සුරංගනී ගීතයෙන් ලොවම දිනූ පොප් ගායක සහ රංගන ශිල්පී ඒ. ඊ. මනෝ­හ­රන් සමු­ගනී | සිළුමිණ

සුරංගනී ගීතයෙන් ලොවම දිනූ පොප් ගායක සහ රංගන ශිල්පී ඒ. ඊ. මනෝ­හ­රන් සමු­ගනී

ශ්‍රී ලාංකේය දෙමළ පොප් ගායක සහ රංගන ශිල්පී ඒ. ඊ. මනෝහරන් මහතා පසුගිය සඳුදා ( 22 ) දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර සිටි රෝහලේදී අභාවප්‍රාප්ත විය. සිලෝන් මනෝහර්, සුරංගනී මනෝහර් යන නම් වලින් ලොව පුරා ජනප්‍රියව සිටි මිය යනවිට 73 වියේ පසුවූ මෙම කලා ශිල්පියා ශ්‍රී ලංකාවේ උපත ලබා පසුව ඉන්දියාවේ වාසය කළේය. මෙම රටවල් දෙකෙහිම පුරවැසියකු වූ මනෝහරන් ඉන්දියානු සහ ශ්‍රී ලාංකේය චිත්‍රපට රාශියකටම රංගනයෙන් දායක වී තිබේ.

ඔහු ලොවපුරා ප්‍රසිද්ධව සිටින්නේ සිංහල දමිළ මිශ්‍ර පොප් ගායකයකු ලෙසිනි. ඔහු ගායනා කළ සුරංගනීට මාළු ගෙනාවා ගීතය එදා මෙදා තුර ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍ර යේ එකසේ ජනප්‍රියව පවතින ගීතයකි.

1964 ජෝ දේව් ආනන්ද් යාපනයේ නිපදවූ ප්‍රථම දමිළ චිත්‍රපටය වූ පාස නීලා ( Pasa Nila ) වීරයාගේ චරිතය රඟපාමින් සිනමාවට පිවිස භාෂා 5 කින් නිපදවූ චිත්‍රපට 260 ක පමණ රඟපා තිබේ. මානවන්, මාන්ගුඩි මයිනර්, එන් කෙල්වික්කු එන්නා බාතිල්, නාන් පෝට්ට සවාල්, ජායි ජායි, නීති බාති, ලොරි ඩ්‍රයිවර් රාජාකන්නු ( දමිළ ) ආවේෂම්( මලයාලම්) අරානි මන්තලු සහ චාට්ටානිකි කල්ලු ලීව් ( තෙළිඟු) ඔහු රඟපෑ ජනප්‍රිය සිනමා පට කිහිපයකි.

1972 ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයේ වෙළෙඳ අංශයේ නාට්‍ය නිෂ්පාදකවරයකු ලෙස පත්වීම් ලැබීය. එම කාලයේ සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම පොප් ශෛලියේ ගීත කලාවක් මෙරටට හඳුන්වා දුන්නේය. සූරිය ලේබලය යටතේ සුරංගනී ගීතය පටිගත කර තිබුණේ එම කාලයේය. 1973 දී යාපනයේ පැවැති විවෘත වේදිකාවකදී මනෝහරන් මහතා ඇමැති චෙල්ලයියා කුමාරසූරිය මහතා අතින් පොප් චක්‍රවර්තී යන නාමයෙන් පිදුම් ලැබීය.

1975-76 කාලයේ ලංකාව පුරා සුරාංගනී, චූඩ මාණිකේ සහ පටුමාමී යන ගීත සමඟ සිංහල සහ දෙමළ ගීත ගායනා කරමින් ප්‍රසංග මාලාවක් පැවැත්වූ අතර එක්සත් රාජධානිය, යුරෝපය, කැනඩාව, සිංගප්පූරුව, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ මලයාසියාව යන රටවලද සංගීත ප්‍රසංග පවත්වා ලොවපුරා ජනප්‍රියත්වයට පත්විය.

1977 දී හොඳම කතාවට හිමි ජනාධිපති සම්මාන දිනාගත් වාඩයි කාටෘ ( Vaaddai Kaatru ) සිනමා පටයේ වීරයා ලෙස රංගනයේ යෙදුනු මනෝහරන් ෂිවාජි ගනේෂන්, රජිනි කාන්ත්, කමල් හසන්, ධර්මේන්ද්‍රා වැනි ජනප්‍රිය සුපිරි නළුවන් සමඟ රංගනයේ යෙදීමට තරම් දක්ෂයකු විය.

කාලයක සිට වකුගඩු දුර්වලතාවයකින් රෝගීවුණු මනෝහරන් මහතාගේ අවසන් කටයුතු පසුගිය 24 වැනිදා ඉන්දියාවේ පැවැත්විණි.

Comments