පවුල වෙනු­වෙන් රංග­න­යෙන් ඉව­ත්වෙ­නවා | සිළුමිණ

පවුල වෙනු­වෙන් රංග­න­යෙන් ඉව­ත්වෙ­නවා

මේ අවුරුද්ද මුලදීම අපි ආදරේ කරන රංගන ශිල්පිනියන් කිහිප දෙනකුටම මංගල සීනු හැඬවුණා. සොහොයුරිය නිසා රංගනයට ආව බුවනිත් හදිසියේම විවාහ ගිවිසගෙන කියලා අපිට ආරංචි වුණා. ඒ ආරංචිය ඇත්තක්. බුවිනි චාපා දියලගොඩ පසුගියදා විවාහ ගිවස ගත්තා. මේ ඒ පිළිබඳව බුවිනි රසඳුන තුන්වැනි පිටුවට කිව්ව ඇගේ ආදර කතාවයි.

බුවනිටත් ජීවිතේ අලුත් පිටුවක් පෙරළුණා?

ඔව්. ඕනෑම ගැහැනු ළමයකුට පුංචි කාලේ ඉඳන්ම හීනයක් තියෙනවානේ තමන්ගේ විවාහය සම්බන්ධව. මටත් ඒ හීනය ඒ විදියටම තිබුණා. ඉතින් ඒ හීනේ එක කොටසක් සම්පුර්ණ වුණා. ඒ විවාහ ගිවිසගැනීම. මැයි මාසේදී විවාහ උත්සවය ගන්න ප්ලෑන් කරගෙන යනවා.

බුවනිගේ අතගත් වාසනාවන්තයා ගැන කියමුකෝ?

එයා කසුන් දේවීන්ද ගාල්ලගේ.

බුවනිට කසුන්ව මුණ ගැසෙන්නේ ?

එයාගේ ගම මෙහෙ නෙමෙයි. එයාගේ මුල් ගම පොලොන්නරුවේ මැදිරිගිරියේ. නමුත් ඔවුන් පදිංචිවෙලා හිටියේ කොළඹ. ගෙවල් තිබුණේ අපේ ගෙවල් ළඟ.ඒත් මම කවදාවත් කසුන්ව දැකලා තිබුණේ නැහැ. නමුත් එයා මාව දැකලා තිබුණා. ඔහොම ගිහින් තමා අපි දෙන්නගේ සම්බන්ධය පටන් ගත්තේ.

ඔය දෙන්නගේ ආදරේට කොච්චර කාලයක් වෙනවද?

ආදරේට මහා ලොකු කාලයක් නැහැ. මාස 5 ක් වගේ කාලයක්.

මේ ලැබුණු කෙනා තමන්ගේ ජිවිතේ සහකරුවා කරගන්න මොනවද තිබුණු සුදුසුකම්?

මම හිතන්නේ මම පතපු සහකාරයා මට ඒ විදියටම හම්බ වුණා. මම කවදාහරි මගේ සහකාරයා කරගන්න කෙනාගෙන් බලාපොරොත්තු වුණ හැම ගුණාංගයක්ම කසුන් ළඟ තිබෙනවා. ඒ කිව්වේ මම විශේෂයෙන් බලාපොරොත්තු වුණා මට අසීමිත ආදරයක්, ඊට පස්සේ ආරක්ෂාව, රැකවරණය මේ හැම දෙයක්ම එයා ළඟ තිබුණා. චුට්ටක් තරහත් යනවා එයාට. මම ඒකටත් ගොඩක් කැමැතියි. ඒ වගේම කසුන්ගේ පවුලේ අය හරි ආදරණීයයි. ඒ හැම දෙයක්ම මම බලාපොරොත්තු වුණු විදියට මට ලැබුණා. ඒ වගේම එයාට ගොඩක් මාව විශ්වාසයි. ඒ දේවල් ඕනෑම කෙල්ලෙක් බලාපොරොත්තු වෙන දේවල්. මට ඒ දේ කසුන්ගෙන් අඩුවක් නැතිව ලැබුණා සහ ලැබෙනවා. ඒ දේවල් තමා තිබුණු සුදුසුකම්.

කසුන් ඔබට කැමැති වෙන්න ඇත්තේ ඔබ නිළියක් නිසා වෙන්න ඇති?

එයාට ඇත්තටම මම රංගන ශිල්පිනියක් කියන කාරණාව අදාල වුණේ නැහැ. මොකද එයා ගොඩක් කල් ඉඳන් මං ගැන අවධානයෙන් ඉඳලා තියෙනවා. ඉතින් එයා මාව හම්බ වෙනකොටත් මට කිව්වේ, “ඔයා රඟපානවා කියන එක මට අදාළ නැහැ. රංගන ශිල්පිනියක් කියන භූමිකාව මාත් එක්ක මගේ ගෙදර අයත් එක්ක ඉන්නකොට අමතක කරන්න ඕන. මම කැමැති මගේ ගෙවල් ළඟ හිටපු ගැහැනු ළමයාට මිසක් නිළියකුට නම් නෙවෙයි” කියලා.

මුලින්ම ආදරේ ප්‍රකාශ කළේ බුවනිද?

නෑ නෑ. අපි ආදරේ ප්‍රකාශ කරන්න කලින් යාළුවෝ වගේ මාස 2 ක් විතර කතා කළා. ඊට පස්සේ මුලින්ම ආදරේ ප්‍රකාශ කළේ කසුන්.

බුවනිට ආදරෙයි කියූ දවසේ විශේෂ මොනවහරි ලැබෙන්න ඇති නේද?

ආදරේ ප්‍රකාශ කළේ හම්බ වෙලා නෙමෙයි. ෆෝන් එකෙන්. හැබැයි ඒ ආදරේ ප්‍රකාශ කරන්න කලින් අපි දෙන්න වතාවක් දෙවතාවක් හම්බ වුණා. ඒ හම්බවෙනකොට මෙයා මට මුලින්ම ගෙනත් දුන්නේ දොදොල්. ඊට පස්සේ තමා ආදරේ ප්‍රකාශ කළේ.

බුවනිත් ආදරේ ගෙදරට හැංගුව ද?

ගෙදරට කියන්නේ නැතිව අපි මාසයක් දෙකක් විතර ආශ්‍රය කළා. ඊට පස්සේ එයාම ඇවිල්ල අපේ ගෙදර අයත් එක්ක කතා කළා. පස්සේ එයා එයාගේ ගෙදර අයට කිව්වා. හරි පිළිවෙළට , ක්‍රමානුකුලව ඒ වැඩේ චාරිත්‍රනුකුලව එයා කළා. ඒ ගරුත්වය එයට දෙන්න ඕන. එයා හරි ලස්සනට ඒ වැඩ ටික සැලසුම් කරගෙන කළා.

කසුන්ගේ ගෙදරින් බුවනිට කැමැත්ත ලැබෙයි කියලා විශ්වාසයක් තිබුණද?

කසුන්ගේ ගෙදර ගැන පොඩි බයක් තිබුණා. කැමැතිවේ දෝ අකැමැතිවේ දෝ කියලා. හැබැයි මගේ තියෙන වාසනාවකට සහ කසුන්ගේ අම්මයි තාත්තයි හරි දැන උගත්, බුද්ධිමත්, දරුවෝ ගැන හිතන, සමාජය ගැන දන්න දෙමාපියෝ දෙන්නෙක්. ඉතින් ඒ අය හරි ඉක්මනින් මාව තේරුම් ගත්තා, අවබෝධ කර ගත්තා. ඒ අයට මම ඒ අයගේම දුවෙක් වගේ. වාසනාවකට සහ ඒ අයගේ දැනුවත් භාවයත් එක්ක ඇත්තටම කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒ අය එයාලගේ පවුලට මාව පිළිගත්තා සහ භාර ගත්තා. ඒ ගැන ගොඩක් සතුටු වෙනවා.

මේ දිනවල බුවනිව පුංචි තිරයේ දකින්න ලැබෙන්නේ නැහැ?

ඔව්. මම රංගන කටයුතු වලින් චුට්ටක් අයින් වුණා. මොකද මේ වැඩ කටයුතුත් එක්ක ඒ දේවල් කරන්න බැරි නිසා. මේ වෙනකොට නම් කිසිම වැඩක් භාර ගන්නේ නැහැ. මම හිතන්නේ මම දීර්ඝ නිවාඩුවක් අරගන්නවා.

විවාහයත් එක්ක ඔබ සම්පුර්ණයෙන්ම රංගන කටයුතුවලින් ඈත් වේවීද?

සම්පුර්ණයෙන්ම කියන්නේ කොහොමත් විවාහ ජීවිතයි, කලාවයි කියන දෙක එකවර කරන්න අමාරුයි මට. මම හිතන්නේ බොහෝ දුරට එහෙම වෙයි.

ඒ ගත්ත තීරණය ඔබට කරන අසාධාරණයක් නේද? දුකක් නැද්ද ඒ ගැන

දුකයි. මොකද මම කලාවට හරි ආදරෙයි. ඒක හැමදාමත් මැරෙනතුරු තියෙනවා. ප්‍රේක්ෂකයින් ගෙන් මට ලැබුණු ආදරය කියන්න බැහැ. ඒ ආදරයට මම ආදරෙයි. නමුත් අපිට දෙයක් වෙනුවෙන් තවත් දෙයක් කැප කරන්න වෙනවා. මට කලාවට සමු දෙන්න සිදු වෙලා තියෙනවා. නමුත් මම හරි සතුටින් ඒ දේ කරනවා මගේ පවුල වෙනුවෙන්. මට ප්‍රේක්ෂකයින්ගෙන් ලැබුණු ආදරේ කලාවෙන් ඈත් වුණා කියලා මට නැති වෙයි කියලා හිතන්නේ නැහැ. මොකද ඒ අයගෙන් ලැබුණු ආදරේ අප්‍රමාණයි. ඒ ආදරේ හැමදාමත් මගේ ළඟ තියෙයි.

ඔබ විවාහයට ඉක්මන් වුණා වැඩියි කියලා හිතෙන්නේ නැද්ද?

ඔව්. තව කාලයක් ඉන්නත් තිබුණා. ඒ වුණාට ඉතින් මෙහෙම හිටියත් ඔයදේම නේ වෙන්නේ. ඒක නිසා මටයි කසුන්ටයි වැඩිය ගෙවල් දෙකෙන් දෙමාපියෝ කැමැති වුණා මේක ඉක්මනින් කරන්න. හැමෝගෙම සතුට වෙනුවෙන්, අපි දෙන්නගේ සතුට වෙනුවෙන් අපි දෙන්නත් ඒකට කැමැති වුණා.

 

ඡායාරූප ඉවෙන්ට් මීඩියා ෆෝටෝග්‍රැ‍පි

Comments