මුහුණු පොතෙන් එළි­යට ආ චිත්‍ර ශිල්පියා සමීර ගොඩ­පි­ටිය | සිළුමිණ

මුහුණු පොතෙන් එළි­යට ආ චිත්‍ර ශිල්පියා සමීර ගොඩ­පි­ටිය

මුහුණු පොතට බොහෝ දෙනා දොස්-පරොස් කීවත් ඒ තුළින් ජීවිතය ජයගන්නට වෙර දරන චරිතද සමාජයේ නැතුවාම නොවේ. එසේ තම හැකියාවන් මුහුණ පොත හරහා පිළිබිඹු කරමින් චිත්‍ර කලාවෙන් ඉදිරියට එමින් තරුණයකු ලෙස සමීර ගොඩපිටිය හැඳින්විය හැකිය. සමීර මේ වන විට පුවත්පත් ක්‍රීඩා මාධ්‍යවේදියකු ලෙසද තම හැකියාවන් පෙන්නුම් කරමින් සිටී.

පසුගියදා ජාඇළ K - Zone හිදී ආධුනික චිත්‍ර ශිල්පීන් 40 දෙනකුගෙන් පමණ සමන්විතව ‘මායම් නැති සායම්‘ නමින් පැවැති චිත්‍ර ප්‍රදර්ශනයේදී සමීර ඉදිරිපත් කළ පැන්සල පමණක් භාවිතයෙන් ඡායාරූපයක් චිත්‍රයට නඟන පෝට්‍රේට් චිත්‍රවලට ඉහළ ප්‍රතිචාරයක් ලැබිණි. ක්‍රිකට් ක්‍රීඩාවට තිබෙන උමතුව නිසා බොහෝ ක්‍රීඩකයන්ගේ ඡායාරූප චිත්‍රයට නැඟීමට ලොල් ගාල්ල තල්ගම්පල උපන් සමීර සමඟ කළ කතාබහකි මේ.

මෙවැනි චිත්‍ර කලාවකට යොමු වුණේ කොහෙම ද?

මෙහෙමයි, මම මුලින්ම පාසල් ගිය ගාල්ල ශ්‍රී ධර්මාලංකාර විදුහලේදී සහ ගාල්ල ශාන්ත ඇලෝසියස් විදුහල්වලදී විෂයක් ලෙස චිත්‍ර කලාව ප්‍රගුණ කළා. විජිතා ගුරු මෑණියන්ගෙන් තමයි මුලින්ම චිත්‍ර ඉගෙන ගත්තෙ. එහෙත් පැන්සලෙන් චිත්‍ර අඳින මේ චිත්‍ර කලාව පටන්ගෙන තවම අවුරුදු 3ක්වත් නැහැ. මුහුණු පොතේ මට විවිධ යහළුවන්ගෙන් නිර්මාණ දැකගන්න ලැබුණා. පස්සේ මටත් හිතුණා නිර්මාණ කරන්න. ඒක තවත් තීව්‍ර වුණා මට තියෙන ක්‍රිකට් පිස්සුව නිසා. ඒ නිසා මම ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ඡායාරූප චිත්‍රයට නැගීම ආරම්භ කළා.

. චිත්‍ර කලාවෙන් ඉදිරියට පැමිණි ගමන්මඟ කෙසේ ද?

ඇත්තටම මට තවම අවුරුදු 21යි. චිත්‍ර ඇඳීම කරගෙන යද්දී මෑතකදී මට ක්‍රීඩා මාධ්‍යවේදියෙක් ලෙස පුවත්පතකට සම්බන්ධ වෙන්න හැකියාව ලැබුණා. මුලින් ගාල්ලේ ක්‍රිකට් තරග තියෙනකොට මම ක්‍රීඩකයන්ගේ ඡායාරූප චිත්‍රයට නඟලා ගිහින් දෙනවා. ඒ තුළින් මට හුඟාක් ජාතික තලයේ ක්‍රීඩකයෝ හඳුනාගන්න හැකි වුණා. ඊට අමතරව මම බොහෝ සේ සමාජ අසාධාරණය මතුවන අවස්ථා චිත්‍රයට නැඟුවා. මම මේ වන විට චිත්‍ර විශාල ප්‍රමාණයක් ඇඳලා තියෙනවා. ඒ අතර විශේෂයි, මහේල, සංගා, අරවින්ද, රොෂාන් වැනි අයගේ චිත්‍ර. ඒ වගේම මම බොහෝ සෙයින්ම ආස කරන චිත්‍රයක් තමයි කෝලිගේ ආර්ට් එක.

. ඔබට චිත්‍ර ඇඳිමට හැකියාවක් තිබෙනවා යැයි හඳුනාගත් ආකාරය...

මට සහෝදර සහෝදරියෝ හයදෙනයි. ඉස්කෝලේ යන කාලේ මගේ අක්කා හොඳට චිත්‍ර අඳිනවා.මම දැක්කා. ඒ නිසාම මාත් විෂයක් විදියට හැදෑරුවා. ඊට පස්සේ පෝට්‍රේට් කරන්න පටන් ගත්තම මුල් කාලේ අඳින කෙනා නොවේ ඇඳුනේ. ඒත් මං එකම කෙනා 10 පාර ඇඳලා රූපය හඳුනාගන්න පුළුවන් ගාණට එනකල්ම අඳිනවා. එහෙම ආපු දාට මට ලොකු සතුටක්. කාලයක් යද්දී ඒ දේ හොඳටම හරි ගියා. අදටත් මං අංග සම්පූර්ණ නැහැ. මේ චිත්‍ර කියන දේ ඉගගෙන ඉවර කරන්න බැහැ. අපි දන්නේ මොනවද කියලා වෙලාවකට හිතෙනවා. ඒ නිසා මං තවමත් මට වඩා දක්ෂ කෙනෙක් වුණත් නැතත් එයාලගෙන් මට ගන්න දෙයක් තිබේනම් මං ගන්නවා. අපි නමට ලේබල් ගහගෙන සිටිය යුතු නෑ ආර්ටිස්ලා කියලා. කාලයක් යද්දි ඒ ලේබල් අපිට ඉබේටම ඇලවෙනවා අපි මේ දේ හොඳින් හැදෑරුවොත්.

. මේ කෙටි ගමන්මඟේදී ඔබට සවියක් වූයේ කවුරුන් ද?

මට මගේ පවුලේ අයගෙන් වගේම මුහුණු පොතේ හඳුනාගත් විශාල පිරිසකගෙන් ලොකු සහායක් ලැබෙනවා. විශේෂයෙන් ගාල්ලේ හර්ෂ අයියා. ඔහු මට මේ චිත්‍ර කලාවේ බොහෝ දේ කියා දුන්නා. මොකද මං බොහෝ දෙනෙක්ගෙන් මෙය ඉගෙනගන්න උදවු පැතුවා. කිසි කෙනෙක් සහාය දුන්නෙ නෑ. ඊට අමතරව වසන්ත සර්, චමිත් සර් ලොකු සහායක් දුන්නා. ඒ වගේම ඔස්ට්‍රේලියාවේ වෙසෙන කීත් අන්කල්, වර්නන් අන්කල්, ශාන්ත අයියා, වෛද්‍ය ධම්මික මහතා අවශ්‍ය උපකරණ එවමින් මාව දිරිමත් කරමින් මේ ගමනට සෑහෙන ලොකු ශක්තියක් දුන්නා. 

Comments