කවු­රුත් කතා කරන දැන්වීමක් | සිළුමිණ

කවු­රුත් කතා කරන දැන්වීමක්

රෑට ගෝනි බිල්ලා එනව නම්, එයා නිදා ගන්නෙ කීයට ද?

වැඩිපුරම ගුණ අන්තිම බත් කට නම්, මං ඒක විතරක් කෑවම ඇතිද?

කැමරාවට හසු වන්නේ කුඩා පිරිමි දරුවෙක් ජංගම දුරකතනයක් දෑතට ගෙන ' මට සත්තුවත්තට යන්න ඕන' කියා ඉංග්‍රීසි බසින් පවසන අන්දමයි. එවිට ඔහුගේ පියා දරුවා රවටමින් පවසන්නේ ඔවුන් සිටින තැන සිට Zoo එකට යන්නට හුඟක් වෙලා යන බවයි. නමුත් කුඩා දරුවා පියාගේ දුරකතනය අතට ගෙන 'නැහැ නැහැ google map එකෙන් පෙන්නන්නේ මෙතැන ඉඳලා විනාඩි 15යි කියලනේ' යි පියාට පවසයි. එය දකින වැඩිහිටියන්ට ඇති වන්නේ කුඩා දරුවා ගැන පුදුමයකි. දෙවන රූපරාමුවෙන් නෙතු ගැටෙන්නේ දෙමළ බස හසුරුවන කුඩා දරුවෙකි. ඔහු තමන් සෑදු කුඩා පඹයා දෑතට ගෙන කපුටන් එළවයි. ආයිත් කපුටා මගේ දේවල් ගෙනියන එකක් නැහැ. මගේ පඹයා දැකලා. ඔහු කපුටා එළවමින් තම මවට පවසයි. තුන්වන රූපරාමුවෙන් පෙන්වන්නේ නින්දට සැරසෙන කුඩා දියණියකි. ඇය තම මවගෙන් අපූරු ප්‍රශ්නයක් විමසයි. රෑට ගෝනි බිල්ලා එනව නම් එයා නිදා ගන්නෙ කීයටද? මේ පොඩිත්තන්ගේ දඟකාර නුවණැති ප්‍රශ්න හමුවේ වැඩිහිටියන් නිරුත්තර වන්නේ ඔවුන්කෙරෙහි ආඩම්බරයෙන් සිත පුරවා ගනිමිනි.

දරුවො කියන්නේ මේ ලෝකයේ අසිරිමත්ම වස්තුවක්. ඔවුන් දවසින් දවස සමාජයෙන් ලබන අත්දැකීම් සමඟ අලුත් විදිහට හිතන්න විතරක් නෙමෙයි විවිධ අලුත් කතා පවසන්නත්, ගොතන්නත් දක්ෂයින් වෙනවා. මේ දේවල් හමුවේ වැඩිහිටියන් පවා පුදුමයට පත්වෙනවා. ඒ විතරක් නම් මදැයි සමහර විට වැඩිහිටියන් නොහිතන ආකාරයේ හපන්කම් පුංචි දරුවන් සිදුකරනවා. මේ දවස්වල ඒ විදිහට පුංචි හපනුන්ගේ ක්‍රියාකාරකම්, කතාබහ ඇතුළත් අපූරු වෙළෙඳ දැන්වීමක් අප නෙතු ගැටෙන් ඉහත මා සඳහන් කළ රෑපරාමු පෙළින් යුතුවයි. මෙය ළමා කිරිපිටි වෙළෙඳ දැන්වීමකි.

සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා හසුරුවන දරුවන් තිදෙනෙකු විමසන ප්‍රශ්න හමු වේ වැඩිහිටියන් පුදුමයටත් සිනහවටත් පත් වන මේ දැන්වීම පිළිබඳ මෙවර 'කවුරුත් කතා කරන දැන්වීමක්' ඔස්සේ විමසා බලන්නට අපි කටයුතු කළා. මේ දැන්වීම පිළිබඳ පළමුව කතා බහට එක් වුණේ එහි අධ්‍යක්ෂ ශානක ගල‍බොඩයි.

"මේ ළමා කිරිපිටි දැන්වීම නිර්මාණයට මගේ දායකත්වය ලබාදුන්නේ මට දැන්වීම් ආයතනයක් මඟින් කරන ලද ඉල්ලීමකට අනුවයි. මගේ ක්ලයන්ට් ගේ අදහස් අනූවත් ප්‍රඩක්ෂන් ඒජන්සියේ සහයෝගය මතත් මේ දැන්වීම නිර්මාණාත්මක ලෙස ගොඩනඟන්නට වඩාත් පහසු වුණා. 'දරුවෝ කියන්නෙම නුවණක්කාර කතා' ඒ කියන්නේ ' Kids say the smartest things!' යන තේමාව යටතේ තමයි මේ දැන්වීම් පෙළ නිර්මාණය වුණේ. මගේ ක්ලයන්ට අවශ්‍ය වුණේ, මේ smartest jenaration එකට අවශ්‍ය නිසි පෝෂණය මේ දැන්වීමට අදාළ කිරිපිටි වර්ගය ඔස්සේ ලැබෙන බවට පාරිභෝගිකයන් දැනුම්වත් කිරීමටයි . ඒ නිසා ස්මාර්ට් කතා කියන මේ පොඩිත්තන් ගේ සැබෑ ස්වරූපයන් අළලා මේ දැන්වීම නිර්මාණය කරන්නට අපි කටයුතු කළා. මේ දැන්වීම තරමක් දීර්ඝවයි නිර්මාණය වුණේ. නමුත් විකාශනය වන කාලය අනූව එය සංස්කරණය කිරීමකට ලක් වුණා. නමුත් ඔන්ලයින් එකේ මේ සියලුම කොටස් සහිත දැන්වීම් පෙළ ඕනම කෙනෙකුට නරඹන්නට පුළුවන්. කුඩා පිරිමි දරුවෙක් තමාගේ රිමෝට් කාරය පදවමින් ඒරියල් එක කොට නම් සිග්නල් පොඩ්ඩයි.' යනුවෙන් පවසන අයුරුත්, දියණියක් වැඩිපුරම ගුණ අන්තිම බත් කට නම් මං ඒක විතරක් කෑවම ඇතිද? ' වැනි දරුවන්ගේ අපූරු ප්‍රශ්න ඇතුළත් සිදු වීම් පෙළක් මේ දැන්වීමේ තිබෙනවා. ඒ සියල්ල ඔන්ලයින් ඔස්සේ නරඹන්නට පුළුවන්. "ශානක පවසයි.

'මේ දැන්වීම වෙනුවෙන් Naturaly දරුවන්ගේ හැසිරීම් ඔවුන් පවසන දේවල් රූගත කිරීමට සැලැසුම් කළ නිසා දරුවන් හුඟ දෙනෙක් මේ වෙනුවෙන් Audition කරන්න සිදුවුණා. සති දෙකක් පමණ ඔවුන්ව තෝරාගන්නට කාලය ගත වුණා.ඒ අතරින් කිහිප දෙනෙක් තෝරා ගෙන ඔවුන්ගේ ස්වභාවික කතාබහ ඉරියව් අපි කැමරාවට හසු කර ගත්තා. එතැනදී ඔවුන් තම මව්පියන් සමඟ කතාබහ කරපු දේවල් ඇසුරින් තමයි මේ දැන්වීම් පෙළ නිර්මාණය වුණේ. මෙහි දර්ශන රූගත කිරිම් සිදු වුණේ ටී55 විලා එකේයි. ඒ වගේම තව අත්තිඩිය ප්‍රදේශයේ නිවෙසකත් රූගත කිරිම් කළා. කොහොමත් දින දෙකක් පමණ අපට රූගත කිරීම් කරන්නට සිදු වුණා. හුඟක් වෙලාවට කුඩා දරුවන් සමඟ මට වැඩ කරන්න ලැබෙනවා. ඔවුන් සමඟ ඔවුන් ගේ ලෝකෙට යන්න ඒ වෙලාවට අපිට සිදු වෙනවා. එවිට තමයි සාර්ථකව දරුවන්ගෙන් රංගනයක් ලබා ගන්නට පුළුවන්. මේ දැන්වීම නිර්මාණය කරත්දී අපිට හමු වූ දරුවන් හරිම දක්ෂයි. සමහර දරුවන් ලොකේෂන් එකේදී හැඩූ අවස්ථාත් තිබුණා. කොහොම වුණත් අදටත් මේ දැන්වීමට හුඟක් හොඳ ප්‍රතිචාර හිමි වෙනවා. ගෝනි බිල්ලගෙ කතාව අද සමාජයේ හුඟදෙනෙක් අතර තකාබහට ලක්වෙලා තිබෙනවා. මේ දැන්වීම සාර්ථක වෙන්න ඒ පිටුපස හිටි හැම දෙනාම බලපෑවා. විශේෂයෙන්ම අපේ ක්ලයන්ට් ගේ ඉඳල ප්‍රඩක්ෂන් ටීම් එකම ලොකු සහායක් ලබා දුන්නා. ඒ ගැනත් කතා කළ යුතුයි.

ප්‍රඩක්ෂක් හවුස් එක- X Ten ප්‍රසන්න කිතලගම, ඒජන්සිය BBDO, තිර රචනය සහ නිර්මාණාත්මක අධ්‍යක්ෂණය - රන්දීව් විජේසේකර, කැමරාකරණය- ධම්මික රත්නායක ,සහාය අධ්‍යක්ෂණය -නලින්ද ප්‍රේමරත්න, සංගීතය - නිෂෝ ප්‍රනාන්දු, සංස්කරණය- රංග සිංහාරගේ,වර්ණ සංයෝජනය- රොෂාන් එඩ්වඩ්, ඇඳුම් නිර්මාණය- හෂිනි නානායක්කාර, කලා අධ්‍යක්ෂණය- ඉමාල් දුෂ්මන්ත සිදු කළා.

මෙම සොඳුරු දැන්වීමේ තිර රචක , නිර්මාණාත්මක අධ්‍යක්ෂ රන්දිව් විජේසේකර මේ පිළිබඳව පවසන්නේ මෙවැන්නකි. "මේ ළමා කිරිපිටි වෙළෙඳ දැන්වීමේ තිර රචනය සිදු වුයේ මගේ අතින්. එහි දී අපේ ක්ලයන්ට ඕන වුණා ඔවුන්ගේ කිරිවල අඩංගු පෝෂණය පාරිභෝගිකයා වෙත ගෙන යන්නට. විශේෂයෙන්ම දරුවන්ගේ මොළයේ වර්ධනයෙන් සියයට 90ක්ම සිදු වන්නේ අවුරුදු 1ත් 5ත් අතර වන නිසා ඔවුන්ගේ කිරිවල ඇති සුවිශේෂී සංයෝග මඟින් ළමයින්ගේ මනස වර්ධනයට අවශ්‍ය පෝෂණය ලැබෙන බව ‍පාරිභෝගිකයා වෙත රැගෙන යාමටයි මේ දැන්වීම් පෙළ මා අතින් රචනා වුණේ. එය සාර්ථකව රචනා වී ඇති බව අපිට ලැබෙන ප්‍රතිචාර මඟින් පැහැදිළි වෙනවා. වයසට වඩා හිතන , හුඟක් දේගැන ප්‍රශ්න අහන දරුවන් ගැන කතා කරන්න තමයි මගේ ස්ක්‍රිප්ට් එකේදි මම මුලිකත්වය දුන්නේ.

මෙයට මගේ ටීම් එකේ හැම දෙනාගෙන්ම උපකාර ලැබුණා. පොඩිකාලෙ අපි අහපු කතන්දර වගේම විශේෂයෙන් අපි තෝරාගත් ළමයින් අතරින් ඒ අයගේ පොඩි පොඩි කතන්දර ඇසුරින් තමයි මේ නිර්මාණය සිදු කළේ. මේ විදිහට අපි සිදුවීම් හයක් ෂූට් කළා. නමුත් රූපවාහිනියේ එයින් තුනක් විකාශය වෙනවා. ඉතිරි ඒවා ඔන් ලයින් බලන්නට පුළුවන්. ඇත්තටම මේ කුඩා දරුවන් සමඟ වැඩ කිරීම අපිට හරි සුන්දර අත්දැකීමක් වුණා. ඔවුන් ස්වභාවයෙන්ම කරන දේවල් , කතාබහ,ඔවුන් කියන පැහිච්ච කතා, රොකට් හදල උඩ විසිකරන ඒවා අපි ඔවුනට නොදැනුවත්ව ෂුට් කළා. අද වන විට මේ දැන්වීම කොතරම් ප්‍රසිද්ධද කිව්වොත් ගෝනිබිල්ලගෙ කතාවට සම කරල හුඟක් කතා සමාජ ජාලා මාධ්‍යයේ පැතිරෙනවා. කොහොම වුණත් මේ දැන්වීම ඔස්සේ අපි සමාජගත කළ පණිවිඩය සාර්ථකව පාරිභෝගිකයන් අතරට ගිහින් ඇති බව පෙනෙනවා. එය ඇත්තටම සතුටක්."

 

Comments