ප්‍රගීත්ගේ ආද­රෙයි මං සින­මා­හල් රැසක තිර­ගත වේ | සිළුමිණ

ප්‍රගීත්ගේ ආද­රෙයි මං සින­මා­හල් රැසක තිර­ගත වේ

දින කිහිපක් තිස්සේ තරුණයකු තමන් පසු පස එන්නේ යැයි මල්මි ට දැනෙන්නීය. එහෙත් ඇය ඒ කිසිවක් නොදැනු නා සේ සිටීමට උත්සහ කළද ඊට ඇය අපහොසත් වන්නීය. හිරිමල් තාරුණ්‍යයේ පසු වන මල්මි තමන් පසු පසින් එන තරුණයා ගෙන් මඟහරින්ට බොහෝ සේ උත්සහ කළ ද එය සාර්ථක වන්නේ නැත. ධනවත් පවුලක එකම දරුවා වන පවන් ද නීති විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන්නේය. තාරුණ්‍ය යෙත් කඩවසම් පෙනුමෙනුත් යුතු පවන් ද මල්මි ගේ ආදරය අතහරින්ට සූදානම් නැත. කොයි තරම් බාධක ආවද ඊට නොසැ‍ලෙමින් පවන් මල්මිගේ ආදරේ දිනා ගන්නා අකාරය රැගත් ‘ආදරෙයි මං‘ ප්‍රේමණීය සිනමා පටය මේ දිනවල රිත්මා මණ්ඩලයේ සිනමාහල්වල ඇතුළු සිනමාහල් රැසක සාර්ථක ලෙසින් තිරගතවෙමින් තිබේ.

ධර්මයුද්ධය සිනමා පටයේ තිරරචකයා වන ප්‍රගීත් රත්නායකගේ කුලුඳුල් සිනමා පටය වන ආදරෙයි මං ඔහුගේම නිෂ්පාදනයක් හා අධ්‍යක්ෂණයක් වීමද මෙහි ඇති සුවිශේෂත්වය යි. මෙහි පවන්ගේ චරිතයට ප්‍රගීත් රත්නායක ම පණ පොවන අතර මල්මි ගේ චරිතයට චතුරිකා පීරිස් රංගනයේ නියැලෙන්නීය. ප්‍රවීණ නළු නිළියන් රැසකගේ රංගනයෙන් හැඩගැන්වී ඇති මෙහි සංගීත අධ්‍යක්ෂකවරයා ලෙස ප්‍රවීණ සංගීත හා ගායන ශිල්පී ආචාර්ය වික්ටර් රත්නායක මහතා කටයතු කරයි. රසිකයන්ගේ සිත් ඇඳ බැඳ තබාගන්නා මිහිරි ගීත හයක් වික්ටර් රත්නායකයන් ගායනා කරනු ලබන අතර උරේෂා රවීහාරි ගායන ශිල්පිනිය යුග ගායනයෙන් එක්ව සිටින්නීය.

නුවන් කොඩිකාර


කප්තුරු ගී සර මීගමුවේ දී

පොල් ආශ්‍රිත උපස්තර අපනයනකරුවන්ගේ සංගමය ඉදිරිපත් කරන ‘කප්තුරු ගී සර’ සංගීත ප්‍රසංගය පෙබරවාරි 03 වැනි සෙනසුරාදා සවස 6.00 ට මීගමුවේ ආවේ මරියා ශ්‍රවණාගාරයේදී පැවැත්වෙයි. අමරසිරි පීරිස්, කසුන් කල්හාර, සමිතා මුදුන්කොටුව සමඟ ශෂිකා නිසංසලා ගී ගයන මෙම ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය රෝහණ වීරසිංහ විසින් සිදු කෙරෙයි.

ගිරිරාජ් කෞෂල්‍ය සහ ප්‍රියන්ත සෙනෙවිරත්න විසින් ඉදිරිපත් කරන හාස්‍ය රසාංගයකින් ද රසවත් වන මෙම ප්‍රසංගයේ නිර්මාණ අධ්‍යක්ෂණය පුෂ්කර වන්නිආරච්චි විසිනි. කථනය කැලුම් ශ්‍රීමාල් විසින් සිදුකරනු ලබන අතර සම්බන්ධීකරණය අසංග පොන්නම්පෙරුම විසිනි.


සිංහල සිනමාවට 71යි

බුද්ධිගෙන් විජයබා කොල්ලය

ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදකවරයකු වූ බුද්ධි කීර්තිසේන සිංහල සිනමාවේ 71 වැනි ජන්ම දිනය යෙදුණු පසුගිය 21 වැනිදා උපන් දින තිළිණයක් ලෙස ‘විජයබා කොල්ලය රිදී තිරයට ගෙන ඒමට සූදානම් වේ. මෙහි අධ්‍යක්ෂණය සඳහා තෝරාගෙන ඇත්තේ සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයි. සාහිත්‍ය කීර්ති ඩබ්ලිව්. ඒ. සිල්වා ශූරීන්ගේ ජනප්‍රිය ඓතිහාසික නවකතාවක් වූ විජයබා කොල්ලය ඇසුරෙන් තිරනාටකය රචනාකර ඇත්තේ ආචාර්ය තිස්ස අබේසේකරයි. මෙය තිස්ස රචනා කළ අවසන් සිනමා තිර නාටකය වේ. සිනමාවේ 71 වැනි උපන්දිනය යෙදුණු ජනවාරි 21 දා බම්බලපිටියේ මථුර අවන්හලේ දී විජයබා කොල්ලය ආරම්භ වුයේ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න සහ සිනමාවේ ජ්‍යෙෂ්ටතමයන් වන සුමිත්‍රා පීරිස්, රවීන්ද්‍ර රන්දෙණිය , නන්දා මාලිනී, ශ්‍රියාණි අමරසේන ආදීන්ගේ ප්‍රධානත්වයෙනි.


2018 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානයට ග්‍රන්ථ භාර ගැනේ

2018 වර්ෂයේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයට 2017 වර්ෂය තුළ ප්‍රකාශිත ග්‍රන්ථ සමීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය විධි විධාන මේවන විට සම්පාදනය කොට ඇත. සමීක්ෂණ සඳහා 2017 වර්ෂයේ රාජ්‍ය ලේඛනාගාරය තුළ ප්‍රථම මුදුණය ලෙස ලියාපදිංචි කරන ලද සියලු ග්‍රන්ථ සලකා බලනු ලැබේ. මෙම ග්‍රන්ථ සමීක්ෂණ ක්‍රියාවලිය වඩා විධිමත්ව හා කාර්යක්ෂමව කිරීමේ අරමුණෙන් ලේඛක ලේඛිකාවන්ට හා ග්‍රන්ථ ප්‍රකාශක භවතුන්ට සෘජුවම ග්‍රන්ථ භාරදීම සඳහා අවස්ථාව සලසාදීමට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලය තීරණය කර ඇත. ස්වතන්ත්‍ර නවකතා, ස්වතන්ත්‍ර කෙටිකතා, ස්වතන්ත්‍ර පදය කෘති, ස්වතන්ත්‍ර ගීත රචනා සංග්‍රහ, ස්වතන්ත්‍ර නාට්‍ය,ස්වතන්ත්‍ර විද්‍යා ප්‍රබන්ධ ළමා සාහිත්‍ය කෘති, ශාස්ත්‍රිය හා පර්යේෂණ පරිවර්තිත කෙටිකතා, පරිවර්තිත පද්‍ය කෘති යන ශීර්ෂ යටතේ ග්‍රන්ථ සමීක්ෂණය සිදු කෙරේ. ඒ අනුව 2017 වර්ෂයේ ජනවාරි 01වැනි දින සිට එම වර්ෂයේ දෙසැම්බර් 31 වැනි දින දක්වා වු කාලය තුළ පළමුවරට මුද්‍රණය කොට ප්‍රකාශනයට පත්කරන ලද පිටු 48ට වඩා වැඩි ග්‍රන්ථ එක් ග්‍රන්ථයකින් මුද්‍රිත පිටපත් දෙක බැගින් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව වෙත භාරදීමට ලේඛක ලේඛිකාවන්ට හා ග්‍රන්ථ ප්‍රකාශකභවතුන්ට පුළුවන. මෙම ග්‍රන්ථ සාහිත්‍ය උත්සව සංවිධායක අංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව 08වන මහල, සෙත්සිරිපාය,බත්තරමුල්ල යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ ගෙනවිත් භාරදීමට පුළුවන. ග්‍රන්ථ බාරගැනීමේ අවසාන දිනය 2018 පෙබරවාරි 15වැනිදාය. මේ සම්බන්ධ තොරතුරු 0112872032, 0112872031 යන දුරකථන ඇමතීමෙන් වැඩි විස්තර ලබාගත හැකිය. - ජයන්ති කුරේ

Comments