
රන්වල බලකාය ගැන අමුතු වෙන් හඳුන්වා දිය යුතු නොවෙයි. ලංකාවේ සිටි ප්‍රවීණ සංගීත වේදියෙක් වුණු ලයනල් රන්වලයන් ගොඩ නැගූ රන්වල පදනම මේ වන විට සාර්ථක ගමනක් යමින් සිටිනවා. ඔහුගේ පුත් සහන් රන්වල රන්වල පදනමේ නවතම තොරතුරු අප සමඟ බෙදා හදා ගත්තා. ලයනල් රන්වල මගේ පියා 2000 වසරේ දී ලංකාවේ පළමු වතාවට ජන ගී සහ ප්‍රාසාංගික කලා පාඨමාලාවක් ආරම්භ කළා.
එය අඛණ්ඩව වසර 18ක් පුරා රන්වල පදනම මඟින් පවත්වාගෙන ගියා. මේ වන විට ලංකාව පුරාම විවිධ ස්ථානවල මෙම පාඨමාලාව අරඹා තිබෙනවා. ගාල්ල, ගම්පහ, කුරුණෑගල, බත්තරමුල්ල අපේගම එම ස්ථානයි. අද (28) දවසේ බත්තරමුල්ල අපේ ගමේ දී මේ සඳහා අලුතින් දරුවන් බඳවා ගැනීමට අපි කටයුතු කර තිබෙනවා.
ජන ගී සහ කවි කත්නදර ගීත ගැන කියා දෙන වැඩසටහනක් සෙනසුරාදා , ඉරිදා දිනවල මෙම ස්ථානයේදී පවත්වනවා. ඒ වගේම අපේ ගයමු වැඩසටහනත් හැම මසකම අවසන් සෙනසුරාදා නිදහස් චතුරස්‍රයේ දී සවස 6.00ට පවත්වනවා. මේ කටයුතු සඳහා සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමිය ඇතුළු සැම දෙනාගෙන්ම වගේම ගුවන් හමුදාවේත් සහයෝගය ලැබෙනවා. අපි කවුරුත් රසවිදි ගීත එනම් ග්‍රැමෆෝන් යුගයේ සිට රින්ගින් ටෝන් යුගය දක්වා යුගයුග මුවමුව මුමුනන සිංහල ගී කෙත සදාහරිත ගී ,රන්වල මතුපරපුර එක්ක පවුල් පිටින් එක්ව ගයන්න එන්න කියල හැම දෙනාටම කියනවා.