
ජනප්‍රිය ගායන ශිල්පී කුමාරසිරි පතිරණ එදා සිය පුංචි පුතා වෙනුවෙන් ගැයු පුංචි පුතු මගේ ගීතය අදත් වසර විසි ගණනක් ගත වීත් රසිකයන් අතර එකලෙස ජනප්‍රියව පවතී. ඒ පුංචි පුතුත් අද තරුණයකු වී තාත්තා යන අඩි පාරේම ගමන් කරයි. ඔහු සිනෙත් මාලක. මේ තාත්තා පුතාලා අද එකම වේදිකාවේ ගීතවත් වෙමින් රසිකයන් අමන්දානන්දයට පත් කරති . මෙවර සඳවට රන්තරු විශේෂාංගයට එක්වු මොවුන් එකිනෙකා ගැන කී කතායි මේ.
පුතා පැරැණි දේත් රැකගෙන තමන්ගේ දෙයක් කරන්න හදන නවකයෙක්
ජනප්‍රිය ගායන ශිල්පී කුමාරසිරි පතිරණ
මම කැමති නැහැ තාත්තගෙ ගීත ගායනා කරන්න
සිනෙත් මාලක
• එදා ඔබගේ පුංචි පුතු අද තරුණ ගායකයෙක්.පුතාගේ මේ හැකියාව ගැන මොකද හිතෙන්නේ.
පුතා පළමු සී.ඩී. තැටිය කළේ වයස අවුරුදු නවයේදි. ඒකට නම දැම්මේ 'පුංචි පුතු' නමින්. සංගීතවත් කළේ මම. ඔහු විශාරද නන්දා මාලනී සහ මාලනී බුලත්සිංහල යටතේ සංගීතය හැදෑරුවා. මේ වන විට පුතා මා සමග සංගීත සංදර්ශනවලට සහභාගි වනවා. ඔහුට තියෙන්නේ මගේම හඬ. මම පුතාව දකින්නේ පැරැණි දේත් රැකගෙන තමන්ගේ දෙයක් කරන්න හදන නවකයෙක් ලෙසයි.
• ඔබ අසූව දශකයේ අග භාගයේ මෙරට වේදිකාවට නැතුවම බැරි ගායන ශිල්පියෙක්. එම අතීතය සිහිපත් කළොත්.
මම ගායන ක්ෂේත්‍රයට ඇවිත් වසර විසි හතක් ගතවුණා. එදා මෙදා තුර ගීත දෙසිය අසූවක් ගායනාකර තිබෙනවා. ඒ අතර සිතින් පතා ඉන්නම්, පුංචි පුතුමගේ, සැමදා ඔබ ළඟ ඉන්නම් ආදි ගීත රසිකයන් අතර අතිශය ජනප්‍රිය වුණා. එම කාලයේ ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායන ශිල්පියෙක් වුණා. දිනපතාම සංදර්ශන. අදවන විටත් ප්‍රසංග වේදිකාවට ආරාධනා ලැබෙනවා. නමුත් එදා තරම්ම ආරාධනා ලැබෙනවා අඩුයි.
• ඔබ ගයන බොහෝ ගීතවල සංගීතය, පද රචනය, තනු නිර්මාණය ඔබ සතුයි. මේ හැකියාව කලාකරුවකුට බොහොම කලාතුරකින් පිහිටන ගුණාංගයක්
මා ගයන ගීත බොහෝමයක සම්පූර්ණ අයිතිය මා සතුවුණේ පද රචනය, සංගීතය, තනුව සියලු අංශ මගේම වන නිසා. කියන්න සතුටුයි අද මගේ පුතාටත් ඔය හැකියාව තියෙනවා.පසුගිය කාලයේ මම ගීත විසි පහක් පමණ ගායනාකළා. ඒවායේ පද රචනය, සංගීතය, තනු නිර්මාණය කළේ මම.පුතා ගායනාකරන ආදරේ මල් පිපී, සීත රෑ සඳ පානේ,ඔබ දැන් හරි වෙනස් වෙලා ගීතවල සංගීතය, පද රචනය ඔහුගේ.
• ඔබ දෙදෙනාම එකවර සංදර්ශන සඳහා සහභාගි වූ විට කොහොමද ගීත තෝරා බේරා ගන්නේ..
මම කොහොමත් ගායනා කරන්නෙ මගේ ගීත. පුතා මගේ එක ගීතයක් පමණක් පළමුව ගායනාකර පසුව ඔහුගේ ගීත ගායනා කරනවා. ගොඩක් රසිකයන් පුතාගෙන් මගේ ගීත කියන්න කියා ඉල්ලුවත් ඔහු කැමැති ඔහුගේ ගීත ගායනාකරන්න. ඔහුට ඕනෑ තවත් කුමාරසිරි පතිරණ කෙනෙක් නොවී සිනෙත් මාලක කියන ගායන ශිල්පියා වන්නයි.මගේ දුව සත්මානි චතුරිකාත් ගායනයට දක්ෂයි. පසුගියකාලයේ දුවටයි පුතාටයි ආරාධනාවක් ලැබුණා චිත්‍රපට දෙකකට පසුබිම් ගීත ගායනා කරන්න. එළැඹෙන මැයි මාසයේදි අපි තිදෙනාම ඕස්ට්‍රේලියානු සංචාරයකට සහභාගි වීමේ බලාපොරොත්තුවක් තියෙනවා.
• කලකින් ඔබගේ නව ගීතයක් අසන්නට ලැබුණේ නැහැ..
දැනට වසර හතරකට පෙර සී.ඩී තැටියක් කළා. එය වෙළෙඳපොළට නිකුත්කළේ නෑ. පිටරට සංගීත සංදර්ශනවලට ගියවිට එම සීඩී තැටි අලෙවිකරනවා. එහි ඇතුළත් සිතේ පිරුණ ආදරේ, සොයුරකු සේ, වන්දනාවන් කරනු ඇයි ඔබ ගීත රසිකයන් අතර ජනප්‍රියයි.
• කුමාරසිරි පතිරණ පවුල අද කලා පවුලක් වෙලා..
ඇත්තටම අපේ පවුල අද කලා පවුලක් ලෙස හැඳින්විය හැකියි. පුතා මෙන්ම දුව සත්මානි ගීත ගායනා කරනවා. ඇයටත් හොඳ හඬක් තියෙනවා. බිරිය හැර අපි තිදෙනාම අද කලාවට සම්බන්ධයි. මම මගේ දරුවන්ට කියා තිබෙන්නේ ජනප්‍රියත්වය පසුපස නොගිහින් හොඳ නිර්මාණ කර රසිකයන් අතරට යන්න කියායි.
• සිනෙත් ගීත ගායනයට යොමු වූයේ කුඩාකල පටන්ද?
මම අපොස සා.පෙ දක්වා ජා-ඇළ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබා පසුව නුගේගොඩ සාන්ත ජෝසප් විදුහලෙන් උසස් පෙළ දක්වා ඉගෙනුම ලබනවා. වයස අවුරුදු නමයේදි සීඩී තැටියක් කළා.මේ දිනවල විශාරද විභාගයට සූදානම් වෙනවා.
• මොනවද මේ දවස්වල කරන අලුත් නිර්මාණ..
'නුඹෙ ආලකම්'නමින් මගේ පළමුවැනි මියුසික් වීඩියෝව මාර්තු මාසයේ එළි දක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. සංගීත ප්‍රසංගවලට සහභාගි වෙනවා. එයට අමතරව අපි පවත්වාගෙන යන ඇඩ්වර්ටයිසින් ආයතනයේ වැඩ කරනවා. ඔය වැඩත් එක්ක මේ දවස්වල කාර්ය බහුලයි.
• මොනවද දැන්වීම් ආයතනයෙන් සිදු කරන්නේ..
අපේ රටේ නිෂ්පාදනය කෙරෙන සිංහල චිත්‍රපටවල සහ වීඩියෝවල ප්‍රචාරක කටයුතු සිදුකරනවා.ඩී.වී.ඩී කවර නිර්මාණය, පෝස්ටර් නිර්මාණය ආදිය අපේ දැන්වීම් ආයතනය මගින් සිදුකරනවා. මේ සියල්ල සිදුවන්නේ මගේ අතින්.
• දැන්වීම් වැඩත් සමග කලා කටයුතු සඳහා විවේකයක් ලැබෙනවාද?
දැන්වීම් ආයතනයේ වැඩ නිසා මම බොහොම කාර්ය බහුලයි. ඒ නිසා කලා කටයුතු සඳහා නියැලෙන්න වෙලාව මදි. ඉඩක් ලැබෙන සෑම අවස්ථාවක හැකි උපරිම අයුරින් කලාකටයුතුවල නියැළෙනවා.
• ඔබ වෙනත් ගායනා ශිල්පීන්ටත් ගීත නිර්මාණය කරනවාද..
මා පදරචනය සහ සංගීතවත් කළ චිලී ගායනා කරන 'ලා රෝස' ගීතය රසිකයන් අතර ජනප්‍රියයි.මා ගායනාකරන ගීත සියල්ලමත් මා විසින්ම පද රචනය කර සංගීතවත් කළ ඒවා.
• කුමාරසිරි පතිරණ ගායන ශිල්පියාගේ පුතා වීම ඔබට කලාවට ඒමට පහසුවක් වුණා කිව්වොත්
මගේ තාත්තා ගායකයෙක් වීම කලාවට ඒමට පහසුවක් වුණා. අදටත් ඇතැම් කලාකරුවන් මාව හඳුන්වන්නේ කුමාරසිරිගෙ පුතා කියායි. නමුත් මම කැමැති නැහැ තාත්තගෙ ගීත ගායනාකරන්න. ගායනා කළත් තාත්තා වැඩිය ගායනා නොකරන ගීත තමයි මම ගායනා කරන්නේ. ඒ නිසයි දැන්වීම් ආයතනයක් පවත්වාගෙන ගියේ. අපි ප්‍රසංගවලට සහභාගිවුණත් රසිකයන්ගේ ඉල්ලීම තාත්තගේ ගීත ගායනා කරන්න කියායි. ඒ වෙලාවට මම කරන්නේ මම කුමාරසිරි පතිරණගේ පුතා කියා රසිකයන්ට හැඟවීමට එක ගීතයක් ගායනාකර ඉන් පසුව මගේ ගීත ගායනා කරන එකයි.
• වෙනත් ගායන ශිල්පීන්ට ගීත නොමැතිව අනුන්ගේ ගීත ගායනාකරද්දි ඇයි ඔබ පියාගේ ගීත ගායනා කිරීම ප්‍රතික්ෂේප කරන්නේ.
කලාවේ සිටින මවුපියන්ගේ දූ දරුවන් කලක් කලාවෙන් ඈත්ව සිටියේ රසිකයන් ඔවුන්ගෙන් මවුපියන්ගේ ගීත පමණක් ගායනාකරන ලෙස ඉල්ලන නිසා.දෙමවුපියන් නැති කාලෙට ගායනාකරනව වගේ නෙමෙයි දෙමවුපියන් ජීවත්ව සිටියදී ඔවුන්ගේ ගීත ගායනා කිරීම හොඳ දෙයක් නොවෙයි . මෑත කාලීනව බිහිවූ නව පරම්පරාව දෙමවුපියන්ගේ ගීත ගායනයෙන් මිදී තමන්ගේ ගීත පමණක් ගායනා කරන බවක් පෙනෙනවා. ඇත්තටම කියන්න සතුටුයි මම ඒ ගැන බොහොම සතුටුයි. අදවන විට ප්‍රසංග වේදිකාවෙදි රසිකයන් අපෙන් දෙමවුපියන්ගේ ගීත ඉල්ලන්නේ නැති තත්වයට පත්වෙලා. එයින් අදහස්වෙන්නේ රසිකයන් තේරුම්ගෙන තිබෙනවා දෙමවුපියන්ට පමණක් නෙවෙයි දරුවන්ටත් දෙයක් තිබෙනවා කියා.