දෙවි­යන් හා යක්ෂයා අතර සැබෑ සටන | සිළුමිණ

දෙවි­යන් හා යක්ෂයා අතර සැබෑ සටන

එන්දිරන් (ඉංග්‍රීසි අරුත රොබෝට්) 2010 වසරේ තිරගත වූ දමිළ විද්‍යා ප්‍රබන්ධ පුරාවෘතයකි. සැබෑ සෙනෙහස සොයා යන මේ යාන්ත්‍රික මිනිසා නිසා ප්‍රේක්ෂකයන් සංවේදී විය. විද්‍යාඥ වසීගරන් නිර්මාණය කළ චිට්ටි නම් එම රොබෝට තම නිර්මාතෘ කළ ද්‍රෝහිකම් තවමත් අමතක නැත.චිට්ටි තමන්ට කළ ද්‍රෝහිකම මතක තබාගෙන සිටින්නේ අවස්ථාව උදාවනතුරුය.

වසීගරන් කෝවලම් වෙරළට පවුලේ විනෝද චාරිකාවක් ගිය විට චිට්ටි රොබෝට පවුලේ හිත මිතුරු වෛද්‍ය රිචඩ් ක්‍රෝමෑන් (අක්ෂේ කුමාර් ) හමුවෙයි. දෙදෙනා එක්වී නිර්මාතෘ මරා දැමීමිට කුමන්ත්‍රණය කරයි. එහෙත් වෛද්‍ය රිචඩ් කාර්යබහුල නිසා එයට එකඟ නොවෙයි. චි‍ට්ටි ඔහු මරා දමන අතර ඔහුවද රොබෝවකු බවට පරිවර්තනය කරයි. අඟහරුගේ විද්‍යුත් චුම්බක විකිරණ නිසා ඩොක්ටර් රිචඩ් මරාදමන යන්ත්‍රයක් බවට පත්වෙන අතර චිට්ටිට එරෙහිව ක්‍රියාත්මක වේ. දෙවියන් හා යක්ෂයා අතර සැබෑ සටන ඇරැඹෙන්නේ එවිටය. ජයග්‍රාහකයා කවුරුන්ද ? 2.0 ඒ පැනයට පිළිතුරු සපයයි. මේ සිනමා පටය කෙළින්ම ත්‍රිමාණව රූ ගත කළ පළමු සිනමා පටයයි.

එන්දිරන්හි වෛද්‍ය වසීගරන්ගේ චරිතය හා චිට්ටිගේ චරිතය නිරූපණය කළ රජිනිකාන්ත්ම 2.0 සිනාමා පටයේ ද එම චරිතවලට යළි පණ දෙනු ලබයි. අලුතින් එක් වී සිටින්නේ අක්ෂේ කුමාර් හා ඇමී ජැක්සන්ය. දමිළ , හින්දි යන ද්වි භාෂාවෙන්ම සිනමා පටය රූගත කර තිබේ. ඉන්දියානු රුපියල් කෝටි 450 ක පිරිවැයක් දරමින් නිපද වූ රොබෝවන්ගේ යාන්ත්‍රික වූ මේ සුපිරි තාරකා බල පරාක්‍රමය ජනවාරි 25 සිට ප්‍රේක්ෂකයන්ට දැකගත හැකිය. භාෂා පහළොවකින් සිනමා පටය ප්‍රදර්ශනය කෙරේ.

අධ්‍යක්ෂ එස්. ශන්කර් වෛද්‍ය රිචඩ්ගේ චරිතයට මුලින්ම පළමු පෙළේ නළුවන් තිදෙනකු සමඟ කතා බහ කර තිබේ. කමල් හසන්, අමිර්ඛාන් , වික්‍රම් එම නළුවන් තිදෙනාය. එහෙත් ඔවුන් තිදෙනාගෙන්ම ඊ‍ට ප්‍රතිචාරයක් ලැබුණු බවක් නොපෙනේ සමහරු සල්මන් ඛාන්ගේ, හියු ජැක්මන‍්ගේ නම් ද දුෂ්ටයාට යෝජනාවී තිබු බව පවසති. පසුව හොලිවුඩ් නළු ආර්නෝල්ඩ් ස්වාසනගර් වාර්තාගත මිලකට එහි රඟ පෑමට එකඟ විය. නිෂ්පාදකයන් ඊට එරෙහි වූ නිසාදෝ රිතික් රෝෂන් සමඟ ද කතා කර අවසානයේ අක‍්ෂේ කුමාර්

ස්ථිර වශයෙන්ම චරිතය සඳහා තො‍්රා ගන්නා ලදි අක්ෂේ කෙදිනත් රජිනිකාන්ත් උන්මාදනීය රසිකයෙකි. බ්‍රිතාන්‍ය නිළි ඇමී ජැක්ෂන් ප්‍රධාන තාරකාව ලෙස සිනමා පටයට එක් විය.

මෙගා නළු රජිනිකාන්ත්ගේ උපන් දිනයට සමගාමීව 2015 දෙසැම්බර් 12 වැනිදා සිනමා පටය නිල වශයෙන් දියත් කිරීමට නියමිත විය. එහෙත් දකුණු ඉන්දියාවේ ඒ වන විට පැවති ගංවතුර ඊට හරස් විය. අවසානයේදී දෙසැම්බර් 7 වැනිදා ඒවී.එම්. චිත්‍රාගාරයේදී චාම් උත්සවයකින් සිනමා පටයට මුල පිරීය. සිනමා පටය චෙන්නායි, දිල්ලි, වැනි ඉන්දියානු දර්ශන තල වලදී මෙන්ම, යුක්‍රේනයේද , මොරොක්කෝ වලදී ද රූගත කෙරිණි . 2016 ජූලි මාසයේදී අඛණ්ඩව දින සියය වැනි දිගුකාලීන රූගත කිරීමේ කාල ඉක්මවමින් පැවැති කාල සටහනේ මඳ විරාමයක් ලැබුණේ රජිනිකාන්ත් හදිසියේ රෝගී වීම නිසාය. කිහිප ආකාරයකින් මෙගා තරුව රජිනිකාන්‍ත්ගේ සිනමා පටය වාර්තගතවී ඇත.

2.0 සිනමා පටය ආසියාවේ වැඩිම වියදමක් දරා නිපද වූ දෙවැනි සිනමා පටයයි. බොලිවුඩයේ අක්ෂේකුමාර්ගේ කුලුඳුල් කොලිවුඩ් සම්ප්‍රාත්තිය මෙයයි. ඇමී ජැක්සන්ව සිනමා පටයට නිර්දේශ කර තිබෙන්නේ ද අක්ෂේමය. ඇය ඔහු සමඟ 2015 සිං ඊස් බ්ලිං සිනමා පටයේ රඟපා තිබේ. රජිනිකාන්ත්, අක්ෂේ සුසංයෝගය තිරයේ දක්නට ලැබෙන්නේ ප්‍රථම වරටය. මේ කොලිවුඩ් සිනමා සිත්තමට හොලිවුඩයේ ක්‍රියාදාම ආදේශක අධ්‍යක්ෂවරුන් වූ කෙනී බේට්ස් (ට්‍රාන්ස්ෆොමර්ස් අධ්‍යක්ෂ), ආරන් ක්‍රිප්න් ( බැට්මන් වර්සස් සුපර්මෑන්), ස්ටීව් ග්‍රිෆින් ද දායක වී ඇත. සංගීත අධ්‍යක්ෂණයෙන් ඒ.ආර්. රහමන් හා සිනමා අධ්‍යක්ෂණයෙන් එස්. ශංකර් එක්ව චිත්‍රපටයකට දායක වන දහවැනි අවස්ථාව මෙයයි. සිනමා පටයට ගීත තුනක් ඇතුළත්ය. ‘එන්දිරන්’චිත්‍රපටයේ ඇතැම් චරිත මීට ද ඇතුළත් නමුත් එම සිනමා පටයේ කතාව හා මේ කතාවේ කිසිඳු නෑකමක් නැත.

ශ්‍රී ලංකාවට 2.0 සිනමාපටය නෑකම් කියන්නේ එහි නිෂ්පාදක අල්ලිරාජා සුබාෂ්කරන් බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකේය ව්‍යාපාරිකයකු නිසාය.

සිනමා පටයේ ප්‍රවර්ධන කටයුතු ද රොබෝ වික්‍රමයක් බඳුවෙයි. ඇමෙරිකාවේ මෙන්ම තමිල්නාඩුවේද බැලුන් යොදාගෙන ප්‍රවර්ධන කටයුතු සිදු කෙරිණ. කොයිම්බතූර් අසල පොල්ලච්චිහිදී අන්තර් ජාතික බැලුන් උළෙලේදී 2.0 නම රැගත් බැලුන අහස උසට ඉහළ නැග්ගේ ප්‍රේක්ෂක සිත් සතන්හී අහස උසට බලාපොරොත්තු ඉහළ නංවමිනි.

අක්ෂේ කුමාර්ට ජනවාරි 26 වැනිදා අති විශේෂ දිනයකි. ඒ ඔහුගේ බොලිවුඩ් නිර්මාණය පෑඩ් මෑන් ද 2.0 ට සමගාමීව තිරගත වීමේ හේතුවෙනි. බොලිවුඩයේ වත්මන් ජුබිලි කුමාරයා වී සි‍ටින අක්ෂේ කුමාර්ට සිනමා පට ද්විත්වයෙන්ම ප්‍රේක්ෂක හද දිනාගැනීමට හැකිවන බව නම් නිසැකය. ගැටලුව වන්නේ අංක එකට පැමිණෙන්නේ ඔහු මෙගා තරුව රජිනිකාන්‍ත් සමඟ රඟපෑ 2.0 ද. එසේ නැත්නම් පෑඩ් මෑන්ද යන්නයි.

දුෂ්ටයා රඟන අක්ෂේගේ රුව ප්‍රේක්ෂකයන්ට සිතාගත නොහැකි තරම් වෙනස්ය. එපමණක් නොව ඔහුගේ හඬද හාත්පසින්ම වෙනස් මුහුණුවරක් ගනී. හින්දි 2.0 සිනමා පටයට හඬදී ඇත්තේ අක්ෂේමය. තාක්ෂණික ප්‍රයෝගද හඬ වෙනස් කිරීමේදී යොදාගෙන තිබේ. දමිළ හා තෙළිඟු සිනමා පටවල අක්ෂේගේ චරිතයට හඬ කවා ඇත්තේ හඬ කැවීම් ශිල්පීන්ය.

සිනමා පටය තිරගත කරන භාෂා පහළොව අතරට ජපාන, කොරියානු සහ චීන වැනි භාෂාද ඇතුළත්ය. චන්ද්‍රිකා හිමිකම් සඳහා දමිළ, තෙළිඟු, හින්දි 2.0 සිනමා පටය ඉන්දියානු රුපියල් කෝ‍ටි 110 කට අලෙවි කර තිබේ. කලාපීය සිනමා පටයක් එතරම් ඉහළ මුදලකට අලෙවි වූ ප්‍රථම වතාව මෙයය.

ශංකර්ට, රජිනිකාන්ත්ට, අක‍්ෂේ කුමාර්ට, ඇමීට ‘2.0’ සිනමා පටය 2018 වසරේ කෙබඳු මතක සටහනක් වේවිද ? ඊට පිළිතුර ලබා දෙන්නේ ජනවාරි 25 වැනිදා සි‍ට රසිකයන් විසිනි. 

Comments