
මතක ද අපි අත් පටලවන් නුවර වැව වටේ ගිය හැටි. බංකුවක් උඩ වාඩි වෙලා අපේ අනාගතය හදපු හැටි. කාටත් හොරෙන් හන්තානේ බලන්න ගිය හැටි. වේලාවකට නුඹ හරි මුරණ්ඩුයි. ඒ මුරණ්ඩුකම ට මම හරි ආදරෙයි. මම එහෙම කිව්වම නුඹ රවපු හැටි. සත්තමයි කාලය කොයි තරම් ගෙවී ගියත්, මේ නුවර වැව වටේ ඉන්න පෙම්වතුන් දැක්කම ඒ අතීතය කතාව අද ඊයේ වගේ මතකයට ආවේ.
සිහිනෙන් උන්නු කාලේ අද ඊයේ වාගේ සිහිවේ......මේ ගීතය ලියපු නදීර ශ්‍රී ඒකනායක විසින්මයි ගීතය ගයන්නෙත්. නදීරගේ මේ ගීතයට යූ ටියුබ්වල ඉහළ ප්‍රතිචාර ලැබෙමින් තියෙනවා. ඒ නිසාම අපි තීරණය කළා මේ ගීතය ගැන නදීර ඒකනායකගෙන් ම අහල දැනගන්න.
නුවර දුරාතීතේ
නුවර දුරාතිතේ
නවාතැන සඳැල්ලේ
ඔබ උන්නු තැනට ලංවී
හදවත සර සසැලේ......
හන්තාන කන්ද සදපාන වින්ද පෙර වාගේ ඇත බලා
ඔබේ ආදාරේ සද පාන වී හන්තානේ ඉතිරිලා
සිහිනෙන් උන්නු කාලේ
අද ඊයේ වාගේ සිහිවේ......
නුවර දුරාතිතේ
නවාතැන සඳැල්ලේ
ඔබ උන්නු තැනට ලංවී
හදවත සර සසැලේ....
මහවැලිය සිහිල ආදරේ ගලන පෙරවාගේ ඉතිරිලා
ඔබේ ආදරේ මල් පාට වී ගං දැලේ පීදිලා
සිහිනේ උන්නු කාලේ
අද ඊයේ වාගේ සිහිවේ......
පදරචනය, තනුව හා ගායනය: නදීර ශ්‍රී ඒකනායක
සංගීතය - සුරේෂ් මාලියද්ද
මේ වෙන කොට ගීත කොපමණ ගායනා කරල තියෙනව ද ?
සිංදු 17 ක් ගායනා කර තිබෙනවා. ඉන් හතරක් මියුසික් වීඩියේ කරලා තියෙනවා. මේ ගොඩක් ගීතවල පදරචනය වගේම සංගීතයත් මෙරට ඉන්න ප්‍රවීණයන්ගේ.
එතකොට ගම් පළාත ?
පොල්ගහවෙල
අධ්‍යාපනය හැදෑරුවේ ?
මහව විජයබා මධ්‍ය මහා විද්‍යාලයේ.
එතනින් එහාට මොකද වුණේ ?
මම කැම්පස් යන්න පාස් වුණා. ඒත් මම ගියේ නැහැ. මොකඳ මට ගුරුවරයෙක් වෙන්න ආස හිතුණා. ඒ නිසා පස්දුන්රට විද්‍යාපීඨයට ඇතුළත් වෙලා ඉංග්‍රීසි ගුරුවරයෙක් වෙන්න ඉගෙන ගත්තා. එහි ප්‍රතිඵලයක් විදියට දෙහිඅත්තකණ්ඩියේ පාසලක ඉංග්‍රීසි ගුරුවරයෙක් විදියට සේවය කරන්න අවස්ථාව ලැබුණා.
ඒ වුණාට අද ඔබ ගුරුවරයෙක් නෙවෙයි ?
ඔව් මම දැන් ශ්‍රී ලංකා පාර්ලිමෙන්තුවේ ඉංග්‍රීසි කතා පරිවර්තකයෙකු ලෙස සේවය කරනවා. ඊට අමතරව නීති විද්‍යාලයෙන් නීතිය හදාරල නීතිඥ සේවයෙත් යෙදෙනවා.
ඒත් එක්ක කොහොමද කලා කටයුතු කරන්නේ ?
මම පාසල් යන කාලෙත් සංගීතය හැදෑරුවා. උසස් පෙළටත් සංගීතය කලා. ටෝනි වීරතුංග මහත්මයගෙන් වගේම එරන්දිති කලායතනයෙනුත් සංගීතය ගැන ඉගෙන ගත්තා.ඒ වගේම මට සහජයෙන් ලැබුණු දක්ෂතාවයකුත් තිබුණා. ඒ නිසා තමයි ප්‍රවීණයන් එක්ක ඇසුරු කරන්න, මේ තරම් දුරක් එන්න අවස්ථාව ලැබුණේ.
මොනවද අනාගත බලාපොරොත්තු ?
මේ වසරේ ‘ශ්‍රී‘නමින් ප්‍රසංගයක් කොළඹදි පවත්වන්නත්, ඒ වගේම තවත් අලුත් සිංදු කිහිපයක් කරන්නත් සැළසුම් සකස්කර තිබෙනවා.
මේ තරම් දුර එන්න අතහිත දුන්නේ කවුද ?
සංගීත ගුරුවරු, මිතුරන්, දෙමවුපියන්, බිරිඳ සහ පවුලේ සැම