
දේව මෑණියන් දර්ශනයවුණු මෙජිගෝරියේ කර්නිකා කන්දට...
අපගේ ගමනේ තුන්වැනි දිනය අප ආරම්භ කළේ තවත් ගුවන් ගමනකිනි. ඒ මෙම සංචාරයේ ප්‍රධානතම ගමනාන්තයක් වූ මෙජිගෝරියට (Medjugorge) යාම සඳහායි. (Medjugorje ; Medugorje ලෙස දැක්වෙන මෙම නම භාවිතයේදී ශබ්ධ කරන්නේ මෙජිගොරියේ හෝ මෙජිගෝරිය ලෙසිනි. මෙජිගෝරියේ යන නමෙහි අර්ථය කඳු අතර යන්නයි.
ප්‍රසාදි මෙම ගමන සංවිධානය කර තිබුණු පරිදි අප නැවතී සිටි හෝටලයෙන් පිටත්ව හිමිදිරි උදෑසනින් රෝම ගුවන් තොටුපොළ වෙත ගියේ ක්‍රොඒෂියාවේ ස්ප්ලිට් ගුවන් තොටුපොළ දක්වා යාමටය. ගමන් බලපත් සහ ගුවන් ප්‍රවේශපත් පරීක්ෂා කිරීමෙන් අනතුරුව අප වීලින් (Vueling) ගුවන් සේවයට අයත් ගුවන් යානයකට ගොඩවීමු. පැයක පමණ ගුවන් ගමනකින් පසුව ස්ප්ලිට් ගුවන් තොටුපොළ වෙත ළඟාවිය හැකිය. රෝම ගුවන් තොටුපොළෙන් ගුවන් ගතවුණු යානය Adratic මුහුදට ඉහළින් පියාසර කර ස්ප්ලිට් ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීම සඳහා පහත් කරද්දී තද නිල් පැහැති මුහුදත් මුහුද අද්දර කඳු පන්තියත් අලංකාර ලෙස දිස්වෙයි.
ස්ප්ලිට් ඉතා කුඩා ගුවන් තොටුපොළකි. ගුවන් යානයෙන් බිමට බැස හාත්පස නෙත් යොමු කරද්දී ඉතාමත් දැකුම්කලු මනරම් කඳු පන්තිය නෙත ගැටෙයි. අප එයින් පිටතට පැමිණ බස් රථයට ගොඩවීමු. මෙතැන් සිට අප මෙජිගෝරියට යාම සඳහා කිලෝමීටර් 170 ක දුරක් ක්‍රොඒෂියාවේ දේශ සීමාව පසුකර බොස්නියාවට ඇතුළු වී යායුතුය.
මෙජිගෝරිය යනු බොස්නියාව සහ හර්සගෝවිනා යන රටවලට අයත් බටහිරට වන්නට පිහිටි නගරයකි. මෙය ක්‍රොඒෂියා බොස්නියා දේශ සීමාවට නිරිත දිගට වන්නට පිහිටා තිබේ. ක්‍රොඒෂියාව බොස්නියාව යන රටවල් ඉතා දිගු කාලයක සිට යුද්ධයෙන් පීඩාවිඳි රටවල් වුවත් ඔවුන් ඉතා ඉකිමනින් යළි යථා තත්වයට පැමිණ ඇති බව අවට අලුතින් ඉදිකර ඇති නිවාස ගොඩනැගිලි ආදියෙන් දැකගත හැකිය.
මෙජිගෝරිය දක්වා ගිය ගමනේදී අවට පරිසරය හොඳින් දැකගත හැකි අතර බොහෝවිට නෙත ගැටෙන්නේ තරමක විශාල කඳු ගැට වලින් සැදුණු කඳු පන්තිය. අපේ රටේ කඳු තද හරිත පැහැයෙන් යුතු වන නමුත් මෙම කඳු තරමක දුඹුරු පැහැය ගෙන ඇත්තේ පාෂාණ සහ වියළි ගස් කොළන් නිසාය.
ක්‍රොඒෂියා දේශ සීමාවේ ආරක්ෂක පරීක්ෂාකිරීම් සඳහා පැයක පමණ කාලයක් ගතවුණු නමුත් මධ්‍යහනය විමට පෙර අපට මෙජිගෝරියට ළඟාවීමට හැකිවිය. අපට නවාතැන් ගැනීමට පිළියෙල කර තිබුණේ Herzeg හෝටලයයි. ඉතාමත් සුහදශීලී ලෙස හෝටලයෙන් අපට පිළිගැනීමක් ලැබිණි.
බොස්නියා (Bosnia ) සහ හර්සගොවිනා (Herzegovina) යන රටවලට ඉතා දිගු ඉතිහාසයක් තිබේ. ක්‍රි.ව. 1463 සුල්තාන් මෙහෙමට් 2 ගෙන් ඇරැඹුණු ඔටෝමන් (Ottoman ) පාලන යුගය 1878 දක්වා මෙහි තිබී ඇති අතර ඔටෝමන් අධිරාජයා සහ නැගෙනහිර ඕර්තඩොක් පල්ලිය අතර ඇතිවුණු යුද්ධයෙන් පසු මෙහි පාලනය පිළිබඳව සම්මුතියක් ඇතිවී තිබෙනවා.
මෙම යුද්ධයට රුසියාව සහ තුර්කිය මැදිහත් වී ඇති අතර මෙය හඳුන්වන්නේ Russo - Turkish War නමිනි. එම සම්මුතියට අනුව මෙහි පාලනය ඔස්ට්‍රියාවට සහ හංගේරියාවට පැවරී තිබෙනවා. යළිත් 1991 සිට 1992 අතර බොස්නියන් යුද්ධයට මැදිවුණු මෙම රටවල වත්මන් පාලකයා වන්නේ Dragan Covic ය.
දැන් අප මෙජිගෝරිය කතෝලික බැතිමතුන්ට වැදගත් ස්ථානයක් වී ඇති හේතුව පිළිබඳව විමසමු. 1566 කාලය දක්වා මෙහි තාපසාරාම තිබුණු බවත් සුසාන භූමි වල මධ්‍යතන යුගයේ සොහොන් වලින් සනාථ වී තිබෙනවා.
මෙහි කතෝලික සභාවක් ආරම්භ කර ඇත්තේ 1892 දී මෙස්ටා ප්‍රදේශයේ රදගුරුතුමා ලෙස සේවය කළ පැස්කල් බුකොන්ජික් පියතුමා විසිනි. මෙජිගෝරිය කතෝලික ජනතාව අතර ප්‍රසිද්ධියට පත්වූයේ 1981 වසරේදී දේව මෑණියන් දර්ශනය වීමේ සිදුවීමෙන් පසුවයි.
1981 ජූනි 24 වැනිදා එවකට 15 වැනි වියේ පසුවූ ඉවන්කා ඉවාන්කොවික් (Ivanka Ivankovic ) සහ 16 හැවිරිදි මිර්ජනා ඩ්‍රැගියොවික් ( Mirjana Dragiovic) ( Crnica hill ) කර්නිකා නම් කන්ද අසලින් ගමන් කරද්දී සුදු හැඳගත් කාන්තාවක් දර්ශනය වී තිබේ.
ඇය අතේ කුඩා දරුවකු සිට ඇති අතර මෙම දෙදෙනා මේ බව අනෙක් අයට පවසා ඇති නමුත් එය එතරම් ගණනකට ගෙන නැත. යළිත් පසුදා මෙම කන්ද අසල පදිංචිව සිටි 16 හැවිරිදි විකා ඉවාන්කොවික් ( Vicka Ivankovic ), 16 හැවිරිදි ඉවාන් ඩ්‍රැගිවෙවික් ( Ivan Dragivevic ),16 හැවිරිදි මාරිජා පැවුලොවික් ( Marija Pavlovic) සහ 10 හැවිරිදි ජාකොව් කොලෝ ( Jakov Colo) යන දරුවන් සිව්දෙනාටත් මෙම දරුවකු අතින් ගත් කාන්තාව කන්දේ මුදුනේදී හමුවී ඇති අතර ඇය තමන් දෙව් මවුන් බව පවසා තිබේ.
මේ බව එම දරුවන් සිව් දෙනාද ගම් වාසීන්ට පැවසීමෙන් පසු සිදුවීම සත්‍ය බව පිළිගන්නට සිදුවිය. ඉන්පසු මහජනතාව දේව මෑණියන් දැකගැනීම සඳහා මෙම කන්ද වෙත යාමට පටන් ගෙන ඇත.
එවකට පැවැති පාලනය විසින් මෙම කන්දට යාම තහනම් කර ඇති අතර බැතිමතුන් පූජාකරන පඬුරු පොලීසියෙන් රැගෙන ගොස් ඇතැයි පැවසෙනවා. එහෙත් එසේ කන්දට යාම තහනම් කළ පසු දේව මෑණියන් වෙනත් ස්ථාන වල දර්ශනය වී ඇති අතර එතැන් සිට මෙම කන්‍යා මරිය තුමිය වරින් වර දර්ශනය වෙමින් සාමයෙන් ජීවත්වන්නැයි ඉල්ලමින් විවිධ පණිවුඩ කියන බව පැවසෙනවා.
එදා ගැටවර වියේ පසුවූ දරුවන් අද වැඩිහිටියන් වන අතර, තවමත් දේව මෑණියන් ඔවුනට දර්ශනයවන බවත් විවිධ පණිවුඩ දෙන බවත් කියනවා. සෑම මාසයකම 25 වැනිදා මරීයාට දේව මෑණියන් දර්ශනය වන බවත් මිර්ජනාට සෑම මාසයකම දේව පණිවුඩයක් ලබා දෙන බවත් පැවසෙනවා. මෙම කන්ද පාමුල නිවෙසක පදිංචිව සිටි විකා වයස 16 දී දුටු අවස්ථාවක රහස් 9 ක් ලබා දුන් බවත් රෝගී වූ අය වෙනුවෙන් යාඥා කරන ලෙස ඉල්ලූ බවත් විකා පවසා තිබෙනවා. එසේම ඉන්පසු දේව මෑණියන් දිනපතාම විකාට දර්ශනය වී දේව මෑණියන්ගේ ජීවිත කතාව පවසා ඇති අතර, වසර දෙකක් පුරා පවසා ඇති මෙම කතාව විකා විසින් සටහන් පොත් දෙකක් පුරා ලියාගෙන ඇත. ඇය එම කතාව පල කිරීමට දේව මෑණියන් අවසර ලබාදෙන තෙක් බලා සිටිනවා.
දේව මෑණියන් දර්ශනය වීමේ මෙම සිදුවීම් මාලාව සැල වීමෙන් පසු අද වන විට ලොව පුරා කතෝලික බැතිමතුන් මෙම ශුද්ධවූ කර්නිකා කන්ද තරණය කිරිමට පැමිණෙනවා. 2010 වසරේ 16 වැනි බෙනඩික් පාප් වහන්සේ මේ පිළිබඳව කරුණු සෙවීමට කමිටුවක් පත් කර ඇති අතර එම කමිටුව විසින් මේ පිළිබඳව කරුණු රැස් කිරීම 2014 ජනවාරි 16 වැනිදා අවසන් කර තිබෙනවා. 1981 වසරේ දේව මෑණියන්ගේ දර්ශනය වීම සත්‍ය බව පිළිගැනෙන නමුත් ඉන්පසු සිදුවන දර්ශනය විම් තවදුරටත් අධ්‍යයනය කිරීම සිදුවනවා. ඒ අනුව 2017 වසරේ පුජකවරු කණ්ඩායමක් ඒ පිළිබඳව අධ්‍යයනය කරන අතර කතෝලික සභාවෙන් තවම නිල වශයෙන් ස්ථිරව තහවුරු කර නැහැ. කෙසේ වෙතත් මේ වන විට ලොවපුරා කතෝලික බැතිමතුන් මෙම ස්ථානය වන්දනාමාන කිරීම සඳහා පැමිණෙන අතර මෙම සංඛ්‍යාව වසරකට මිලියනයක පමණ වනවා. එසේම මේ දක්වා මිලියන 30 කට අධික පිරිසක් මෙජිගෝරිය වෙත පැමිණ තිබෙනවා.
අප මෙම පූජනීය කන්ද වෙත යන්නට සැලසුම් කර තිබුණේ පසුදින උදෑසනින්මය. අපට මඟ පෙන්වන්නට 26 හැවිරිදි නිකොලා නම් තරුණයා පැමිණ සිටියේය. දේව මෑණියන් දර්ශනය වූ මෙම කන්ද ( Crnica hill ) දැඩි පාෂාණ වලින් යුතු නිසා ගමන දුෂ්කරය. බොහෝ දෙනකු මේ නිසා සැරයටියක් භාවිතා කරන්නට පුරුදු වී සිටියි. සාමාන්‍යෙයන් මෙම සැරයටියක් යුරෝ එකකට මිලදී ගත හැකි අතර කන්ද තරණය කිරීමෙන් පසු සෑම කෙනකුම පාහේ තමන් නැවතී සිටි හෝටලයේ මේවා දමා යන බැවින් හෝටලයෙන් සැරයටි නොමිලයේ ලබා දෙයි. අප නැවතී සිටි හෝටලයේ සිට කන්ද වෙත ටැක්සියකින් ගමන් කළ යුතු වූ අතර 4 දෙනකු රැගෙන යාම සඳහා මෙම ටැක්සියකට යුරෝ 5 ක් අය කරයි. මමත් මගේ බිරියත් අනිල් සහ රුවිණි යුවළත් එක් ටැක්සියක කන්ද පාමුලට ගමන් කළෙමු. අප කණ්ඩායමේ සියලු දෙනාම පාහේ දීපානී පැවිදි සොයුරිය පෙරටුකොටගෙන මෙම කන්ද තරණය කිරීමට එක් වුහ.
කවදත් මෙවැනි ගමන් වලදී අනුන් වෙනුවෙන් කැපවන ප්‍රශාන්ත මානෙල් ගුරුතුමියට කන්ද තරණය කිරීමට උදව් කිරිමට ඉදිරිපත්විය.කන්ද පටන් ගන්නා ස්ථානයේ විකාගේ නිවෙස දැකිය හැකිය. ඇගේ නිවෙසේ කුඩා මිදුලට සෙවණ සපයමින් මිදි වැලක් වවා ඇති අතර එහි සරුසාර ලෙස මිදි පල දරා තිබිණි. අප සෙමෙන් සෙමෙන් දේව මෑණියන්ට ජපමාලය කියමින් කන්ද තරණය කිරිම ආරම්භ කළෙමු. විවිධ රටවලින් පැමිණි දහස් ගණන් බැතිමත්හු කණ්ඩායම් ලෙස සැදී යාඥා කරමින් කන්ද තරණය කරති. විශේෂත්වය වන්නේ මේ කිසිම කෙනකු අනෙකා අභිබවා කන්ද නගින්නට උත්සාහ නොකර එක් කණ්ඩායමක් ගිය පසු අනෙක් කණ්ඩායම ලෙස සෙමෙන් සෙමෙන් මෙහි ඉහළට නැගීමයි.
හිරු රැස් ක්‍රමයෙන් දැඩි වුවද එය ගණනක් නැත. ඒ හාත්පස සෙවණ දෙමින් නැගී සිටින දැවැන්ත ගස් නිසාවෙනි. තරමක වියළි පරිසරයක් නිසා මෙහි වැවී ඇත්තේ පයිනස් , කටු පඳුරු වැනි ශුෂ්ක වනාන්තර වල දක්නට ඇති ශාඛ වර්ගයි. හෝරා ගණනාවක් ගෙවා අඩියෙන් අඩිය තබමින් ගල් වැටි තරණය කරමින් අප කන්ද මුදුනට පැමිණියෙමු. කන්ද මුදුනේ ධවල වර්ණයෙන් කරන ලද දේව මෑණියන්ගේ ප්‍රතිමාවකි. මෙහි එන සෑම දෙනෙක්ම දේව මෑණියන්ගේ පිළිරුවට අත තබා ආශිර්වාද ලබා ගනී. එසේම කන්ද මුදුනේ ගල් තලාවක්මත වාඩිවී භාවනාවක යෙදෙන්නට අමතක නොකරති.
එසේම තවමත් වරින් වර අහසේ විවිධ අවස්ථාවල වර්ණ වෙනස්වීම්, වලාකුළු වල වන වෙනස්වීම් මෙන්ම හිරුගේ දීප්තියේ ඇතිවන වෙනස්වීම් සිදුවන බව පැවසෙයි. අප හෝරාවක් පමණ කන්ද මුදුනේ නැවතී යාඥා මෙහෙයක යෙදී සිට ආපසු එන්නට සූදානම් වීමු. කන්ද බසින්නට ඇත්තේ වෙනත් මාර්ගයකි. ඒ කන්ද තරණය කරන අයට බාධාවක් නොවන ලෙස භක්තියෙන් යුතුව එය කළ යුතු නිසාය. හෝරාවක පමණ කාලයකින් පසු අප කන්ද පාමුලට පැමිණියෙමු.
ලබන සතියේ තව කොටසක්.