පප්පා නම් දවල් වෙන තුරු­වත් නැගි­ටින එකක් නෑ | සිළුමිණ

පප්පා නම් දවල් වෙන තුරු­වත් නැගි­ටින එකක් නෑ

අද ජනවාරි පළවෙනිදා. අලුත් අවුරුද්දක් උදා වෙන දවසට අපේ ගෙදර කොහොමටත් කාර්ය බහුලයි. අපේ ගෙදර කියලා කිව්වට තව පැය තුන හතරක් යන තුරු අපේ මම්මා විතරක් කාර්ය බහුලයි. මම්මා පාන්දරම නැගිටගෙන කුස්සියේ වැඩ කරමින් හිටියත් අනිත් හැමෝම තවමත් සීතලට ගුලි වෙලා නිදි. කවුරු දවල් වෙන තුරු

නිදා ගත්තත් මට උදෙන්ම ඇහැරෙනවා. මම පුරුදු විදියට හෙමින් හෙමින් කුස්සියට ගියා. ඒ මගේ හැටි. වැඩ කරමින් ඉන්න මම්මට බාධාවක් නොවෙන්න කුස්සියෙ පැත්තක තිබුණු හාන්සි පුටුව උඩ ගුලි වෙලා සිටියත් මේ වන තුරුත් මම්මා මාව දැක්කෙ නෑ. දෙසැම්බර් ජනවාරි මාස වල කොහොමටත් උඩරටට දැනෙන තද සීතල මේ දවස් වල නොඅඩුවම දැනෙනවා.

අනිත් හැමෝම උණුසුම් කබා ඇඳගෙන හිටියත් මොන තරම් සීතලකදි වුණත් මම උණුසුම් කබායක් අඳින්න ආස කරපු කෙනෙක් නෙමෙයි. සීතල මැකෙන්න අත් දෙක පොරවගෙන හාන්සි පුටුව උඩ ගුලි වෙලා ඉන්න මට, මම්මා කරන කියන දේවල් බලන්න ලොකු ආසාවක් තිබුණා. අපේ මම්මා කොහොමටත් හරි කඩිසරයි. මම්මා කරන කියන හැම දේකම අපූරු ලස්සනක් තිබුණා. ඒක ගැහැනු ලස්සනක්. නිදන ඇඳුමට උඩින් දේදුනු පාට වලින් හැඩවුණු උණුසුම් කබායක් ඇඳ ගත්තු මම්මා ළිප ළඟට වෙලා

ලොකු බත් මුට්ටියක් හැඳි මිටෙන් කූරු ගාමින් හිටියා.

කිරිබත්... ජනවාරි පළමුවැනිදට නෙමෙයි. හැම විශේෂ දවසකම මම්මා කිරිබත් උයන්න පුරුදු වෙලා හිටියා. අද විශේෂතා දෙකයි. ජනවාරි පළමුවැනිදා වගේම අනිත් අමතක කරන්න බැරි කාරණය අක්කගෙ බර්ත් ඩේ එක. අක්කා වාසනාවන්තියක් කියලා මට හැමදාමත් හිතුණා. ජනවාරි පළවෙනිදටම උපන් දිනය සමරන්න ලැබෙන එකත් කෙනකුට ලැබෙන සුළුපටු වාසනාවක් නෙමෙයි. කුස්සියෙ තිබුණු මේසෙ උඩ ලොකු වට්ටියක් තිබුණා. ඒ වට්ටියෙ කෙසෙල් කොළ අතුරලා තිබුණා. කෙහෙල්

කොළේ උඩ සුදුම සුදුපාට කිරිබත අතුරද්දි දකින්න ලැබෙන ලස්සන, මම්මා කිරිබත් හදන හැම වෙලාවෙම මම බලාගෙන ඉන්නවා. ඒ ලස්සන ගැන කියන්න වචන ගොඩක් හිතට ආවත් කවදාවත් ඒ වචන කටින් පිට කරන්නවත්, දිනපොතේ ලියන්නවත් මට හිතුණෙ නෑ. මම්මා ළිපේ තිබුණු ඇවිලෙන දර එළියට ඇදලා නිවා දාන්න උත්සාහ කරද්දි තරු කැට වගේ ගිනි පුපුරු විසි වෙන හැටි මං බලාගෙන හිටියා. ඊළඟට මම්මා රෙදි කෑල්ලකින් අල්ල ගත්ත කිරිබත් මුට්ටිය මේසෙ උඩින් තිබ්බා. ඇය මාව දැක්කෙ ඒ වෙලාවෙයි.

“ලීනා නැගිටලා. ”

කිරිබත් මුට්ටිය පරෙස්සමට තියපු මම්මා මා ළඟට ආවා.

“ඔන්න මම කිරිබත් හදනවා. ලීනා කිරිබත් කන්න ආසයිනෙ.”

මම්මා පහත් වෙලා මගේ ඔළුවට හාදුවක් දුන්නා.

“චුට්ටක් ඉන්න. තව ටිකකින් මං තේ හදලා දෙන්නම්.”

මම හිස වැනුවා. මට ඕන වුණේ තේ බොන්න නෙමෙයි. මම්මා වට්ටියේ කිරිබත් තුනී කරන අපූරුව බලන්න.

“අක්කා තවම නිදි ඇති.”

ආපහු මේසෙ ළඟට යන මම්මා කිව්වෙ මට ද නැත්නම් තමාටමද කියලා මට තේරුම් ගන්න බැරි වුණා.

“පප්පා නම් අද දවල් වෙන තුරුවත් නැගිටින එකක් නෑ. එක දෙක වෙනකම් යාළුවෝ වට කරගෙන බිව්වනෙ. ආපු යාළු මිත්තරයො කීයට ගෙවල් වල ගියාද මන්දා. දොළහමාර විතර වෙනකම් ඇහැරගෙන ඉඳලා මං නිදා ගත්තා. ”

මම්මා පොල් කටු හැන්දෙන් ගත්ත කිරිබත් කොළ පාට කෙහෙල් කොළ අතුරපු වට්ටියෙ තුනී කරන්න පටන් ගත්තා. මම්මා ඉන්නෙ සතුටෙන් ද නැත්නම් කළකිරීමෙන්ද කියලා මට කවදාවත් තේරුම් ගන්න බැරි වුණා. මම්මට ජීවිතේ කිසිම අඩුවක් තිබුණෙ නෑ. ඒත් පප්පා අසීමාන්තිකව බොන එක ගැන වචනයෙන් නොකිව්වත් ඇය වදවුණු

බව පුංචි වුණත් මගේ හිතට තේරුම් ගිහින් තිබුණා.

අක්කා හොස්ටල් එකේ ඉඳලා ගෙදර ආවෙ ඊයෙ හවස. අක්කා ආපු සතුට සමරන්නයි, ජනේරුව සමරන්නයි පප්පා ඊයෙ වේලාසනින්ම බොන්න පටන් අරන් තිබුණා. උඩ තට්ටුවෙ ඉඳගෙන බොන පිරිස මම දැක්කෙ නැති වුණත් ඒ ගොල්ලන් කතා කරන හිනාවෙන සද්දෙ අහගෙන ඉන්න මම්මා වරින් වර ඔළුව ගැස්සුවෙ තරහෙන්ද කියලා මට තේරුම් ගන්න බැරි වුණා. තරහෙන් හිටියත්, දුකෙන් හිටියත් මම්මගෙ මූණ හිනා උල්පතක්. නිතර ගෙදරට එන පප්පගෙ යාළුවො සමහරු මම්මගෙ ලස්සන ගැන කියන කතා මට මතක් වුණා.

“හැරිස්. මොකෝ අද නූටාන් පේන්න නැත්තෙ? ”

මම්මා පේන්න නොහිටියොත් සමහරු අහද්දි පප්පා මහ හඬින් හිනාවුණා. ඒ හිනාවෙ තිබුණෙ සතුටක්. නූටාන් කියන්නෙ හින්දි සිනමාවෙ හිටපු ලස්සන නිළියක් කියලා මං තේරුම් ගත්තෙ පස්සෙ කාලෙක. මගේ මම්මත් නිළියක් වගේ ලස්සනයි කියලා මං ගොඩක් ආඩම්බර වුණා. වැඩියෙන්ම මං ආඩම්බර වුණේ මම්මා අපේ කොලේජ් එකේ

තියෙන පේරන්ට්ස් මීටින් වලට එන දවසට.

“ලීනා ගේ මමී හරිම ලස්සනයි.”

ටීචර්ස්ලා හැමෝම වගේ කිව්වා.

“කවදාහරි දවසක ලීනා ත් මමී වගේ ලස්සනට ඉඳීවි. ”

සමහර ටීචර්ස්ලා අනාවැකි කිව්වා. ඒත් මම්මා වගේ ලස්සන වෙන්න ඕන කියලා මම හීන මැව්වෙ නෑ. මං ආස කළේ චිත්‍ර ශිල්පිනියක් වෙන්න.

“ගුඩ් මෝනින් ස්වීටි.”

මම්මා තුනී කරන කිරිබත දිහා කල්පනා කර කර බලා ඉඳිද්දි අක්කා කුස්සියට ආවා. දිග රෑ ඇඳුමට උඩින් තදම තද රතු පාට ජර්සියක් ඇඳගෙන හිටිය අක්කා මට පෙනුණෙ සුද්දියක් වගේ. තුනී කරන කිරිබත කැට කපමින් හිටිය මම්මා ඔළුව හරවලා අක්කා දිහා බැලුවා. මං හිටිය හාන්සි පුටුව ළඟ නතර වෙලා මගේ ඔළුවට හාදුවක් දුන්න අක්කා

ඊළඟට ගියේ මම්මා ගාවට.

“ගුඞ් මෝනින් මම්. ”

මම්මගෙ උරහිසේ ඔ ̈ව තියා ගත්ත අක්කා කිව්වා. අක්කයි, මමයි, නංගියි අම්මට කිව්වෙ මම්මා කියලා වුණත් අක්කා ළඟකදි ඉඳලා මම්මට කිව්වෙ ‘මම්’ කියලා. මම්මා ඒ ගැන අකැමැත්තක් පෙන්නුවෙ නෑ. සමහර විට අක්කගෙ හොස්ටල් එකේ ඉන්න ළමයි අම්මලාට ආමන්ත්‍රණය කරන්නෙ ‘මම්’ කියලා වෙන්න ඇති කියලා මට හිතුණා.

“ගුඩ් මෝනින්. බර්ත්ඩේ ගර්ල් අද උදෙන්ම නැගිටගෙන.”

“නැගිටගෙන නෙමෙයි. මට නින්ද ගියේම නෑ. උඩ ඉඳගෙන පප්පගෙ යාළුවො පල්ලෙහාට රතිඤ්ඤා විසි කරන සද්දෙට හැම වෙලාවෙම මං උඩ ගිහින් බිම වැටුණා. ”

මට හිනා ගියා. අක්කා උඩ ගිහින් බිම වැටෙන හැටි මං මනසින් දැක්ක නිසා වෙන්න ඇති. අක්කා විතරක් නෙමෙයි මම්මත් මගේ දිහා බැලුවා.

“අද ඔන්න දෙවෙනි කුමාරිට වාසියි. ”

ලීනා , ස්වීටි, බේබි ගර්ල් වගේ හුරතල් විදියට මාව අමතන අක්කා ඉඳ හිට මට දෙවන කුමාරි කියලා කිව්වා.

සර්වන්ට්ස්ලා අපි තුන්දෙනාට කතා කළේ ලොකු කුමාරි, දෙවන කුමාරි, බාල කුමාරි කියලයි. අක්කා වගේම මම්මත් මට ඉඳ හිටලා දෙවන කුමාරි කියලා කතා කළා.

“අද මගේ බර්ත්ඩේ පාටි එකට කොළඹ ඉඳලා යාළවෝ ගොඩක් එනවා. ”

අක්කගෙ යාළුවො අතරෙ ලස්සනට ඇඳ පැළඳ ගත්ත ඉංග්‍රීසියෙන් කතා කරන ගෑනු ළමයි වගේම පිරිමි ළමයි, වැඩිහිටි පිරිමිත් හිටියා. ඒ අය අතරින් මට විශේෂ කෙනෙක් නොහිටියත්, අක්කගෙ වගේම පප්පගෙ යාළවෙක් වුණු ජේසන් අංකල්ට මම ගොඩක් ප්‍රිය කළා. පප්පත් එක්ක එකට බිව්වත් ජේසන් අංකල් ඉඳ හිට කුස්සියට ඇවිත් බැදපු

මස්, මාළු ටිකක් තසිමකට දාගෙන ගියේ මම්මට, මට වගේම නංගිටත් විහිළු කරලා. නංගියි මමයි ජේසන් අංකල් කියලා කතා කළාට අක්කා එයාට කිව්වෙ ජේසන් කියලා. මං හිතන්නෙ මම්මට ‘නූටාන්’ කියලා මුලින්ම කියන්න ඇත්තෙත් ජේසන් අංකල්ම තමයි.

“දැන් ඇති ජේසන්. ”

බයිට් අරන් යන්න කුස්සියට එන ජේසන් අංකල්ට සමහර වෙලාවට මම්මා කිව්වා.

“ඔය හැටි බීලා මේ උයපුවා කන්නෙ කවුද? ”

“අපි කනවා.”

ජේසන් අංකල් හිනාවෙනවා. ජේසන් අංකල්ගෙ හිනාව දකින්නත් කරේ දාලා තියෙන කඹයක් වගේ දිලිහෙන රත්තරන් මාලය දකින්නත් මං ගොඩක් ආසා කළා.

“අපි නවත්තන්න ලෑස්තියි. ඒත් අපේ කළු සුද්දා දැන්ම නවත්තන්න සූදානමක් නෑ. සමාවෙන්න.”

ජේසන් අංකල් පප්පට කිව්වෙ කළු සුද්දා කියලා. සුද්දෙක් තරමටම හම සුදු පාට නූනත් පප්පා ඇත්තටම සුද්දෙක් වගෙයි. අඳින පළඳින කතා කරන, හැසිරෙන විදියත් සුද්දෙක්ම තමයි. පප්පා සුද්දන්ට ආවඩනවා කියලා ගෙදර ඉන්න සර්වන්ට්ස්ලා රහසින් කතා කරන අවස්ථා ́ඕන තරම් මට ඇහිලා තිබුණත් ඒ ගැන මං වැඩිපුර හිතන්න

ගියේ නැත්තෙ ඒක ඇත්තක් කියලා මටත් තේරුම් ගිය නිසා වෙන්න ඇති.

ෆියෝනාගේ ජංගම දුරකතනය නාද වන්නට විය. මෙතෙක් කියවමින් සිටි දිනපොත වසා තබන්නට දුකක් ඇති වුව ද, ආයාසයෙන් ඉන් දෙනෙත් මුදා ගත් ෆියෝනා නැගිට එදෙසට දිව ගියාය.

ලබන සතියට

Comments