
හාවේ වින්ස්ටීන්ට ප්‍රහාරයක්
චිත්‍රාගාර හිමිකරුවකු වන හාවේ වින්ස්ටීන්ගේ බලවත්කම සහ ධනවත්කම නිසාදෝ හොලිවුඩ්පුරයේ ජනප්‍රිය නිළියන් රැසක්ම ඔහුගේ අතවරවලට ලක්වුණා. පසුගිය මාස කිහිපය තුළ මේ ජනප්‍රිය නිළියන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ තමන් හාවේ වින්ස්ටීන්ගේ ගොදුරු බවට පත්වූ බවයි.
දස දෙසින් බරපතළ චෝදනා එල්ල වෙද්දී පසුගිය රාත්‍රියකදී මේ චිත්‍රාගාර අධිරාජ්‍යයාට පුද්ගලයන් දෙදෙනකුගේ ප්‍රහාරයට ලක් වන්නටත් සිදුවුණා. ඒ, ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ පිහිටි පැරඩයිස් වැලි නම් වූ සුපිරි අවන්හල තුළදීයි. එම අවන්හල තුළ රාත්‍රී ආහාර අනුභව කරමින් සිටියදී ඔහු වෙතට පැමිණි එක් අයකු ඉල්ලා සිටියේ තමන් සමඟ ඡායාරූපයකට පෙනී සිටින ලෙසයි. රාත්‍රි ආහාරය ගත් වින්ස්ටීන්, තම අසුනෙන් නැගී සිටියේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින්. එවිට ම, ඊළඟට සිදුවන්නේ කුමක්දැයි බලා සිටින්නැයි තම සගයාට පැවසූ එම පුද්ගලයා, වින්ස්ටීන්ට පහර දී තිබෙනවා. මේ පුවත වෙබ් අඩවි ඔස්සේ පළවී තිබුණත් වින්ස්ටීන්ගේ සහයකයකු පැවසුවේ එම ප්‍රවෘත්තිය අසත්‍ය එකක් බවයි.
පෙමක්ද මිතුදමක්ද?
කාම්බෝජයේ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයකු තමයි, ප්‍රාච්ලි. මේ සිනමාකරුවා සහ සුපිරි නිළි ඇන්ජලිනා ජොලී අතර අලුත් හාදකමක් ඇති වෙලාලු. හොලිවුඩ් මාධ්‍ය වාර්තා කර තිබුණු හැටියට නම් ප්‍රාච් සහ ඇන්ජලිනාගේ මේ සබඳකමට මුල පිරී ඇත්තේ මීට වසර එක හමාරකට පෙරයි.
ප්‍රාච් සහ ඇන්ජලිනාගේ ප්‍රේමය දැන් දිනෙන් දිනම අතු ඉති ලියලමින් වැඩෙන බවයි, හොලිවුඩයේ උකුසු ඇස් පවසන්නේ. ඔවුන් දෙදෙනා යසට කැපෙන ජෝඩුව කියලත් සමහරු කියනවාලු. ප්‍රාච් - ඇන්ජලිනා එකිනෙකා හඳුනාගත්තේ කාම්බෝජයේ ප්‍රවීණ සිනමාකරුවකු වන ලෝන් - අන් ගේ මාර්ගයෙන් බවයි තතු දන්නා අය කියා සිටින්නේ ප්‍රාච්, ඇන්ජලිනාගේ දරුවන් එක්ක කාලය ගත කරන්නත් හරිම කැමැතියිලු. මේ පෙම් පුවත ලෝකය වටේම පැතිරී ගියත් ඇන්ජලිනාගේ සමීප හිතවතුන් සහ හිතවතියන් පවසන්නේ ඇය සහ ප්‍රාච් අතර පෙම් සබඳකමක් නැති බවයි. 2016 සැප්තැම්බර් මාසයේ දී බ්‍රැඩ් පිට් ගෙන් වෙන්වූ පසුව ඇන්ජලිනා කිසිවකුටවත් පෙම් කළේ නැතැයි ද ඔවුන් පවසනවා. දෙදෙනා අතර තිබෙන්නේ මිත්‍රත්වයක් පමණක්ලු.
ට්‍රම්ප් ගේ අතීත ප්‍රේමයක්...
ස්ටෝම් ඩැනියල්ස් හොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නිළියක් නම් නොවෙයි. ඇය කාමුක චිත්‍රපට අධ්‍යක්ෂණය කරන, ඒවායෙහි රඟන නිළියක්. දැනට 38 වැනි වියෙහි පසුවන ස්ටෝමි, පසුගියදා ඇමෙරිකානු ජනාධිපතිවරයා පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළා. ඇය පැවසුවේ 2006 – 2007 අතර කාලයේදී එවකට 60 වියෙහි පසුවූ ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් සමඟ පෙම් සබඳකමක් පැවැත්වූ බවයි. ඒ ප්‍රේමණීය යුගයේදී සිදුවූ දේවල් නම් ඇය හෙළි කළේ නැහැ. නමුත් ඒ කාලයේදී දෙදෙනාගේ සබඳකම ශක්තිමත්ව තිබූ බවයි, මේ නිරූපිකාව පැවසුවේ. ට්‍රම්ප් සහ ස්ටෝමි අතර මේ සබඳකම තිබෙද්දී ට්‍රම්ප්, මෙලනියා සමඟ විවාහ වී සිටි බවත් පැවසෙනවා. ස්ටෝමි තවදුරටත් පවසන්නේ ට්‍රම්ප්, තමන්ට තට්ටු නිවාස සංකීර්ණයකින් නිවසක් ලබාදීමටත් ඔහුගේ ටෙලිනාට්‍යයක රඟපෑමට ඉඩ ලබා දීමටත් පොරොන්දු වූ බවයි.
ට්‍රම්ප්, තමන්ට මුල් වරට හමුවූයේ 2006 ජූලි මාසයේ නොවාඩා විවේක නිකේතනයේදී පැවැත්වුණු ගෝල්ෆ් තරගාවලියකදී බවත් ස්ටෝමි පැවසුවා. “එදා ට්‍රම්ප් මට රෑ කෑමකට ආරාධනා කළා. අපි රාත්‍රී ආහාරය ගත්තේ ට්‍රම්ප් එදා නැවතිලා හිටිය කාමරේදීයි. කෑමෙන් පස්සෙ එයා මගෙන් ඉල්ලා සිටියා මම රඟපාපු චිත්‍රපටයක් තිබුණු ඩී.වී.ඩී. එකක මගේ අත්සන යොදන්න කියලා” ස්ටෝමි එලෙස හෙළි කළේ වත්මන් ඇමෙරිකානු ජනාධිපතිවරයා එදා ජනප්‍රිය සිනමා නළුවකුව සිටියදී තමන්ට මුණ ගැසුණු හැටියි.
ලෙබනනය ‘ද පෝස්ට්’ තහනම් කරයි
සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ ස්ටීවන් ස්පිල්බර්ග් නිර්මාණය කළ අලුත්ම චිත්‍රපටය, ‘ද පෝස්ට්’. මේ සිනමා කෘතිය ලෙබනන රජය මඟින් එරට තුළ ප්‍රදර්ශනය කිරීම තහනම් කරන ලද බවයි වාර්තා වෙන්නේ.
70’ දශකය පසුබිම් කරමින් නිර්මාණය වූ ‘ද පෝස්ට්’ චිත්‍රපටයට පාදක වී ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය සහ වියට්නාම් යුද සමයට අදාළ තොරතුරු හෙළිකරන ‘ද වොෂින්ටන් පෝස්ට්’ පුවත්පතෙහි මාධ්‍යවේදියකුගේ අත්දැකීම්. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟන්නේ මෙට්ල් ස්ට්‍රීප් සහ ටොම් හෑන්ක්ස් ඇතුළු ප්‍රවීණ නළු නිළි පිරිසක්. ‘ද පෝස්ට්’ චිත්‍රපටය පසුගිය 18 දා සිට ලෙබනනය තුළ තිරගත කිරීමට නියමිතව තිබුණා. අරාබි රටවල් අතරින් ලෙබනනය සැලකෙන්නේ මාධ්‍යයට සහ කලා නිර්මාණවලට ඉඩ ලබාදෙන රටක් හැටියටයි. නමුත්, අනාචාරයට විවෘත වන අදහස් සහිත මෙන්ම ඊශ්‍රායලයට සහය දක්වන අදහස් ජනිත කෙරෙන චිත්‍රපට එරට තුළ තිරගත කිරීම නිතරම තහනමට ලක්වෙනවා.
පසුගිය වසරේ තවත් ජනප්‍රිය චිත්‍රපටයක් ලෙබනනය තුළ ප්‍රදර්ශනය කිරීම තහනම් කෙරුණා. ඒ, ‘වොන්ඩර් වුමන්’ චිත්‍රපටයයි. තහනමට හේතු වූයේ එහි ප්‍රධාන නිළිය වන ගාල් ගැඩොට් වසර 2 ක කාලයක් ඊශ්‍රායල් ආරක්ෂක හමුදාවෙහි සේවය කර තිබීමයි.