
අපට ගස්වැල්වල පිහිට අවශ්‍යවන්නා සේ ම ගස්වැල්වලට ද අපේ පිහිට අවශ්‍ය වේ. ගස්වැල්වලට අපේ ඇසුර අවශ්‍ය ද යන්න නොදනිමි. එහෙත් අපට ගස්වැල්වල ඇසුර අවශ්‍යය. මිනිසුන් වන අපට බොහෝ හොඳ ගතිගුණ ගස්වැල් වෙතින් ඉගෙනගත හැකිය. සමහරවිට ඒවා මිනිසුන්ගෙන් ඉගෙන ගැනීමට නොහැකිය.
ගස්වැල්වලට අපේ ඇසුර අවශ්‍ය නොවේයැයි කීවාට ඇතැම් විද්‍යාඥයන් විසින් ගස්වැල්වලට ද අපේ ඇසුර අවශ්‍ය බව ඔප්පු කර ඇත. මිනිස් ඇසුරේ ළමයි කෑකෝ ගසන පාසල්වල වැවෙන ගස් වෙනත් ගස්වලට වඩා පලබර වනු බව කියනු ලැබේ.
අප වගාව ඉගෙනගත්තේ පාසලෙන් නොවේ. පාසල් විෂයයක් වශයෙන් ද නොවේ. වගාව ගැන අප උගත්තේ ගෙදරිනි. අතීතයේ දී නම් අපේ රටේ සියලු දෙනාටම ඒ ඉගෙනුම ගෙදරින් ම ලැබුණි. ගහක් කොළක් වගා නොකරන ගෙයක් රටේ නොතිබුණු බැවිනි. එහෙත් අද එය එසේ යැයි කිව නොහැකිය. ගහක් වැලක් නැති නාගරික නිවාස බොහෝ සේ තිබේ. අනිත් අතට ඇතැම් නාගරික ගෙවල්වල ඇති මල් පැළ ආදි දේ තමන් වවාගත් පැළවලට වඩා පෝච්චි පිටින් ගෙදර ගෙනා ඒවාය.
නාගරික මධ්‍යම පන්තියේ බොහෝ දෙනා තමන්ගේ දරුවන් සංගීත නැටුම් පන්තිවලට යැවීමට උනන්දු වෙති. නැතිනම් ඉගෙනුමට අමතරව වෙනත් ක්‍රීඩා ආදි දේට යොමු කිරීමට උත්සුක වෙති. ඒවා ජීවිතයට අත්‍යවශ්‍ය සේ දකිති. එසේම මගේ අදහස නම් සෑම ළමයකුටම වගාව ගැන ද මේ දැනුමක් හෝ තිබිය යුතුය. සුරතල් සතුන් ඇසුරට ළමුන් ආසාවක් දක්වති. එසේම පුංචි මිරිස් පැළයක බණ්ඩක්කා පැළයට වුව ද එබඳුම හුරතලයක් පවතියි. ඒ හුරතලය ළමුන් දැන සිටිය යුතුය. හඳුනාගැනීමට ළමයින්ට අවස්ථා ලැබිය යුතුය.
පුංචි මිරිස් පැළයකට දවසක් වතුර නැතිවුවොත් මැලවී යැයි, එහෙත් වතුර දමා මිනිත්තු කීපයකින් පණ ලබා ප්‍රාණවත් වී හිනැහෙයි. මෙවන් අත්දැකීම් ළමුන්ට අවශ්‍යය. අප කළ සාත්තුවට කළගුණ සලකමින් මිරිස් කරලක් රැගෙන හිනාවෙන මිරිස් පැළ ගැන ළමුන්ට අත්දැකීම් තිබිය යුතුය.
ගෙදර හදාගන්නා ගොටුකොළ හෝ වෙනත් භෝගයක් කඩෙන් ගෙන එනු ලබන එකකට වඩා කොතරම් රසවත් ද යන්න ළමුන් දැන සිටිය යුතුය. ඒ අධ්‍යාපනය බොහෝ විට අද පාසල්වලින් නොලැබේ. ඒ නිසා ගෙවල්වලින් ම ලැබිය යුතුමය. මෙහිදී ගුරුවරුයා හෝ ගුරුවරිය වීමට සිදු වන්නේ තාත්තාට හෝ අම්මාටය.
අපට අපේ තාත්තාලා පාත්ති වටේ දැවටෙමින් දරුවන්ට මෙන් පැළවලට සාත්තු සප්පායම් කළ ආකාරය පිළිබඳ මතක ඇත. ගෙවිතැන ද නාට්‍යය සංගීතය හා වෙනත් බොහෝ දෑ මෙන් ආස්වාදනී ක්‍රියාය. එයින් ලැබෙන ආස්වාදය හා වින්දනය සඳහා වෙනත් ආදේකයක් ද නැත.
එක් කලක ගොවිතැන් කිරීම පිළිබඳ කොම්පියුටර් ගේම් එකක් ඇතැම් යෞවනයෞවනියන්ට උමතුවක් වී තිබුණේ සමහර විට මේ ආසාව සහජයෙන් ම එන්නක් නිසා ද විය හැකිය. එයට බොහෝදුරට ලොල් වී සිටි අයගෙන් සෑහෙන පිරිසක් මහපොළොවේ පාත්තියකට පය ගසා නැති නාගරික යෞවනයෞවනියන් යැයි සිතමි.
පොතක් පතක් කියවන්නා සේ ම ගහකොළ කියැවීමට අප දැන සිටිය යුතුය.
සංගීතයට සවන් දෙන්නා සේ ම ගහකොළට පැළයකට සවන්දීමට අප ඉගෙනගත යුතුය. නැටුමක් නාට්‍යයක් බලන්නා සේම බටු පැළයක් සුළඟේ නටන අයුරු දැකීමට අප ආසා කළ යුතුය. ගහ කොළ සමඟ කතා කිරීමට ද ජීවත්වීමට ද ඉගෙන ගැනීමෙන් තොරව මිනිස් දිවිපෙවත අර්ථවත් නොවේ.
උදයසිරි