ට්‍රැජඩි ඇගයුම | Page 2 | සිළුමිණ

ට්‍රැජඩි ඇගයුම

කලකට පෙර සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද “විශ්ව සාහිත්‍යය” නම් ලිපි එකතුවට ප්‍රවීණ නාට්‍යවේදී බන්දුල ජයවර්ධනයන් විසින් සපයන ලද ලිපියේ මෙසේ සඳහන් ය: ‘ග්‍රීක දෘශ්‍ය කාව්‍ය හැදෑරීම වැදගත් වන්නේ ඓතිහාසික හේතු නිසාම නොවේ. වැදගත් කාරණය නම් එදා ග්‍රීකයන් බිහි කළ නාට්‍ය කෘති රාශියක් ම සමකාලීන ප්‍රමිත අනුව, නූතන රසඥතාව අනුව ලොව ඇති ශ්‍රේෂ්ඨතම කාව්‍ය කෘති ලෙස පිළිගත හැකි බැවිනි. ඊස්කීලස්ගේ ‘ඔරෙස්ටියා’ ත්‍රිත්වයත්, සොෆොක්ලීස්ගේ ‘ඊඩිපස් රජ’ නාට්‍යයත්, යුරිපීඩස්ගේ ‘මීඩියා’ නම් නාට්‍යයත් ලොව පවතින නාට්‍ය අතරේ අග්‍රගණ්‍ය ශෝකාන්ත වශයෙන් සැලකේ..........’

ග්‍රීක සම්භාව්‍ය සාහිත්‍යය ඉතිහාසය සහ ඒ පිළිබඳ ලියැවුණු නොයෙකුත් නිබන්ධ කියවන විට පැහැදිලි වන කාරණයක් නම් ට්‍රැජඩි නාට්‍ය කෙරේ වියත් අවධානය ආරම්භයේ සිට ම යොමු ව පැවැති බවයි. පෙර සඳහන් දියොනියස් දෙවිඳුන්ට පුද පිනිස අරැඹි ඇතැන්ස් සිව් වාර්ෂික සැණකෙළිවල නාට්‍ය තරගවල දී සහ ප්‍රදර්ශනයේ දී හතරකින් තුනක් ට්‍රැජඩිවලට වෙන් කිරීමෙන් ඒවාට ලැබී තිබූ වැදගත්කම වටහා ගත හැකි ය. කොමඩි නාට්‍යවලට ඒ වැදගත්කම නොතිබිණි. ඒ ගැන මහාචාර්ය කමණි ජයසේකර දක්වන්නේ මෙබඳු අදහසකි:

‘....... කොමඩිවල ඉතිහාසය පිළිබඳ තිබෙන අපැහැදිලි තත්ත්වයට හේතු වන්නේ එය සැලකිය යුතු තත්ත්වයකින් පැරැණියන් විසින් ගණන් ගෙන නොතිබුණ නිසා ය. එහෙත් ඇරිස්ටොටල් මෙය (ට්‍රැජඩි) අවධානයට ගෙන එන්නේ එහි විශේෂත්වයක් දුටු නිසා විය හැක. දුඃඛ ජනිත නාට්‍ය සම්පාදනය කරන ලද්දේ උසස් මානසික මට්ටමකින් සිටි පුද්ගලයන් වන අතර ඔවුන්ගේ නිර්මාණවලින් නියෝජනය වන චරිත හා හැසිරීම් රටා සාමාන්‍ය මනුෂ්‍යයන්ගේ මට්මට වඩා උසස් වූයේ ය. ට්‍රැජඩි අනුකරණය කරන්නේ:

1.මනුෂ්‍යයන්ගේ ක්‍රියාකාරකම් (proxis) 2. මනුෂ්‍ය චරිත (ethos) සහ 3. මනුෂ්‍ය සිතුම් (dianoia) ය.

දුඃඛ ජනිත නාට්‍යයකින් නියෝජනය වන්නේ අපගේ දැඩි අවධානය යොමු විය යුත්තා වූ ද, තරමක් උසස් කර පෙන්වන ලද්දා වූ ද, සම්පූර්ණ ක්‍රියාවලියකි. ඒ ක්‍රියාදාම නියෝජනය කරනු ලබන්නේ කථනයකින් නොව ක්‍රියාවන් මාර්ගයෙනි. භාෂාව හා වෙනත් කලාත්මක උපක්‍රම මාර්ගයෙන් නාට්‍ය සාරවත් කර ගැනීමට හැකි වන අතර අවශ්‍ය අවස්ථාවල සංගීතය හා ගායනය මේ සඳහා උපයෝගී කර ගත හැකිය. නාට්‍ය මාර්ගයෙන් භාව උද්දීපනය සිදු වන්නේ පාඨක සිත්හි ජනිත කරවනු ලබන අනුකම්පාව හා බිය යන හැඟීම්වල ප්‍රතිඵලයක් වශයෙනි.’

(ජයසේකර, කමනී - ග්‍රීක සම්භාව්‍ය සාහිත්‍ය විචාර - ගොඩගේ කොළඹ 2010 - 120 පිට)

භාව උද්දීපනය යනු ආවේග දැල්වීමයි. එය සිදුවන්නේ පාඨක සිත්හි උපද්දවනු ලබන කරුණ සහ භයානක රස නිසා ය. ඒ රසවලට හේතු කාරක වනුයේ ශෝකය සහ භීතිය යන භාව ය.

ඇරිස්ටෝටල්ගේ ගුරුවරයා වූ ප්ලේටෝ ට්‍රැජඩි නාට්‍යවලට දැඩි විරෝධයක් දැක්වූයේ මේ කරුණ නිසා ය. ( ඒ පිළිබඳ ව වෙන්ව ගෙන සාකච්ඡා කළ යුතු ය.) එහෙත්ඇරිස්ටොටල් සිය Poetics නමින් ඉංග්‍රිසියට පරිවර්තනය වී ඇති කෘතියේ 6 වන පරිච්ඡෙදයේ ප්ලේටෝගේ මතයට ඉඳුරා වෙනස් මතයක් පළ කරයි.මේ උධෘතය මහැදුරු සුරවීරයන් විසින් සිංහලයට පෙරළන ලද ඒ කෘතියෙනි.

‘6 වන පරිච්ඡෙදය - ශෝකෝත්පාදක නාට්‍යය පිළිබඳ විස්තර - වීර කාව්‍යය සහ හාස්‍යොත්පාදකය ගැන පසුව සාකච්ඡා කරනු ලැබේ. දැන් ශෝකෝත්පාදකය ගැන කරුණු දක්වමු. මෙතෙක් ඉදිරිපත් කරන ලද කරුණු පදනම් කැර ගෙන ශෝකෝත්පාදකයේ මූලික ලක්ෂණ ආශ්‍රයෙන් එහි අර්ථකථනය යළි සිහිපත් කරනු වටී. ශෝකෝත්පාදකය වූ කලී යම් පරිමාණයකින් යුක්ත වූ ද, පරිපූර්ණ වූ ද, යහපත් ක්‍රියාවක අනුකරණයක් වන අතර වෘත්තාන්ත ස්වරූපයෙන් නොව පාත්‍රවර්ගයාගේ ක්‍රියාකාරීත්වය පදනම් කැර ගනු ලැබුවා වූ ද එක් එක් කොටසට උචිත පරිදි සකස් කැරැණු රමණීය භාෂා ප්‍ර යෝග භාවිතයෙන් සාරවත් වූ ද කාරුණ්‍යය සහ භය මුල් කැර ගෙන අපේක්ෂිත භාව විශෝධනය සිද්ධ කරනු ලබන්නා වූ ද නිර්මාණයක් වෙයි.

“රමණීය භාෂා ප්‍රයෝග භාවිතය” යන්නෙන් මා අදහස් කරන්නේ රිද්මය, ස්වර මාධූර්යය, සහ සංගීතය යන මෙයින් රමණීය වූ භාෂාව උපයෝගී කැර ගැනීම ය. “ එක් එක් කොටසකට උචිත පරිදි” යන්නෙන් අදහස් කෙරෙනුයේ ඇතැම් කොටස් වෘත්ත බන්ධනයෙන් පමණක් ඉදිරිපත් කෙරෙන අතර ඇතැම් කොටස් සඳහා සංගීතය ද උපයෝගී කරනු ලැබීම ය.

කවීන් විසින් අනුකරණ ඉදිරිපත් කෙරෙනුයේ පාත්‍රවර්ගයාගේ ක්‍රියාකාරීත්වයෙන් නිසා ශෝක්පාදකයේ මූලික වූ ද, අවශ්‍ය වූ ද අංගයක් වනුයේ ප්‍රේක්ෂා සකස් කිරීම ය. දෙවනුව සංගීතය හා වාග් විලාසය ද වැදගත් වනුයේ මේවා අනුකරණ මාධ්‍ය වන හෙයිනි.’

(සුරවීර, මහාචාර්ය ඒ.වී; - ඇරිස්ටොටල් කාව්‍ය ශාස්ත්‍රය - 2016 සරසවි කොළඹ - පිට 75)

ඇරිස්ටො­්ටල් පෙන්වා දෙන්නේ ට්‍රැජඩි නාට්‍යවලින් භාව විශෝධනයක් (catharsis/catharsis) සිදුවන බව ය.

ඉහත ඉංග්‍රිසි පදය වෛද්‍ය ශාස්ත්‍ර යේ විරේකය යන්නට යෙදේ. ඇරිස්ටොටල් සිය කෘතියේ ඒ පදය යොදා ගන්නේ එක ම එක වරක් පමණක් බව පෙන්වා දෙන මහැදුරු සුරවීර ඇරිස්ටෝටල්ගේ දේශපාලන විද්‍යාව නම් කෘතියේ උද්ධෘතයකින් භාව විශෝධනය ගැන ඇරිස්ටොටල්ගේ අදහස ඉදිරිපත් කරයි. (බලන්න: ඉහත දැක්වෙන ‘ඇරිස්ටොටල් කාව්‍ය ශාස්ත්‍රය’ කෘතියේ 44, 45 පිටු) ඇරිස්ටෝටල් පෙන්වා දී ඇත්තේ ප්‍රෙක්ෂකයන් වර්ග දෙකක් සිටින බවයි. ස්වාධීන, උගත් මිනිසුන් සහ නූගත් කාර්මිකයන් හා සාමාන්‍ය ශ්‍රමිකයන්. භාව විශෝධනය කළ යුත්තේ මේ දෙවන කණ්ඩායමේ ය. එහෙත් මෙහි දී ඔහු සඳහන් කොට ඇත්තේ සංගීතය ගැන මිස නාට්‍ය පිටපත ගැන නොවේ. එහෙත් මහැදුරු සුරවීර පෙන්වා දෙන්නේ සංගීතයට අදාළ ව ඇරිස්ටොටල් පෙන්වා දෙන කරුණු කාව්‍යයට ද අදාළ වන සේ සලකන ලද බව උපකල්පනය කළ හැකි බවයි. මේ අනුව දැනුමෙන් හීන පුද්ගලයන්ගේ මොළය ට්‍රැජඩි නාට්‍යවලින් විරේක වනු ඇති බව ඇරිස්ටෝටල්ගේ මතය වුණා විය හැකි ය.

Comments