
සංගීත ක්ෂේත්‍රය නම් විලෙහි පිපුණු නෙළුමක් වූ ඇය රසික හදවත් තුළ සදා ලැඟුම් ගත්තේ ඇගේ හඬින් ගැයූ ගීතවල සුමිහිරි බව නිසාමය.
‘සුදෝ සුදු’ ටෙලිනාට්‍ය ගීතය හරහා රටක් හඳුනාගත් මේ ගායන ශිල්පිනිය එදා මෙදා තුර ගැයූ ගී ලොකු කුඩා කා අතරත් අතිශය ජනප්‍රියත්වයට පත් විය. කලා පවුලකට උරුමකම් කියන හඬින්, රුවින්, මෙන් ම දැනුමෙන් ද පොහොසත් මේ සුවිශේෂී ගායන ශිල්පිනිය ඔබ අප ආදරය කරන විශාරද නෙළු අධිකාරිය.
‘රසඳුන’ අප මෙවර ඇය ගැන කතා බහ කරන්නට නිමිත්තක් තියෙනවා. ඒ පසුගියදා පැවැත්වූ ‘මියැසි’ ප්‍රසංගය නිසයි. මේ කතාබහ ඒ වෙනුවෙනි.
‘මියැසි’ ප්‍රසංගය ගැන මුලින්ම කතා කළොත්?
ඇත්තටම පසුගියදා පැවැති ‘මියැසි ළමා තාරකා’ ප්‍රසංගය ඉතා සාර්ථකව පැවැත්වුණා කියන්න පුළුවන්. ‘මියැසි අරණ’ නම් අපේ කලායතනය ආරම්භ කරලා දැනට වසර අටක් පමණ වෙනවා. මීට පෙර 2013 වසරේදී එහි පළමු ප්‍රසංගය ඉතා සාර්ථකව පැවැත්වූවා.
ඒ සඳහා අප කලායතනයේ දරුවන් 250 ක් පමණ සහභාගි වුණා. ඔවුන්ගේ දක්ෂතා පෙන්වූවා. එය තවත් වැඩිදියුණු කරමින් පසුගියදා පැවැත්වූ ‘මියැසි ළමා තාරකා’ ප්‍රසංගය සඳහා අප කලායතනයේ දරුවන් 350 පමණ පිරිසක් සහභාගි වුණා. විශේෂයෙන් කියන්නට ඕන මේ ප්‍රසංගය සංවිධානය කිරීමට මූලිකව ක්‍රියා කළේ කලායතනයේ දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන්...
ඇයි මෙවැනි ප්‍රසංගයක් පැවැත්වීමට හිතුවේ?
මෙහෙමයි මූලිකව සංගීතය කියන විෂය පිළිබඳ න්‍යායාත්මක දැනුම හදාරන්නට තමයි අපේ කලායතනයට දරුවන් සම්බන්ධ වෙන්නෙ. ඒත් මේ විෂය තුළ න්‍යායාත්මක දැනුම් සීමාවෙන් ඔබ්බට ගිය දරුවන්ගේ ඇති ගායන හා වාදන හැකියාවක් තිබෙනවා. මේවා පෙන්වන්නට ප්‍රායෝගික වූ හැකියාවන් ඉදිරිපත් කරන්නට වේදිකාවක් සලසා දීම අපේ යුතුකමක්. ඉතිං ඒ සඳහා ඔවුන්ට අවස්ථාව සලසා දීම තමයි ‘මියැසි ළමා තාරකා’ ප්‍රසංගය පැවැත්වීමට මූලික හේතුව බවට පත්වුණේ.
ආරාධිතයන් ලෙස සහභාගි වුණු පිරිස ගැනත් කතා කරමු?
රවීන්ද්‍ර රන්දෙණිය, යශෝධා විමලධර්ම ඇතුළු කලාකරුවන් කිහිප දෙනෙක් ප්‍රධාන ආරාධිතයන් ලෙස අපේ ප්‍රසංගය සඳහා සහභාගි වුණා.
ඒ වගේම ප්‍රසංගය සඳහා කීර්ති පැස්කුවල්, අතුල අධිකාරි, ජගත් වික්‍රමසිංහ, හර්ෂණ දිසානායක ඇතුළු ගායන ශිල්පීන් රැසක් ගායනයෙන් සම්බන්ධ වුණා.
නෙළු අධිකාරි කියන ගායන ශිල්පිනිය මුලින් ම ක්ෂේත්‍රයට පිවිසෙන්නේ කොහොමද?
ඇත්තටම නෙළු අධිකාරි කියන ගායන ශිල්පිනිය රටක් හඳුනා ගත්තේ ‘සුදෝ සුදු’ ටෙලිනාට්‍යය තේමා ගීතයෙන්. ක්ෂේත්‍රයට අත්පොත් තබන්නේ ඒ හරහායි.
එදා සිට එදා මෙදාතුර කාල පරාසය තුළත් මා ගැයූ ගීත සඳහා ලොකු කුඩා කාගේත් නොමඳ රසික ආදරය අදටත් නොඅඩුව ලැබෙනවා.
කලාව සහ ඔබේ පවුල් ජීවිතය පිළිබඳවත් කතා කරමු.
කලාව හා මගේ පවුල් ජීවිතය කියන්නේ දෙකක්. ඉතිං මම කවදත් මේ අන්ත දෙක එකිනෙක පටලවාගන්නේ නෑ... සියල්ල සමබරව කරගෙන යනවා. කලාව නිසා මගේ පවුල් ජීවිතයටවත්, පවුල් ජීවිතය නිසා කලාවටත් බලපෑම් වෙන්නේ නෑ.
මෙහි සියලු ගෞරවය හිමිවන්නේ මගේ සැමියාටය. ඔහුත්, මාත් එකම ක්ෂේත්‍රයේ නිසා අපි දෙන්නට දෙන්නා හොඳ අවබෝධයකින් තමයි කටයුතු කරන්නෙ. මගේ ඇති වටිනාකම ඔහු දන්නවා. දෙන්නට දෙන්නා තේරුම් අරගෙන තමයි මේ ගමන යන්නෙ. හැම දෙයක්ම කරන්නේ දෙදෙනාගේ ම කැමැත්තට අනුව.... ඒ නිසා කලාව හා පවුල් ජීවිතය බොහොම සමබරව කරගෙන යනවා.
සංගීත ජීවිතයේ ඔබේ නව නිර්මාණ මොනවාද?
පසුගිය දිනක මගේ ම කියලා අලුත් සංයුක්ත තැටියක් එළිදැක්වූවා. දරුවන් වෙනුවෙන් ම නිර්මාණය වුණු ගී කිහිපයක් ම එහි අන්තර්ගතයි.
නව වසරේ ඔෙබ් ඉදිරි කලා කටයුතු මොනවාද?
ටෙලිනාට්‍ය කිහිපයක පසුබිම් ගායනයට සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණා. ‘රැජිණ’ ඒ අතර විශේෂයි.
ඒ වගේ ම විදේශීය ප්‍රසංග සඳහා ද දැනටමත් ඇරයුම් ලැබිලා තිබෙනවා. ලබන මාර්තු මාසයේ කැනඩාවේ පැවැත්වෙන ප්‍රසංගයක් සඳහා සහභාගි වීමට සූදානමින් ඉන්නෙ.
‘රියැලිටි’ වැඩසටහන් ‘විනිසුරු’ මඬුල්ල සඳහා ඔබ දායක වුණා?
ඔව්. ලැබුණු ඇරයුම් වලට අනුව තෝරා බේරාගෙන මා එවැනි වැඩසටහන් කිහිපයක විනිශ්චය සඳහා දායකත්වය ලබාදුන්නා.
නවක ගායන පරපුර ගැන ඔබට මොකද හිතෙන්නෙ?
ඔබ දන්නවා අද රියැලිටි වැඩසටහන් ඕනෑ තරම් තියෙනවා. ඒ තරග කරුවන්ගේ හැකියාවන් දැක්කම ඇත්තටම ඔවුන් ඉතාමත් දක්ෂ පිරිසක් කියලා පේනවා...
හැබැයි කෙටි කාලයක් තුළ තරුවක් බවට පත්කිරීම අරමුණු කොට ගත් මේ සියලු වැඩසටහන් තුළින් බිහිවන මේ දක්ෂයින් ක්ෂේත්‍රය තුළ කොතැන ස්ථානගත කළ යුතුද කියන ප්‍රශ්නය තියෙනවා. ඒ දක්ෂයින්ට ස්ථාවර ගමනක් යන්නට කාලයක් නෑ. දිනෙන් දින නවක තරු බිහිවෙනවා. එතැනින් එහාට ඔවුන් යන්නෙ කොහාටද?
ඒ නිසා මොනදේ කළත් ඒ ක්ෂේත්‍රය තුළ ඉදිරියට යන්නට නම් ක්‍රමානුකූල බවක් තිබිය යුතුයි කියලයි මගේ හැඟීම.