳ ලැබෙන හොඳ ම නිගමනය ලබාදිය හැක්කෙ කාලයට. අද පළවෙන පොත්වලින් වැඩි ගණනක් මාස දෙකක් තුනක් කතාබහට ලක්වෙලා අභාවයට යනවා. ඉන් පස්සේ කවුරුවත් ඒක කියවන්න ගන්නේ නැහැ. අපි එතනින් ඔබ්බට යා යුතු වෙනවා.
• කාලින ගැටලු කෙරේ අප නිර්මාණකරුවන්ගේ උනන්දුව ඉතා අඩුයි. පශ්චාත් යුද වාතාවරණයක සිටින අපේ රටේ ජනතාවගේ භෞතික හා ආධ්‍යාත්මික ගැටලු පිළිබඳ මේ නිර්මාණකරුවන්ගේ නිර්මාණාත්මක ප්‍රවේශයක් නැති තරම්.
ඇත්තෙන් ම ඔව්. සාහිත්‍ය විචාරයට සමගාමීව තවත් සාහිත්‍යයට සම්බන්ධ බොහෝ පැතිකඩ තිබෙනවා. මිනිසුන් පිළිබඳ ව ඔවුන්ගේ හැඟීම් පිළිබඳ ව සාහිත්‍යකරුවාට සියුම් නිරීක්ෂණයක් තිබිය යුතු වෙනවා. අපේ නිර්මාණකරුවාට මේ ගුණය නැහැ. ඒකයි ඔවුන් අතින් සියුම් භාවයන්, නිරීක්ෂණයන් මඟ හැරෙන්නේ. එහෙම නැත්නම් පොත් මුද්‍රණයේ අඩුවක් දකින්න නැහැනේ. ඇත්තට ම පළවෙන පොත් ප්‍රමාණය වැඩි නිසා ද කොහෙද, පාඨකයෝ මේවා කියවන්නෙ නැහැ. තිබුණු ටික හොඳයි. අපේ පාඨකයන්ට ඕනෑම කබල් භාෂාවකින් ලියපු පොතක් විකුණන්න පුළුවන්.
• අද ලේඛකයන් භාෂා භාවිතය, ප්‍රයෝග, ව්‍යාකරණ ගැන උනන්දුවක් දක්වන්නේ නැහැ. එලෙස රචනා වූ කෘතිවලට පසුගිය කාලයේ සම්මාන පවා ලැබුණා. නිවැරැදි භාෂා භාවිතය නිර්මාණකරණයේදී වැදගත් වන්නේ කෙලෙසද?
පසුගිය වසරවල විතරක් නොවෙයි, මේ වසරේදීත් ඒ වගේ පොත්වලට සම්මාන ලැබුණා. භාෂාව හරි හැටි හසුරුවන්න බැරි කෙනා කොහොමද නිර්මාණකරණයේ යෙදෙන්නේ? භාෂාවේ නීතිවලට සිරවීම නිර්මාණකරණයට බාධාවක් කියලා කියන්නේ ලියන්න බැරි උදවිය. උක්ත ආඛ්‍යාත, වචන ගැළපීම ආදිය කරගන්න බැරි අය ලියන්නෙ කොහොමද? සාහිත්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් එදත් අදත් භාෂාවේ උපයෝගිතාව ගැන, භාෂාව හැසිරවීමේ නිපුණතාව ගැන දිගට ම අවධානය යොමු කළා. නිර්මාණයක් කියන්නේ කරුණු ඉදිරිපත් කිරීමක් පමණක් නොවෙයි. නිර්මාණයක හැඟීම් තියෙන්න ඕන, වින්දනයක් තියෙන්න ඕන. ඒවා නිර්මාණයට පාදක කරගන්න නම් හොඳ භාෂා නිපුණත්වයක් තියෙන්න ඕන. නිර්මාණකරුවා භාෂාව තමන්ගේ වහලෙක් කරගත යුතුයි.
• ලේඛකයා තම නිර්මාණ සමාජයට දායාද කිරීමේදී දැඩි වගකීමකින් ක්‍රියා කළ යුතු වෙනවා. නමුත් ලංකාවේ මේ පිළිබඳ ලේඛකයන්ගේ අවධානයක් නොමැති තරම්...
පැහැදිලිව ම ලේඛකයා තමන්ගේ නිර්මාණ සමාජයට දායාද කිරීමේදී ඉතාමත් ප්‍රවේශම් සහගත වෙන්න ඕන. දැන් හිතන්න වෛද්‍යවරයකු ලෙඩෙකුට දෙන බෙහෙතක් වැරැද්දුව ම මැරෙන්නෙ ඒ ලෙඩා විතරයි. නමුත් ලේඛකයෙක් භාෂාව අතින් හෝ අන්තර්ගතය අතින් හෝ මේ හැම දෙයක් ම අතින් පාඨකයා අතට පත් නොකළ යුතු පොතක් නිර්මාණය කළහම ඒකෙන් අදට හෝ හෙටට විතරක් නොවෙයි, පරම්පරා ගණනකට විනාශයක් වෙනවා. ලේඛකයාට වගකීමක් තියෙනවා පාඨකයාට නිවැරැදි හා හොඳ දේ දෙන්න.
• ඔබ 1982 වසරේ පළ කළ ‘සමාජීය සාහිත්‍ය අධ්‍යයනය’ නමැති ශාස්ත්‍රීය කෘතියෙන් නිර්මාණයක් බිහිවීම සඳහා සමාජය බලපෑම් කරන අන්දම පිළිබඳ විග්‍රහ කළා නොවේද?
සාහිත්‍ය ක්ෂේත්‍රයේ නිර්මාණයකට සමාජය අනිවාර්යයෙන් ම සම්බන්ධ වෙනවා. එහෙමත් නැතිනම් ඇතුළත් වෙනවා. ලේඛකයා සමාජයේ ජීවත්වන කෙනෙක්. ඔහු සිය නිර්මාණයට අවශ්‍ය කරුණු සමාජයෙන් උකහාගන්න නිසා හා එයින් පෝෂණය වන නිසා තමයි ලේඛකයාට සමාජයෙන් ඈත් වෙන්න පුළුවන්කමක් නැත්තේ.
• ලේඛකයා විසින් බිහි කරන ලද නිර්මාණයකට විචාරයක් සැපයීමේදී සමාජය ඊට කොතරම් බලපෑම් කරනවාද?
විචාරයට සමාජයේ බලපෑමක් නැහැ කියලයි මට හිතෙන්නේ. සමාජය විචාරය සඳහා බලපෑම් කරනවා නම් එය නිකම් ජනමත විචාරණයක් වගේ දෙයක් වේවි. සාහිත්‍ය විචාරය කියන්නේ ඊට සපුරා වෙනස් වූවක්. සාහිත්‍ය නිර්මාණය කියන්නෙ එකක්. සාහිත්‍ය විචාරය කියන්නෙ තවත් එකක්. මේ දෙකට ම සමාජයේ බලපෑම තිබෙනවා. නමුත් ප්‍රබුද්ධ විචාරයට සමාජය සම්පූර්ණයෙන් ම දායක කරගත යුතු නැහැ. සමාජීය සාහිත්‍ය අධ්‍යයනය කියන්නේ වෙනම ම ක්ෂේත්‍රයක්. විචාරය හා සමාජය අතර සම්බන්ධතාව ඉතා ම සමීපයි; ඒ වගේ ම දුරස්ථයි. ඒ දෙක අතරේ තමයි ක්‍රියා කරන්න වෙන්නේ. ලේඛකයා සමාජයේ ජීවත්වන කෙනකු නිසා ඔහුට සමාජයේ බලපෑම් තියෙනවා. නමුත් එය විචාරයට සම්බන්ධ කරගත්තොත් එය හොඳ මට්ටමේ විචාරයක් වන්නේ නැහැ.
• නූතනවාදී, පශ්චාත් නූතනවාදී, මාක්ස්වාදී ආදි වශයෙන් වූ විචාර ක්‍රමවේද කිහිපයක් පිළිබඳ අද විචාරකයන් අවධානය යොමු කොට තිබෙනවා. අපේ නිර්මාණ, මේ ක්‍රමවේද මඟින් විචාරය කළ හැකි යැයි ඔබ සිතනවද?
විශේෂයෙන් නූතනවාදී, පශ්චාත් නූතනවාදී කියන විචාර ක්‍රමවේද අසාර්ථක වුණේ ඕනෑවට වඩා සමාජය හා සම්බන්ධ වීමට උත්සාහ කිරීම නිසා. තවත් බොහෝ හේතු තිබෙනවා. පශ්චාත් නූතනවාදී විචාරය කිසිම අගක් මුලක් නැතිව, පැහැදිලි අවබෝධයක් නැතිව කරන විචාරයක්. අද ඒ විචාර ක්‍රමය සමාජයෙන් ප්‍රතික්ෂේප වී තිබෙන්නෙත් ඒකයි. ඒක හොඳ සාධකයක් වෙනවා සමාජයේ බලපෑම, විචාරය කෙරෙහි බලපෑම අසාධාරණයි කියන එකට.
• සෝවියට් සමාජවාදී සාහිත්‍යය මුල් කොටගෙනත් ලෝකයේ නව විචාර ක්‍රමවේදයක් බිහිවූ අන්දම අප දුටුවා...
එක එක යුගවල විචාර සංකල්ප වෙනස් වෙනවා. ඒ වගේ ම සංශෝධනය වෙනවා. සෝවියට් එහෙමත් නැතිනම් සමාජවාදී කියන එක ඒ අවධියේ ඉස්මතු කරපු විචාර සංකල්පයක්. අද සෝවියට් සමාජවාදය නැති වී ගියාට පස්සේ එකී විචාර ක්‍රමවේදය පිළිබඳවත් වැඩි අවධානයක් යොමු වෙන්නේ නැහැ. හැබැයි මාක්ස්වාදී විචාරය කියන එක ඊට වඩා වෙනස් එකක්. මාක්ස්වාදී විචාර කලාවේ මාක්ස් ඉදිරිපත් කරපු සංකල්ප ඇසුරෙන් බිහි කරගත් විචාර කලාවක් තියෙනවා. එහි යම් යම් කරුණු අදත් ප්‍රතික්ෂේප වී නැහැ. ඒ මතවාද සාහිත්‍යයට කෙළින් ම සම්බන්ධවූ මතවාද නොවෙයි. නමුත් සමාජවාදී සාහිත්‍යය ගැන අද කතා කරන්නේ නැහැ.
• පෙරදිග හා අපරදිග විචාර කලාවන් පිළිබඳ ඔබ අවධානය යොමු කොට තිබෙනවා. ආචාර්ය ඒ. ආර්. සිංගල්ගේ Aristotle and Bharata කෘතිය ‘ඇරිස්ටෝටල් සහ භරත’ යනුවෙන් පරිවර්තනය කිරීමෙන් මේ විචාර ක්‍රමවේදද්වය ම පිළිබඳ සියුම් විග්‍රහයක් ඔබ කළා.
‘ඇරිස්ටෝට්ල් සහ භරත’ කෘතියෙන් පමණක් නොවේ; මම දීර්ඝ වශයෙන් මේ ගැන පර්යේෂණ සිදු කොට තිබෙනවා. මේ ක්‍රමවේද දෙක අතරේ සමානකම් සහ අසමානකම් තිබෙනවා. පෙරදිග විචාර සංකල්ප, විචාර සිද්ධාන්ත ගොඩනැඟුණේ භරතමුනිගෙන් කියලා අපි පිළිගන්නවා. ඒ වගේ ම අපරදිග විචාරය ගොඩනැඟුණේ විකාශනය වුණේ ඇරිස්ටෝට්ල්ගෙන්. අපට මේ විචාර ක්‍රමවේද ද්විත්වයෙන් ම උකහාගත හැකි ලක්ෂණ තිබෙනවා. අපට අපේ සිංහල සාහිත්‍යය විචාරයට එහෙම පිටින් ම අපරදිග බටහිර විචාර සිද්ධාන්ත පසුපස යෑමට හෝ ඒවා සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කිරීමට හෝ බැහැ. භරතමුනිගේ විචාර සංකල්ප පිළිබඳ මතවාදත් එහෙමයි. ගන්න පුළුවන් දේ ගත්තට කිසි වරදක් නැහැ.
• මාර්ටින් වික්‍රමසිංහයන් ‘සිංහල විචාර මඟ’ කියන කෘතියේදී බෞද්ධ යථාර්ථවාදය පිළිබඳ අවධානය යොමු කරමින්, බෞද්ධ දර්ශනය පදනම් කරගත් විචාර කලාවක් බිහි කරගත යුතු බව පැවැසුවා නොවේද?
මම නම් වික්‍රමසිංහයන්ගේ ඒ මතයට අනුකූලතා දක්වන්නේ නැහැ. වික්‍රමසිංහයන්ගේ චින්තනයේ පසුබිම වුණේ සහ බෞද්ධ විචාර ක්‍රමයක් යන්නෙන් ඔහු අදහස් කළේ දේශීය විචාර ක්‍රමයක් කියන එකයි. අපේ සාහිත්‍ය ආරම්භයේ සිට බෞද්ධ සාහිත්‍යයෙන් සකස් වූවක් නිසා ඔහු බෞද්ධ යථාර්ථවාදය කියලා එකක් මතු කළා.
එහෙම වුණත් දේශීය හෝ බෞද්ධ කියන වික්‍රමසිංහයන්ගේ මතය මට නම් පිළිගන්න පුළුවන්කමක් නැහැ. මේ විචාර ක්‍රමවේද ගැඹුරින් සාකච්ඡා කළහොත් ටෝල්ස්ටෝයිත් බෞද්ධ සාහිත්‍යයට බෙහෙවින් සමීප අදහස් ප්‍රකාශ කොට තිබෙනවා. භරතමුනිගේ විචාර සංකල්ප ආශ්‍රයෙන් තමයි අපේ පෙරදිග සාහිත්‍යය පෝෂණය වුණේ. වර්තමානයේ අපි අපිට අර්ථවත් විචාර කලාවක් ගොඩනඟාගැනීමට ඕන නම් මේ ක්‍රමවේද ද්විත්වයේ සංකලනයක් ගොඩනඟාගත යුතු වෙනවා. අපි අදත් ජීවත්වන්නේ බෞද්ධ චින්තනය පදනම් කොටගත් සමාජයක. ඒකෙන් අනෙක් ආගම් ප්‍රතික්ෂේප කිරීමක් නොවෙයි සිදුවන්නේ. ඒ ආගම්වල තියෙන්නෙත් බෞද්ධාගමේ හරයන් ම තමයි. ඒ නිසා විචාර මතවාද ගැන කතා කරද්දී අපිට බෞද්ධ චින්තනයෙන් ඈත් වීමට වුවමනාවක් නැහැ.
අද දේශීය විචාර ක්‍රමවේදයක් කියන අදහස හරසුන් එකක් බවට පත් වෙලා.
• බෞද්ධ විචාර කලාවක් බිහි කරගත නොහැකි යැයි ඔබ පවසන්නේ කවර හේතු කාරණා මත පදනම් වෙමින් ද?
ගෝලීයකරණය වැනි සංකල්ප නිසා මුළු ලෝකය ම එකට බැඳිලා. එක ජාලයක් වෙලා තියෙන්නේ. ඒ හේතුව නිසා පෙරදිග හා අපරදිග සාහිත්‍ය වෙන් කරලා ගන්න උවමනාවක් නැහැ. එහෙම කළොත් අපි සීමා වෙනවා. විශේෂයෙන් නවකතාව කියන එක ගත්තොත් මෙය පැහැදිලි කරගත හැකියි.
මාර්ටින් වික්‍රමසිංහයන් කියන්නේ නවකතාව අපේ පැරණි සාහිත්‍යයෙන්, ජාතක කතා සාහිත්‍යයෙන් ගොඩනැඟුණා කියලයි. සමහරු කියනවා බටහිර නවකතාවෙන් ආභාසය ගත්තා කියලා. කෙසේ වෙතත් කුමන විචාර සංකල්ප තිබුණත් මේවා පෙරදිග, අපරදිග කියලා වෙන් කොට දක්වන්න බැහැ. මම ග්රැහැම් හෆ්ගේ ‘Essay on Criticism’ කියන කෘතිය පරිවර්තනය කළා. එය ඉතාම හොඳ, අගය කළ යුතු විචාර පොතක්. ග්රැහැම් හෆ් බොහොම මැදහත් විදියට සාහිත්‍ය විචාරයක් ඉදිරිපත් කරනවා. ඔහු පවසනවා විචාරයේ කොටස් දෙකක් පවතින බව. ඒ ආකෘතිමය විචාරය (Formal Criticism) සහ සදාචාරාත්මක විචාරය (Moral Criticism) යනුවෙන්. ඔහු එහිදී අදහස් කළේ. ස්වරූපය සහ අන්තර්ගතය කියන එක. අපේ සාහිත්‍යයේදී අපි දිගට ම කතා කරන එකක් තමයි බටහිර සහ පෙරදිග ක්‍රමවේද පිළිබඳ. ඒ දෙකේදීම සාහිත්‍ය විචාරයේ ස්වරූප ආකෘතිය හා අන්තර්ගතය යටතේ තමයි කතා කෙරෙන්නේ. ඒක ඇරිස්ටෝට්ලුත් කතා කළා. භරතත් කතා කළා. සමහර විචාරකයන් මෑතක් වන තුරුම වැඩි අවධානය යොමු කරනවා, ආකෘතික අංශයට. තවත් පිරිසක් අන්තර්ගතය කෙරෙහි අවධානය දක්වනවා. ග්රැහැම් හෆ් කියනවා Moral Criticism කිව්වම සදාචාරය විතරක් නොවෙයි. ඒකෙ අනෙක් පැත්තත් මේ විචාරයට ඇතුළත් වෙනවා කියලා. අන්තර්ගතය ගැන කතා කරද්දී තමයි එය සමාජයට සම්බන්ධ වෙන්නේ. ග්‍රැහැම් හෆ් අවසාන වශයෙන් යෝජනා කරන්නේ හොඳ විචාරකයා මේ දෙකෙහි එකතුවක්, සංයෝගයක් සාදාගත යුතු බවයි. නූතන සාහිත්‍ය විචාරයට හොඳ පදනමක් ඇතිවන්නේ එතකොට බවයි ඔහු පැවැසුවේ. මේ අදහස තමයි විචාර කලාව සම්බන්ධයෙන් මට තිබෙන්නේ.
• ඔබ විචාර ක්‍රමවේදය යන්නෙන් ආකෘතිය හා අන්තර්ගතය පිළිබඳ අවධානය යොමු කිරීමේදී සාහිත්‍ය විචාරයක් යන්නෙන් නිවැරැදි ව අදහස් වන්නේ කුමක්ද යන්න ගැන මට ගැටලුවක් ගොඩනැඟෙනවා.
ඒ ගැටලුව අපි හැමෝටම ගොඩනැඟිය යුතු ගැටලුවක්. විචාරය කියන්නේ නිර්මාණයක් ගැඹුරින් මැනවින් අවබෝධ කරගැනීමක්. ලේඛකයෙක් පොතක් ලියන්නේ ඒ කෘතියෙන් කිසියම් ආස්වාදයක්, වින්දනයක් පාඨකයාට ලැබෙයි කියන බලාපොරොත්තුවෙන්. පොත අවබෝධ කරගෙන ඒ වින්දනය ලබාගැනීමට විචාරකයා තරම් ප්‍රබුද්ධ නොවන පාඨකයාට අවකාශ සැලැස්වීමයි විචාරයේ අරමුණ. මේක හොඳ පොතක්, මේක නරක පොතක්, මේක ඇගැයිය යුතු කෘතියක් කීම නොවෙයි විචාරකයාගේ වගකීම ෙවන්නේ. කෘතියක අගයන් තියෙනවා නම් ඒ අගය ඉස්මතු කොටදී, ජීවිත අවබෝධය පුළුල් කරගැනීමට මෙමඟින් ලැබෙන පිටුබලය මතු කොට දීම තමයි සාහිත්‍ය විචාරකයාගේ වගකීම වෙන්නේ. ඒක කිරීමට හොඳ ම මාර්ගය තමයි ග්රැහැම් හෆ් කිව්වා වගේ අන්තර්ගතයේ සහ ආකෘතියේ සහසංකලනයක් විචාරකයා විසින් ගොඩනැඟීම. අපි මුලින් ම කිව්ව සමාජයේ සහසම්බන්ධතාවක් මීට ඇතුළත් වෙනවා. විචාරය කියන එකේ පුළුල් අර්ථය එයයි.
• අද විචාරකයන් හා විචාර කලාව පිළිබඳ ඔබගේ අදහස කුමක්ද?
අද විචාරකයා කියලා මිනිහෙක් නෑ. විචාර කලාව කියලා එකකුත් නෑ. පශ්චාත් නූතනවාදී විචාර කියලා කරන ඒවා තේරෙන්නෙ නැහැ. යුරෝපයේ එක එක අයගේ පොත්වලින් කරුණු එකතු කරගෙන ඒවා අපට ආරෝපණය කරන්න උත්සාහ ගන්නවා මිසක් අපට තේරෙන දෙයක් කරන්න උත්සාහ ගන්නේ නැහැ. විචාරයේදී නිර්මාණයේ සූක්ෂ්ම අංග හඳුනාගන්න ඕන. අද විචාර විධි ක්‍රම දෙකක් තියෙනවා. එකක් නිර්මාණයේ අගය දැනගෙන සූක්ෂ්ම ලෙස එය විචාරය කිරීමයි. අනෙක පළපුරුද්දෙන් විචාරය කිරීමයි. මගේ සියලු විචාර කෘතිවල මම අවධාරණය යොමු කළේ නිවැරදි විචාර කලාවකට අවශ්‍ය කරුණු පිළිබඳ විචාරකයා දැනුම්වත් කිරීමයි.
• මහාචාර්ය විමල් දිසානායකයනුත් වරක් ප්‍රකාශ කොට තිබුණා. පශ්චාත් නව්‍යවාදය කියලා වල්පල් දොඩවන්න එපා කියලා.
විමල් දිසානායක මහාචාර්යවරයත් එක්තරා කාලයක ඕව ගැන ලිව්වා. නමුත් දැන් නම් ඔහුට හොඳට ම තේරිලා ඉන්නේ. මේක වල්පල් දෙඩවීමක් තමයි. ඒ නිසා තමයි අලුත් විලාසිතාව ගොඩනැඟෙන්න කලින් ග්රැහැම් හෆ් කියන ලේඛකයා හැටේ දශකයේදී නිවැරදි ක්‍රමවේදයක් ගැන කියන්නේ. අපි ග්රැහැම් හෆ්ගේ පස්සෙ යන්න ඕන කියලා නොවෙයි මම කියන්නේ. මම නම් සාහිත්‍ය විචාරයේදී පෙරදිග අපරදිග කියලා වෙන් කරලා ගන්නෙ නැහැ; ඒ දෙකේ ම ආභාසය ලබනවා. හේතුව, අද සාහිත්‍යය ගෝලීයකරණය වෙලා තියෙන්නේ. අද සමාජයේ මිනිසුන්ගේ චින්තනයේ, නිර්මාණයේ, ලේඛනයේ, දේශීය, ශ්‍රී ලාංකික කියලා හුදෙකලා වීමක් ගන්න බැහැ. එහෙම තියෙද්දී කොහොමද දේශීය විචාර කලාවක් හදාගන්නේ?
මුලින්ම අපිට ස්වාධීන චින්තනයක් තියෙන්න ඕනෑ. අපි පෙරදිග අතීතයට හෝ බටහිරට ගැතිවීම අවශ්‍ය නැහැ. ස්වාධීනව චින්තනයක් ගොඩනැඟිය යුතු වෙනවා. නැතිව, වල්පල් කියවලා වැඩක් නැහැ.