
අද ද හරි වහරෙහි ලා වෙසෙසින් විමැසිල්ලට ලක් වනුයේ සංස්කෘත තත්සම කිහිපයෙක හරි වහර යි. එ ද නිතර වහරෙහි වරදවා යෙදෙන බැවිනි.
1. ඥානවෘද්ධ - ඥාන යනු සංස්කෘත බව ද ඤාණ යනු පාලි බව ද කලින් දක්වනු ලැබිණ. එ හෙයින් සංස්කෘත වචන හා සමාස වැ ‘ඥාන’ යනු යෙදීමේ අවශ්‍යතාව ද විස්තර කැරිණි. ඒ අනුව, වෘද්ධ යනු සංස්කෘත හෙයින් ඒ හා ඤාණ යනු නො ව ඥාන යනු ම යෙදීම මැනැවි. ‘ද්ධ’ අක්ෂර සංයෝගය ‘ඬ’ යැ යි ලියන (වඩාත් පැරැණි) විදිය අනුව ‘ඥානවෘඬ’ යැ යි : ලිවිය හැකි ය. ඥානයෙන් වැඩුණු, පරිණත වූ යනු මෙහි වදන් අරුත යි.
ඥාන සම්ප්‍රයුක්ත, ඥාන ශක්ති, ඥානාක්ෂි ආදිය ද මෙ සේ ම ඥාන යොදා ලිවිය යුතු සංස්කෘත තත්සම වෙයි.
2. ජ්‍යාමිති - මෙහි ‘ජ’ හා යංශය ද ඒ හා ම ඇල පිල්ල ද ‘මි’ අකුරට පසු වැ (අල්ප්‍රාණ) ‘ති’ ද යෙදෙන සැටි කෙරෙහි මනා සැලැකිල්ල යොමු කළ යුතු යි. ‘ජ්‍යාමිති’ යන්නෙන් ගැනෙනුයේ රේඛා ගණිතය යි.
3. ඥේය - සංස්කෘත තත්සමයක් බැවින් මෙහි දු ‘ඥ’ යෙදෙන බව සැලැකිය යුතු යි. ‘ඥ’ යනු ‘ඊය’ ප්‍රත්‍යයය හා එක් වීමෙන් නිපැදුණු මෙහි අරුත වනුයේ දැනැගත යුතු, දැනැගත මනා යනු යි. ඥේය යන්න හා අනුරූප වැ පාලියෙහි ඤ්‍යෙය යනු යෙදේ. ඤ්‍යෙයධම්ම ආදි තන්හි මෙනි. සිංහලයෙහි එයට අනුරූප වනුයේ නේ යනු යි.
4. ජ්‍යෙෂ්ඨ - වත්මන් වහරෙහි බෙහෙවින් වරදවා යොදන සංස්කෘත තත්සමයක් ලෙස මෙය සැලැකිය හැකි යි. ජේෂ්ඨ, ජේෂ්ට, ජ්‍යෙෂ්ට ආදි නොයෙක් සාවද්‍ය රූප. වහරෙහි යොදනු දැක්ක හැකි යි. මෙහි මුලින් කොම්බුව ද ඉක්බිති වැ ජ හා බැඳුණු යංශය (ජ්‍ය) ද (මූර්ධජ) ෂ් හා (මහාප්‍රාණ) ඨ ද යෙදෙන අයුරු කෙරෙහි මැනැවින් අවධානය යොමු කළ යුතු ය. ඇතැමුන් මෑතෙක සිට මෙහි යංශය හල් ලකුණ සහිතව වැ ලියනු ද දැකිය හැකි ය. එ නම් ‘ජ්‍යේෂ්ඨ’ යනුවෙනි. එද වරදෙකි. යංශය සියලු කල්හි පූර්ව ව්‍යඤ්ජනය හා බද්ධ වැ සිටී. එය වෙන් කොට (වෙන ම අකුරක් සේ) ලියනු ව්‍යක්ත සම්ප්‍රදායය නො වේ. එහෙත් දැන් ඉතා වැඩි දෙනකු ලියන්නේ එය (පෙර අකුරට නො ගාවා) වෙන ම අකුරක් ලෙසිනි. මුද්‍රණ මාධ්‍යයෙහි යෙදෙනුයේ ද එ සේ ම ය. එහි වරද බොහෝ දෙන නොදනිති.
ජ්‍යෙෂ්ඨ යනු බොහෝ දෙනකු උච්චාරණය කරනුයේ ද ජෙයෂ්ඨ, ජේෂ්ඨ ඈ ලෙසින් වරදවමිනි. එහි නිවැරැදි උච්චාරණය වනුයේ ‘ජ්යේෂ්ඨ’ යනු යි.
මෙහි වඩාත් ප්‍රකට අර්ථය වනුයේ වැඩිමහලු යනු යි. එ වුව ද සංස්කෘතයෙහි තව ද අරුත් කිහිපයක් මෙ වදනින් ගැනේ. නැකැතකුදු (දෙට) මෙ නමින් ගැනේ
ජ්‍යෙෂ්ඨ හා අනුරූප වැ පාලියෙහි ජෙට්ඨ යනු ද සිංහලයෙහි දෙට / දෙටු යනු යෙදේ.