
අත්තානො ලොකෝ යනුවෙන් පාලි වචනයක් බුදුබණේ සඳහන් වෙයි. ඒ පාලි වචනයෙහි සිංහල තේරුම වන්නේ ලෝකය නිරන්තරයෙන් අනාරක්‍ෂිත බවින් පිරුණක් ය යන්නයි. අනාරක්‍ෂිත බවින් පිරුණු ලෝකය තුළ ලෞකික සමාජගත මිනිසා ජීවත් වෙයි. එසේ ජීවත්වන නමුත් ජීවිත ගමන ගත කරගෙන යන කෙනෙකුට ඔහේ ජීවත්වන්නන් වාලේ ජීවත් වෙනවා මිස යථාර්ථ වශයෙන් ලෝකය තුළ පවතින සදාකාලික අනාරක්‍ෂිත බව පිළිබඳ දැනීමක් හෝ වැටහීමක් මතූවන්නේ නැත. එසේම එබඳු දෙය පිළිබඳ නිවැරදි අර්ථාවබෝධයක් ලබා ගන්නට උත්සාහ කරනු ලබන්නේ ද නැත. නමුත් සමාජ වටපිටාව තුළ ජනිත වන ජීවන අරගල දාහය හිතගත වටකර කඳවුරු බඳිනවිට ඇතැම් විට කෙනකුට ඉඳහිට හෝ ස්වකීය ජීවිත අනාරක්‍ෂිත භාවය මතකයට මතුවී එයි.
මිනිස් ජීවිතයේ පවතින අනාරක්‍ෂිත බව අංශ දෙකකි. එනම්, 1. සංසාරගත ජීවිතයේ අනාරක්ෂිත බව. මරණය කවදා කොතැන කෙලෙස නිශ්චිත ව සිදුවන්නේ දැයි කිය නොහැකි බව. 2. සමාජගත ජීවිතයේ අනාරක්ෂිත බව. මොන මොහොතේ කෙනෙකූගෙන් අතවරයක් වේවිද යන බය. මිනිස් සමාජයක වුවත්, කරුණාව, දයාව, මෛත්‍රිය නැති නිසා සත්ත්ව සමාජයක මෙන් අනෙකා පරයා නැඟී සිටීමට ගනු ලබන අනවරත උත්සාහය නිසාම ජීවිතය සාමූහික බවින් විනිර්මුක්තව පවතී. මානව භක්තියෙන් තොරව කෙනෙක් සූරාකෑමට අනෙකා කැස කවයි. මේ මාගේ ජාතියේ ම මිනිසෙක් නොවේ දැයි, සිතා විමසා කටයුතු කරනවාට වෙනුවට වැඩි ලෙස ඔවුන් අනෙකා ගසා කෑමට, සූරා කෑමට, වලිකන සමාජයක් බිහිවී තිබේ.
එදාත් සමාජය තුළ පැවතුණේ ජීවත්විය යුතුය යන අදහසයි. නමුත් එදා ඒ අදහසට අර්ථවත් චර්යා එකතු විය. එනම්. දැහැමින් ජීවත්විය යුතුය යන අදහසයි. අසාහසික නොවී ජීවත් වීමට කල්පනා කිරීමයි. සමාජයට සාහසික නොවන ලෙස කටයුතු කළ යුතුය. වර්තමාන අරුමෝසම් සමාජ රැල්ල තුළ මෙකී අදහස මදින් මද වෙනස් වෙමින් පවති. අද බොහෝ දෙනා සිතන්නේ ද විමසන්නේ ද, කෙසේ හෝ ජීවත්විය යුතුය යන අදහස ය. අනෙකා තළා පෙළා හෝ තමන් අප්‍රමාණ සංතෘෂ්ටියෙන් කල්ගත කළ යුතුය. මල තළාපෙළා හෝ මිරිකා හෝ මල්පැණි අරගත හැකි නම් ජීවිත ජයග්‍රහණයකි. දවසින් දවස එක එක රන් පියාපතක් ලැබුණත් මදි ය. ස්වර්ණ හංසයා මරා පියාපත් සියල්ල එකවර ගැනීමෙන් එකවර පෝසත් විය හැකිය. ධනවත් විය හැකිය. සොම්නසින් ජීවත් විය හැකිය. යන ආකාරයේ සහංදෘෂ්ටිකවාදී අදහස් වලින් දැන් දැන් අපේ අරුමෝසම් බවින් පිරුණු මිනිස් මනස පිරී තිබේ. එනිසාම අනිකාට බියෙන් හා චකිතයෙන් හා සැකයෙන් ජීවත් වෙයි. වනයේ වෙසෙන වගවලසුන්ගෙන් පිරි සමාජයක් බවට මිනිස් පුරවරය පත්වෙමින් පවතී.
මේ අරුමෝසම් සමාජය තුළ දැන් දැන් සිදුවන මේ මානවධර්ම පරිහානිය කවරදා කොයි කවර විලසින් නතරවීමක් සිදු වෙයිද? එසේ එම අවර ධර්ම සහමුලින් ම නතරවන දවස ළඟ ළඟ වෙයිදෝ නොවෙයිදෝ යන සංකාව විසින් වරින් වර සිතට රිදවුම් දෙවයි. එකී තත්ත්වය මානවවාදී සමාජයක තිබිය යුතු උත්තම ගණයේ පිවිතුරු ගුණාංගයක් ලෙස සැලකිය හැක්කේද.. එය මනසත් බවෙහි උතුම් ලක්‍ෂණයක් ද නොවෙයි. සිතිවිලි වලින් තිරිසන් බාහිර ස්වභාවයෙන් මනුසත් ජනයා ද සමාජයක වෙසෙන බව පෙනෙයි. ආධ්‍යාත්මික බවෙන් නිහීනත්වය කරාගිය වග වලසුන්ගෙන් පිරි වනදහනක දිවි පෙවෙත ගෙවන සත්ත්ව සමූහයක හැසිරීම් රටාව බවට පත්ව තිබේ.
මේ වර්තමාන සමාජ වටපිටාව සහ පුද්ගල හැසිරීම අධ්‍යයනය කර බලා විමසිය යුතුය. වර්තමාන මිනිස් සමාජය තුළ ඔවුනොවුන් කෙරෙහි පැවතිය යුතු මිත්‍රශීලී බව ද මානවීය බව ද, මානව ගෞරවය ද කෙමෙන් කෙමෙන් ගිලිහෙමින් එය ශිෂ්ට සම්පන්න සමාජ සීමාවෙන් ඈතින් ඈතට යයි. මානව දයාව, මානව ප්‍රේමය, පරාර්ථ චරණය, මිනිස් සමාජ දනව්වේ සැඟවී නිලීනව යනු පෙනේ. එදා සමාජය පිළිබඳ ව තතු විමසුම් නුවණින් බලන විට මැණිකක් අතින් ගත් යුවතියකට මගතොට නිදහසේ ගමන්කළ හැකි පරිසරයක් තිබිණ.
අන්සතු නුදුන් දෙය නොගන්නා තමන් සතු නොවූ දෙය පරිහරණය නොකරන උතුම් සරු ධර්මවලින් සැරසුණු ශික්ෂණය වූ නිකැළැල් සමාජයක් තිබිණ. සීල ප්‍රතිපදාව අවබෝධයෙන් ධාරණය කළ මිනිස්සු ජීවත් වූහ. මන්ද මෙදා එසේ නොවන්නේ? මෙදා සමාජයේ එදා සිංහල සමාජයේ මෙන් ශික්ෂාපද එලෙසම පවතී. ශික්ෂා පද සමාදම් වීමෙහි ද අල්ප මාත්‍ර හෝ අඩුවක් නො පෙනේ. එනමුදු උතුම් ශීල ප්‍රතිපදාව ක්‍ර්‍රියාත්මක බව නම් නැති තරම් ය. ප්‍රතිපදාව පුරන්නන්ට වඩා ප්‍රතිපදා පිළිබඳ කතාබහ නම් පුළුල් වී ඇත.
කිසියම් සමාජයක් මෙබඳු දුක්ඛි තත්වයකට පාත්‍ර වන්නේ එකී සමාජ රටාව තුළ පවත්නා ආර්ථික තත්ත්වයේ ස්වභාවය නිසා ද, තාක්‍ෂණික විද්‍යා ඥාන පිළිබඳ ප්‍රගතිය නිසා ද, ජනමාධ්‍යවල භාවිත ලීලයේ දොසක්වත්ද, එකී සමාජය තුළ ජීවත් වන මිනිසුන්ගේ සිතිවිලිවල රැඳුණු චංචනික බවද, සිතන විමසන මිනිසාගේ චින්තන විධික්‍රමවල අන්තගාමී බව ද යන්න වෙන වෙන ම විමසිය යුතූ කරුණක් වෙයි.
අනේ ඇත්තටම මගෙ දුවේ මගේ හිත මහා දුක්ඛ ඕඝයකින් පිරී ඇත. දැන් දැන් එය පිරී ඉතිරි පිටාරගලා යමින් තිබේ. අප ජීවත් වන මේ සමාජ වටපිටාව තුළ සිදුවන ඇතැම් නොපනත්කම් නිසා ලොකුමහත් වී හැඩරුවින් හිනැහෙන නුඹ ගැන මට මහා බියක් දැනේ. එය විටින් විට හදපතුලේ මෝරා මෝදු වී මතුවී එයි.
හද තුළ ජනිත වන ඒ අඳුරු සිතුවිල්ලේ සෙවණැල්ල නුඹ වෙතින් දුරස් කර හරින්නට හැදුවත් එය එසේ කරන්නේ කෙසේද?. සිතින් දහස් වර මම ම, මට ම දොස් පවරා ගන්නේ මේ රුදු කුරිරු නරුම සමාජය තුළ නුඹ මහා ගසක් නොවී, සුකුමාර මලක් සේ පිපුණු නිසා ය. හැමදාමත් ලෝකය අසිරිමත් හැඩරුවෙන් සරසන්නේ මල් ම තමයි. ලොව හැඩවන්නේද මල් හින්දා ය.
මලක් ලොවට සෙතක් ශාන්තියක් පමණක් උදාකරන නමුත් අම්මා කෙනෙකු හැටියට දවසින් දවස අසිරිමත් හැඩරුවින් සැරසෙන නුඹ ගැන මගේ හිත තුළ කකියන්නේ අනාරක්‍ෂිත බවින් පිරි මහා ගැස්මක සේයාවයි. ඇත්තට ම ඕනෑ චණ්ඩ මාරුතයකට ඔරොත්තු දෙන සවි ශක්තිමත් බවින් පිරුණු මහතුරක් නොවී නුඹ වන තූරු සරසන මලක් වුණේ ඇයි? නුඹ මලක් නොවුනානම් මගේ හදවත තූළ මේතරම් සංකාවක් හා ගැස්මක් ඇති නොවන්නට තිබුණා නොවේද?