
ශ්‍රී ලංකාවේ සිංහල සිනමාවට වයස 71 ක් වෙනකොට ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවෙ වයස 46 කියල ඉන්ද්‍රචාප ගෙ සමීපරූප අතර පහුගිය සතියෙ ඇඳුණා. සංස්ථා උපන්දින සැමරුම වෙනුවෙන් පවත්වනව කියල තිබුණු උත්සවයෙ වැඩසටහන නොයෙක් ආකාරයේ ක්‍රියාකාරකම්වලින් පිරුණු එකක් බවත් ඉන්ද්‍රචාප සමීපරූප අතරින් දැක්කා. 19 දා පරිත්‍රාණ ධර්ම දේශනාව,20 දා හීල් දානමය පිංකම, 21 දා සැමරුම් උත්සවය රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ ඇමැතිතුමාගෙ ප්‍රධානත්වයෙන් හිටපු සභාපතිවරුන්ගෙ ඡායාරූප විවෘත කිරීම්, රුක් රෝපණය, අගමැතිණි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගෙ පිළිරුවට මල්දම් පැළඳවීම, 2017 ජාත්‍යන්තර සිනමා සම්මානලාභීන් ඇගයීම , පැට්‍රික් රත්නායක මහාචාර්යතුමාගෙ දේශනය, චිත්‍රපට සඟරාව ජනගතකිරීම, අජිත් ගලප්පත්ති විසින් සම්පාදිත දේශීය චිත්‍රපට නාමාවලිය ජනගතකිරීම, කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ කොටස් සහිත සිනමා වංශකතාව විග්‍රහකිරීම වගේ විසාල වැඩසටහනක්?
ඒත් වයස 71 ක මහලු සිංහල සිනමාවෙ අද දවස හෝ අනාගතය ගැනවත් මැදිවිය පසුකරන 46 හැවිරිදි සංස්ථාවෙ අනාගත වැඩපිළිවෙළ ගැනවත් මේ රටේ චිත්‍රපට නරඹන පිරිස් දැනුවත්වුණාද කියන ප්‍රශ්නෙ ළඟ ඉන්ද්‍රචාප නැවතිලා. පිරිත් දේශනා කිරීම, හීල් දානය දීම, රුක් රෝපණය ,සභාපතිවරුන්ගෙ ඡායාරූප විවෘතකිරීම් හා මෙකී නොකී කිසිවක් සිනමාවේ කාලයක් තිස්සේ නොවිසුඳුණු ප්‍රශ්නවලට පිළිතුරක් සපයන්නෙ නෑ කියල ඉන්ද්‍රචාප කල්පනාකරනවා. විශේෂයෙන්ම සිනමාශාලාවලින් ඉවත්ව යන ප්‍රේක්ෂාගාරය නෑවත කැඳවන්නේ කෙසේද, සංස්ථාවේ වර්තමාන චිත්‍රපට බෙදාහැරීමේ ක්‍රියාවලිය විධිමත් කොට, කලාත්මක නිර්මාණ පෝලිම්වල සිරකොට තබා නොගෙන ප්‍රේක්ෂකයන් වෙත ළං කරවීමට ගතහැකි ක්‍රියාමාර්ග මොනවාද, මහලු සිනමාවට තරුණ වෙසක් දීමට කළයුත්තේ කුමක්ද, සිනමාව අධ්‍යයනය, විචාරය වැනි ශාස්ත්‍රීය අංශ පිළිබඳ තරුණ සිනමාලෝලී ප්‍රජාවට ප්‍රයෝජනවත් දේශන ඇතුළු දින දෙක තුනක හෝ සම්මන්ත්‍රණයක් පැවැත්වීමට සංස්ථාව කල්පනා නොකළේ මන්ද යන්න ඉන්ද්‍රචාපගේ කනස්සල්ලට හේතු වී යැයි සටහන් කරමි. සිනමාවේ 71 වර්ෂ පූර්ණය හෝ සංස්ථාවේ 46 ජන්මදිනය සැමරීමේ වැඩපිළිවෙළෙහි සාධනීය අංගය ලෙස ඉන්ද්‍රචාප දකින්නේ ජාතික චිත්‍රපට නාමාවලියක් ජනගත කිරීම පමණි.
සංස්ථාවේ ඉදිරි ගමන්මග පිළිබඳ ලියන ලද අපූරු විග්‍රහයක් ඉන්ද්‍රචාපගේ සමීපරූපයට හසු විය. විග්‍රහය, කලක් චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරී ධූරය ද හොබවමින්, එහි පරිපාලනය හා කළමනාකරණය පිළිබඳ ප්‍රායෝගික දැනුමැති හා චිත්‍රපටකලාව හා විචාරය පිළිබඳ ප්‍රාමාණික දැනුමකින් යුත් ගාමිණී වේරගම විසින් 19 දා ලංකාදීපයට ලියන ලද්දකි. කලාත්මක චිත්‍රපට නිර්මාණය හා ඒවාට ප්‍රදර්ශන මණ්ඩල පහසුකම් ලබාදීම, චිත්‍රපට සංරක්ෂණය, බෙදාහැරීම, නව නිර්මාණකරුවන් හඳුනාගෙන ඔවුනට මූල්‍යාධාර ලබාදීම, සිනමා සංස්කෘතියක් බිහිකිරීමේ කාලීන අවශ්‍යතාව හඳුනාගැනීම, නිෂ්පාදකවරුන්, බෙදාහරින්නන්, ශාලාහිමියන් ඇතුළු පෞද්ගලික අංශය හා එක්වී රාජ්‍ය සංස්ථාවක් ලෙස සිනමාව වැනි ජනජීවිතයේ අවියෝජනීයව පැවැති කලාංශයක් පෙරදා තිබූ අසිරිමත් යුගය කරා ගෙන යාමේ යෝජනා වේරගම ලියවිල්ලෙහි වේ. වරින්වර මෙරට සිනමාව හා චිත්‍රපට සංස්ථාවේ සිදුවියයුතු වෙනස්වීම් පිළිබඳ විවිධ රජය විසින් පත්කරන ලද කමිටු වාර්තා තුළ නිර්දේශිත, එහෙත් මෙතෙක් ක්‍රියාත්මක නොවුණු යෝජනා රැසක් පිළිබඳ ගාමිණි වේරගම විග්‍රහයක යෙදෙමින් ඉල්ලාසිටින්නේ මේ මොහොත ගිලිහී යා නොදී රැකගන්නා ලෙසයි.
වර්තමාන සිනමාව කලාවක් හා කර්මාන්තයක් ලෙස පවත්වා ගෙන යා යුතු වන්නේ රජය හා පෞද්ගලික ව්‍යාපාරික යන මෙකී දෙ අංශයෙහිම මැදිහත්වීම සමබරව රැකගනිමින් බව අවධාරණය කළ යුතු වේ. 1972 දී මෙරට සිනමාව වෙනුවෙන් සංස්ථාවක් පිහිටුවමින් රජය මෙන්ම සිනමාවට සම්බන්ධ කලාකරුවන් ද අපේක්ෂා කළ අරමුණු කාලීන වෙනස්වීම් ද ලෝක සිනමාවේ නව ප්‍රවණතා ද හඳුනාගනිමින් නව මගකට අවතීර්ණ වීමේ අවශ්‍යතාව අද දවසේ ප්‍රමුඛ අවශ්‍යතාව බව සංස්ථාව කල්පනා කළයුතු කාලය එළඹ ඇතිබව ඉන්ද්‍රචාපගේ වැටහීමයි.