මගේ ඉල­ක්ක­ය හොඳම නළුවා සම්මා­නයයි | සිළුමිණ

මගේ ඉල­ක්ක­ය හොඳම නළුවා සම්මා­නයයි

නව පරපුරේ දක්ෂ රංගන ශිල්පීන්ගේ ගොන්නට වැටෙන තවත් එක් රංගන ශිල්පියකු‍ ලෙස සුගත් ජානක හැඳින්විය හැකිය. මේ දිනවල දෙරණ නාළිකාවේ විකාශය කෙරෙන මුතුකුඩ ටෙලිනාට්‍යයේ ආබෲගේ චරිතය සුගත්ගේ රංගන හැකියාව මනාව පෙන්නුම් කරනවා. ඒ ගැන දැනගන්නත් එක්ක මෙවර රසඳුන කවරය හැඩකරන සුගත් සමග කතා බහ කරන්නට අපි අමතක කළේ නෑ.

*කොහොමද සුගත්.මොනවද මේ දවස්වල කෙරෙන අලුත් නිර්මාණ.

මේ දවස්වල දෙරණ නාළිකාවේ විකාශය කෙරෙන 'මුතු කුඩ' ,ස්වර්ණවාහිනියේ 'සුදු අඟුරු' සහ 'සිහිනයට මං ආදරෙයි 'ටෙලි නාට්‍යය විකාශය කෙරෙනවා. එයට අමතරව අඛිල සඳකැළුම්ගේ අම්මා චිත්‍රපටයේත්, ශ්‍රි වික්‍රමරාජසිංහ,දඬු කඳයි රන් කඳයි චිත්‍රපටවල රූගත කිරීම් සඳහා සහභාගි වෙනවා. අතුරු මිතුරු හරි අපූරු, කිඩ් නැප්, ඝරසර්ප වැනි චිත්‍රපට ඉදිරියේ තිරගත වෙන්න තිබෙනවා.

* මුතුකුඩ ආබෲ මේ දිනවල හරිම ජනප්‍රිය චරිතයක්.

මේ දවස්වල මුතු කුඩ ටෙලිනාට්‍යයේ හොඳම හරිය විකාශය කෙරෙන්නේ.අම්මෝ.යන යන තැන ආබෲට බැනුම්. සුද්දන්ට උදවුකරන රාජ ද්‍රෝහියෙක් ලෙසයි මේ චරිතය දිග හැරෙන්නෙ. ප්‍රතිචාර හොඳයි කියන්නෙ මම හොඳට රඟපානවා කියන එක. ඒ නිසා බැනුම් ඇහුවත් ඒවා සතුටින් බාර ගන්නවා.

*ඔබත් දැන් කලාවේ ප්‍රවීණයෙක්, පැමිණි ගමන් මග නැවත ආවර්ජනය කළොත්.

මම කලාවට සම්බන්ධවුණේ 1999. දැන් වසර වසර දහ නවයක් වෙනවා. මුලින්ම රඟපෑවේ කුලවි ලෝකනය ටෙලිනාට්‍යයේ. එදා සිට මේ දක්වා ටෙලිනාට්‍ය හැත්තෑවක පමණත් චිත්‍රපට 24කත් රංගනයෙන් දායක වී තිබෙනවා.

* රංගනයට ප්‍රවිශ්ඨ වී දශක දෙකකට ආසන්නවීත් තවමත් සම්මානයට පාත්‍ර වූයේ නැත්තේ ඇයි?

රංගනයට ප්‍රාදේශීය වශයෙන් නම් විවිධ සම්මාන හිමිවී තිබෙනවා. ඒත් ප්‍රමුඛපෙළේ සම්මාන උළෙලවලදී කිසිම සම්මානයක් ලැබී නෑ. එහෙම නොලැබුණා කියලා දුකක් නෑ.රසිකයන්ගෙන් ලැබෙන සම්මානවලින් පෙනෙනවා අපේ රටේ දක්ෂ රංගන ශිල්පීන්ගේ ගොඩේ මමත් ඉන්නවා කියල. ඒ ගැන සතුටුයි. ඒත් මට බලාපොරොත්තුවක් තිබෙනවා දවසක හොඳම නළුවාට හිමි සම්මානය ලබාගන්න. මම හිතනව ‍ඒ සම්මානය ගොඩක් ඈතක නෑ කියලා. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියා.

*සම්මාන නොලැබීම ගැන කලකිරීමකින්ද කතා කරන්නේ..

ඇත්තටම මට තියෙන්නේ කලාව ගැන තදින් වැලදිච්ච උණක්. ඒ උණ ලේසියෙන් හොඳ වෙන්නෙ නෑ. රංගනය ගැන කිසිම හැදෑරීමක් කරලත් නෑ. සම්මානය මගේ ආදරණීය රසිකයන්. ඒ අයගෙන් ලැබෙන සම්මානය හොඳටම ඇති. අපි රංගනයට ආවෙ කලාවට තියෙන ආසාව සහ ආදරය නිසයි. නමුත් අද බොහෝ නවක රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් එන්නෙ මුදලම බලාගෙන. එහෙම පිරිසක් සිටින කලාවේ මම යන්නෙ මටම ආවේණික අමුතු ගමනක්.ඒ ගමනේදි චරිත හඹාගෙන යන්නෙ නෑ. ලැබෙන ඕනෑම හොඳ චරිතයක් බාර ගන්නවා. කියන්න සතුටුයි මේ වනතුරු මට ලැබුණු හැම චරිතයක්ම යමක් කළහැකි චරිත.

* ඔබ රංගනයට සේම ගායනයටත් දක්ෂයි.

මට රංගනය වගේම ගායනයත් උපතින්ම ලැබුණු හැකියාවක්. ඒ නිසා මේ දෙකෙන්ම වැඩක් ගන්න ඕනෑනේ. ආර්ථික පැත්තෙනුත් රංගනයේ පමණක් නිරතවෙලා මදි. ඒ නිසයි ප්‍රසංග වේදිකාවලට සහභාගි වෙන්නේ. ඉදිරියේදි විදේශ සංචාර ගණනාවකට සහභාගිවෙන්න ආරාධනා ලැබී තිබෙනවා.

*හැමදාමත් අනුන්ගේ ගීත පමණක්ද ගායනාකරන්න අදහස් කරන්නේ.

දැනටමත් අලුත් ගීතයක් කරගෙන යනවා. එහි රූප රචනා ඉදිරියේදි කිරීමට නියමිතයි. ඒ සඳහා ලොකු මුදලක් අවශ්‍යයයි. ඒ නිසයි මෙතරම් ප්‍රමාද වුණේ. කොහොමටත් හැකි ඉක්මනින් ගීතය රසිකයන්ට අසන්නට සලස්වනවා.

*ඉදිරියේදි රංගනයෙන් ඈත් වී ගායනයට පමණක් නැඹුරුවේවිද?

කවදාවත් රංගනය අතහරින්නේ නෑ. මෙතෙක්කල් ආපු ගමනේ මගේ නම රැකගෙන බොහොම හෙමින් හැමදාම එකම ජනප්‍රියත්වයක් රඳවාගෙන පැමිණි ගමනක් මට තියෙන්නෙ. ඉදිරියේදිත් රංගනයට මූලිකත්වය දී ඉඩ ලැබෙන පරිදි ගායනය කරගෙන යනවා.

ඡායාරූපය - ශාන් රූපස්සර 

Comments