ගිනි­කඳු තුළට බැස ඡාය­රූප ගන්නා ඇය උල්ලා ලෝමන් | සිළුමිණ

ගිනි­කඳු තුළට බැස ඡාය­රූප ගන්නා ඇය උල්ලා ලෝමන්

කාන්තා අයිතිවාසිකම් හා කාන්තාවන්ට කළ හැකි දේ සහ නොහැකි දේ පිළිබඳව මෑත කාලයේ මුළු ලෝකයේම කතාබහට ලක්විය. අපේ රටේ ද මෙම මාතෘකාව බොහෝදෙනා අතර කතාබහට ලක්වූයේ දේශපාලන තීන්දු තීරණ මුල් කරගනිමිනි. මෙවර රසඳුනේ පහළොස්වැනි පිටුව වෙන්වන්නේ කාන්තා අයිතිවාසිකම් ගැන කතා කිරීමට නම් නොවේ. මෙලොව කිසිවකු මෙතෙක් නොකළ ත්‍රාසජනක ක්‍රියාවක් සිදු කරන ලද උල්ලා ලෝමන් නැමැති කාන්තාව ගැන විස්තර ඔබ වෙත ගෙන ඒමටයි. ඒ ඇය ක්‍රියාකාරී ගිනිකන්දක් තුළට ගමන් කරන ලද ලොව ප්‍රථම පුද්ගලයා වීම නිසායි.

1977 ජූනි මස 6 වැනිදා උපත ලැබූ Ulla Lohmann වෘත්තියයෙන් ඡායාරූප වාර්තාකරුවකු හා වාර්තා වැඩසටහන් නිෂ්පාදකවරියක ලෙස කටයුතු කරයි. නැෂනල් ජියෝග්‍රැෆික්, බීබීසී වැනි ආයතන වෙත වීඩියෝ සපයන උල්ලා පසුගිය වසර 10ක පමණ කාලය ගත කර තිබෙන්නේ ලොව වටා තිබෙන ගිනිකඳු වෙත ගොස් ඒවා නැරැඹීමටයි. මැයගේ ඡායාරූප වල තිබෙන සමහර දසුන් අපිට සිහිනෙන්වත් සිතා ගැනීමට අපහසු තරම් භයානක ඒවා වේ. ස්වාභාවික සම්පත් කළමනාකරණය පිළිබඳව උපාධියක් හිමි මැය කොන්ගෝ,චිලී හා වනුආටු වැනි ගිනිකඳු සහිත ප්‍රදේශ වලට ගොස් ඒවායේ ක්‍රියාකාරීත්වය ඡායාරූපයට නගන්නේ ඇයගේ විනෝදය හා විද්‍යා ලොවේ සුබසිද්ධිය යන කරුණු දෙකම පෙරදැරි කරගෙනයි.

වනුආටු දූපත් හි එක් ගිනිකඳු දූපතක් වන ඇම්බ්‍රියම් ගිනිකන්ද/දූපත සෑම වසර 50-100කට වරක් දැවැන්ත ලෙසින් පුපුරා යන ගිනි කන්දක් වන අතර මෙය අවසන් වරට පුපුරාගොස් තිබෙන්නේ වර්ෂ 1950-1951 කාලයේදීයි. එනම් මෙම ගිනිකන්ද කොයි මොහොතක හෝ පුපුරා යාමට ඉඩකඩ තිබෙන නිසා උල්ලා විසින් තමන්ගේ වීර වික්‍රමය සඳහා මෙම ගිනි කන්ද තෝරාගෙන තිබේ. කුඩා ගුවන් යානයකින් මීටර් 1334ක් උසැති මෙම ගිනිකඳු දූපත වෙත උල්ලා, ඇගේ සැමියා වන සෙබස්තියන් හොෆ්මන් තවත් සගයන් හා මඟ පෙන්වන්නන් සමඟ පැමිණ ගිනි කන්ද තරණය කර තිබෙනවා. පැය හතරක් පමණ වැසි වනය තුළින් ගමන් කිරීමෙන් පසුව මීටර 700ක් පමණ උසින් තිබෙනා ගිනිකන්දේ කල්දේරම වැනි කොටස වෙත පැමිණ එහි කඳවුරු ලා තිබෙනවා. මාරුම් හා බෙන්බෝ නමින් ලාවා විල් වෙත ළඟා වීමට විවර දෙකක් තිබෙන අතර එම විවර දෙක අවට තිබෙන ගිනිකඳු දුම අඩුම විවරය වන බෙන්බෝ විවරය තුළින් ඇතුළට ගමන් කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

පසුදින උදයේම ලෝමන්, හොෆ්මන් හා ඔවුන්ගේ මිතුරු මඟපෙන්වන්නන් පස් දෙනකු සමඟින් මීටර 1160ක් උසින් තිබෙන බෙන්බෝ විවරය වෙත ගමන් කර තිබෙනවා. ගිනිකඳු විවරයෙන් පහළට බැසීම මොවුන් ආරම්භ කර තිබෙන අතර මෙම විවරය තට්ටු ගොඩනැගිල්ලක් මෙන් මහල් කිහිපයකින් සමන්විත වී තිබේ. මීටර 600ක් පහළින් තිබෙන අවසාන කොටසට එනම් ලාවා විල අසලටම ගමන් කර තිබෙන්නේ උල්ලා හා ඇයගේ සැමියා පමණයි. පළමු මහල වැනි කොටසේ සිට පහළට ගොස් නැවත් පැමිණීමට මොවුන් දෙදෙනාට පැය 30ක් පමණ ගතවී තිබෙන අතර එම කාලයටම මොවුන් සතුව තිබී ඇත්තේ වතුර ලීටර 3ක් පමණි. සෙල්සියස් අංශක 1200ක් තරම් ඉතාමත් ඉහළ උෂ්ණත්වයක් සහිත මෙවැනි පරිසරයක මොවුන් කළ මෙම ක්‍රියාව උමතු ක්‍රියාවක් ලෙසින්ද කෙනකුට විස්තර කිරීමට පුළුවන් වන්නේ අධික ලෙසින් සිරුරෙන් දහඩිය පිටවන නිසා ඔවුනට ප්‍රමාණවත් ජලය නොමැති වීමෙන් මරණයට පවා ලක් වීමට ඉඩකඩ තිබූ බැවිනි. කෙසේවෙතත් ලාවා සාම්පල, වායු සාම්පල හා වායු මට්ටම් නිරීක්ෂණ සටහන් හා උෂ්ණත්ව සටහන් සමඟ ඡායාරූප, වීඩියෝ රැසක්ද සමඟින් ඔවුන් නිරුපද්‍රිතව පැමිණියේ මානව ඉතිහාසයේ තවත් එක් වැදගත් පිටුවක් පෙරළමින් බව සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවන බව මගේ අදහසයි. 

Comments