
යසෝදරා
සිදුහතුන් ගිහි ගෙයින්
නික්මුණ දිනේ පෙම්බර
යසෝදරා පුතු ළයෙන් ගෙන
හෙමි හෙමින් ඉකි බිඳින්නට
ඇති දුක දරා...
දස දෙසින් අවමන්
විඳින්නැති ගියෙ ඇගේ
වරදින් කියා...
මහ මෙරක් සරි පුතු
සිඹින්නැති ඔහු නමින්
සුසුමක් තියා...
එක් වරක් තව හමු වුණෙත් ඒ
ආ මඟට නැවතුම් තබා...
නෙත් බවින් කරුණා ගුණෙන්
පිරිපුන් ළඳක් වූයෙන් ප්‍රභා...
උස් ලෙසින් නික්මන්
ලබන්නට අත්වැලක්
වෙන්නැති නොබා
සත් දිගින් ඇරයුම් ලදත්
ඈ ඔහු නමින් තනි වෙන්නැති...
දුක් කදෙන් ගැලවෙමු ඉතින්
හිමි කිව් වදන්
සිහිවෙන්නැති...
සාගරිකා ධර්මබන්ධු
ඉතිං නැගණියනි
නිමිත්ත -:
නැගණියක් තම සමරු පොතෙහි සමරු සටහනක් ලියා දෙන්නැයි බල කර සිටී.
ජීවිතය යනු
නොදිරූ මේපල් පතකි
නමුත් දිරා යෑමට නියමිතය
ඉතිං නැගණිය,
මේ දිවිය ගෙවිය යුතුය
පොප්ලර් ගස් සීරුවෙනි
ඉන්ද්රඛීල සේය...
සුළඟවත් නැති පාටය....
දුයිශෙන්ලාට වැද
ගමන් ඇරැඹිය යුතුය
"ආයන්තිං නාභිනන්දති
පක්කමන්තිං න සෝචති"
එන අය දැක දැකම ලබනා තුටක් නැත
යන අය දැක දැකම ලබනා දුකක් නැත
නුඹ යන්න....
ඒ තුංග මිටියාවතේ
මධ්යන්තයේදී
අපි
මුණගැසෙමු....
ගුරුගොඩ සිරිවිමල
බුදුපුත් මෑණියෝ
බුදු පුදසුන
තැබූ කුසුම
කිම නොදනිමි
වැටුණේ බිම
අහුලන්නට
නැත සවි මට
එය රැඳුණේ
තව දෑතක
නැත අහිතක්
තුන් හිතකට
වියපත් මා වෙත නාවට
විජේසුන්දර බලවත් බණ්ඩාර
සීගිරි ලලනාව
රුවින් රන් දෙවිලියක
මිහිමත
නුවන් යුග අඩවන් වුණු
පාන හසරැල් නිබඳ
සනසයි
විඩාබර සිත ළතැවුණ
සුරත රැඳි රන් පියුම්
සුවඳයි
මුළු හිතම සුවපත් වුණු
සිතේ කුලුඳුල් කවි
මැවේවි
නුඹ නමට ලියවුණ
යොමාලි නුවන්තිකා
ළබැඳිය
“ළබැඳියේ දිගු කලකින්
දුටුවේ නුඹේ සඳවත
ඉඳුනිල් දෙනෙත් අග
වියළි කඳුළක් සඟවන
වසන්තය ගෙවී ගිම්හානය
මුවා වී බෝ දුර සිට
ලියූ කවි ගී මනහර
කුරුලු කූඩු අග රැව්දෙන
රුවන්මලී දීපිකා
ගෙදර බුදුන්
නොමඳව දුන්න මවු සෙනෙහස අපරිමිතයි
කිව් නෙක වදන් හද තුළ ඔබෙ දයාබරයි
නිවසේ තිබූ සෙනෙහස හරි ප්‍රියංකරයි
තනිකම දැනෙයි මගෙ හදවත කඩා වැටෙයි
පස් කඳ අනිත බව බුදුහිමි දෙසු දහමයි
එය අපි සැමට උරුම වූ පොදු දෙයමයි
එනමුත් අම්මෙ, වාවනු බැහැ හද කකියයි
නුවණින් සැනසෙන්න අපගේ පැතුම එයයි
කරනට එපා දුසිරිත් ලොව ජයගන්න
කරපන් පුතේ හොඳ වැඩ මිනිසකු වන්න
කියමින් අපට යහ ඔවදන් දන් දුන්න
ගෙදර බුදුන් වැඩියා සුරපුර ඔන්න
කුඹුරක් වගේ ඔබ බත් දුන්නා අම්මේ
සයුරක් වගේ ඔබ කිරි දුන්නා අම්මේ
නෙතු අග කඳුළු වියැකී නැත මගෙ අම්මේ
සැනසෙනු මැනවි නිර්වාණෙන් මගේ අම්මේ
ජී. ඩී. ඥානවතී
මියගිය මවකගෙන්
බේරාගන්න මගෙ පණ දුක දරා ගෙන
කළ වියදම් විශාලයි ඔබ මෙමා ගැන
තනිවුණ පියාගේ දුක සැප බලා ගෙන
අතිආඩම්බරයි මගේ ලොකු පුතා ගැන
දුක් කම්කටොලු විඳගෙන රෝහලට වෙලා
මිහිදන් කරන තුරු සිටි දුක් කඳුළු සලා
හිමියනි සවස නැග එනවිට අඳුරු වලා
මා එනතුරු බලන් ඇති දොරකඩට වෙලා
එල්. වීරවර්ණ
දැනීම
හිත ඇතුළෙ ඉඳන් නුඹ හඬන කොට
මට දැනෙන්නෙම මහ දුකක්
එළියට ඇවිත් බලන කොට
දැනෙනවා හරි ලස්සනක්
ළඟට ගිය හැම විටම ඇත්තේ
ගත පෙළා යන සීතලක්
නුඹ කොහේ හිටියත් දැනෙන්නේ
මගේ හිත පිරි ආලයක්
වැස්සෙන කොට කඳුළු බිඳු ටික
හිතට උණුහුම දැනෙනවා
කොපුල් තල උතුරා ගලද්දී
සිතෙන් සීතල විඳිනවා
සිහින් මුතුකැට සේ දිලෙද්දී
වඩා ගන්නම සිතෙනවා
දෝතටම ආ නුඹ සිඹිද්දී
ජීවිතේ රස දැනෙනවා
ආදරේ කොතැනක සැඟවුණත්
මා දෙනෙත් නුඹ සොයනවා
සැඟවි සැඟවී යන්න සිතුවට
ඔබ යනෙන තැන් දන්නවා
කෙලෙස දිවුවත් සැඟවුණත් ඔබ
ලොවට හැඩරුව මවනවා
සයුර මුව විට බලා හිඳගෙන
ඈත දියඹට යවනවා
නලනි ද සිල්වා
සමයං...
ළිං ගැටි
ගස් - ගල්
තාප්ප - බෝක්කුවල
රට හදන මිනිස්සු
අපිට...
විරිත්තන අපූරුව...
රත්නසිරි පතිරණ
අයිතිය
පස් වසක් පෙම් කළ ඉක්බිති
පති - පතිනියන් වූවෙමුය අපි
ඉතින් කිසි දින වෙන් නොවන ලෙස
කිසිම කෙනෙකුට අයිතිවන්නට
ඉඩ නොදෙමි ඔහු - මගෙම වූ ඔහු
තවත් වසරක් ඉක්ම ගිය කල
මාගමත් අප වෙතට ආවා
මගේ අයිතිය පැහැර ගන්නට
“අප්පච්චි මගෙයි -
වෙන කාෙගවත්ම නෙවෙයි”
අප්පච්චි මගේමයි
මහිමි ගෙල වටා එතෙන සුමුදු අත්පොඩි
සුරතලය - ඉඟිබිඟි - සිපගැනුම්
මම බලා සිටිමි කිසිත් කරගත නොහී
“අප්පච්චි මගෙයි”
ප්‍රථමවරට මට දැනුණි
තවත් ගැහැනියකට මා පැරදුණු බව
මට මහිමි අහිමි වූ බව
හා - කමක් නෑ - වටහා ගතිමි මම සැබෑව
අප්පච්චි ඔයාගෙ නම් - ඔයාම ගන්න
ඉතින් මම බලා සිටිමි - උපේක්ෂාවෙන්
ඇයටම දිනුම දී
සෝමලතා වෛද්‍යරත්න
එතෙර කවිය
ඔබ නැති කල...
Life without You
පිළිගන්න මා කියන්නක්
ජීවිතය පෙරට යනු ඇති ඔබ නැතිව
සිහි තබාගන්න
අත් හළ කල ඔබ එක් රැකියාවක්
හිස් කර ඔබේ කුටිය
ඊළඟ දිනයේම අරඹනවා අන්‍යයන්
ඔබ නතර කළ තැනින්
වෙනස් වුව මාදිලිය
කාරිය සපුරා ගත්ෙතා් ය ඔවුහු
එබඳුය ජීවිතයේ ඉරණම
පැතුවද ඔබ බොහෝ දන
සිහිපත් කරතැයි ඔබ සෙනෙහසින්
අරඹන හෙයින ඔවුන්, ඔබ නැවතූ තැනින්
දුර දකින්නා යෙදේ දිගු ගමනක
අත්වැලක් වෙමින් අදරැතියන්ට
කටුක තීරණ හා ඇද වැටුම්වලදී
සිත් සැහැල්ලු කරමින
දුර දකින්නා යෙදේ දිගු ගමනක
නික්මෙන්න,
ලොව වඩා යහපත් තැනක් කර
ගෙන එන්න වෙනස,
ඔබගෙ අනුපම වෙසෙස් රටාවෙන්
ලයින් ගෝතියර්
කැනඩාව
තමන් මිය ගිය කල හෝ ලොවින් ඉවත් වූ කල ලොවද නවතිනු ඇතැයි සිතන වර්ගයේ මිනිස්සු අපට විරලව නමුත් මුණ ගැෙසති. වෙසෙසින් ම කාර්යාල සන්දර්භයේ, මෙබඳු ස්වයං අධිතක්සේරුවක සිටින චරිත අපට හමු වේ. සාමාන්‍ය ජීවිතයට අදාළව ද එබඳු අයගේ සිතිවිලි අන්තරාවර්තීය ය. ඔවුහු ලොවින් හා මිනිසුන්ගෙන් සැලකුම්, සිහිකිරීම් හා ප්රතිලාභ බෙහෙවින් අපේක්ෂා කරති. මේ කවියේ රචිතව සිය නිර්මාණයෙන් අමතන්නේ එබඳු පුද්ගලයන්ටය කියා හැඟේ. ඇය ඔවුන්ගේ මායාව බිඳ, යථාර්ථය පහදා දෙයි. තවත් ඉදිරියට යන රචිකාව කියන්නේ, තමන්ගේ ඒ ස්වභාවයෙන් මිදී, දුරදක්නා නුවණින් යුතුව, සද්භාවයෙන් ජීවත් වී, ලොව වඩා යහපත් තැනක් කරන්නට තම ශක්‍යතා දායක කරන ලෙසයි.
ලයින් ගෝතියර් කිවිඳිය කැනඩාවේ, ක්විබෙක් ප්‍රාන්තයේ නැඟෙනහිර නාගරිකයේ ඉපිද, උතුරු ඔන්ටාරියෝ පෙදෙසෙහි හැදී වැඩී, දැන් ඔටාවා නුවර ජීවත් වන්නීය. ඇය ගැන වැඩිමනත් තොරතුරක් අදාළ මූලාශ්‍රයක් වෙන නොවිණි.
පරිවර්තනය - දේ.වි. ගාල්ලගේ
අතීතය...
පහනද නිවුණි තෙල් අවසන් වී නැතුව
සහනය නොමැති සිත පැටලී ඇත එතුව
යහනක තැළුණු පොඩි වුණ ඇතිරිලි සතුව
රැහැනක බැඳුණු හද ඉකිලයි මම පැතුව
සිහිනෙක සුමුදු මුදු රසයෙන් සිත ඇලුණ
ගිලිහුණ මතක වැල් පැටලී ඇත තැළුණ
මළකුණු ගඳ ගසන වැළලී ඇත පෙළුණ
සලකුණු නැතිව මැකිලා සෙනෙහස වෙළුණ
රැහැනින් බැඳ පියා සිතුවිලි තද කෙරුණු
දැහැනින් මිදුණු විට රළු පවනය දරුණු
යහනින් බසින කය බර නොදැනුණි එරුණු
ලෙහෙමින් ගෙතෙයි හදවත ඉකිලන කරුණු
ශ්‍යාමා ඉලේසිංහ
නොදරු සිතුවිල්ල
කාට නම්
බයේ
දුවන්නෙද
ගහකොළ
ගෙවල්
දොරවල්
විතරක්ද?
මුළු
ලෝකයම
දඹේගොඩ ජිනදාස
මල් පිපී උණ පඳුරක
බෝ සෙනෙහෙන්
දෑඟිලි අතර සිරවුණු
මිහිරි උණුසුම සිහිකර
සුමුදු අතැඟිලි පිරිමැද...
පවරා යළිඳු නුඹහට
යා යුතුය හුරු තනි මඟ
යළි යළිත් අහිමිව ගිය
වැස්ස අමතකව නමුදු නුඹහට
අවසන් සෙනේ අමුණයි
නුඹ කියා දුන් කවිකම
දිගු විරාමෙක අවසන
මල් පිපී උණපඳුරක
නදීරා රෝෂණි නල්ලපෙරුම
(අ) හිමි වීම
ළඟින් ඉන්නට වරම් නැති මුත්
දුරින්වත් හිඳ බලා ඉන්නට
පින් කළා මම සසරෙ ආ මග
හමුවෙලා ඔබ මගෙ වෙලා
පිපී දිලිහෙන රෝස කුසුමක
සුවඳ තැවරූ ඔබේ වත මල
අතින් ගෙන සිප සනසවන්නට
පින් කළා සිහිනෙක එදා
සිතට දැනෙනා සඳේ සිසිලස
ගතට නොදැනුණ නමුදු සඳවත
බැස ගියේ නැහැ සිහින බොඳ කර
දඟ කළා සිත් මල පුරා
නලින් වතුමුල්ල
ගසක මතක සටහන්
අවාරය බෑ ඉවස ගන්නට
පිපෙනවා නම් මලක් තනියට
සිනාසෙන්නට හැකිය ගසකට
අතු ඉපල් වී ගියත් අව්වට
පින්න ඇවිදින් රෑ වෙලාවට
අැහැට හීතල කඳුළු දෙනකොට
ඉවසන්ඩ පුළුවන්ද ගසකට
මැරුණු මල් සිහි වෙන වෙලාවට
සුළඟ තුරුපත් බිම හලන කොට
ගැස්සිලා ඇහැරේවී හනිකට
මෙහෙම මැරි-මැරි උපදිනා විට
හැකි ද ගසකට දරාගන්නට
නඳුන් යසිත දසනායක
(විල් නෙතක මල් මතක කාව්‍ය සංග්‍රහයෙනි)
වළකන්නට තනන්නේ ඇයි ගලන ගඟ
ගලා යන ගං දිය
මඟ හරස් කර සිටි ගල්කඩට
පෙණ පිඬු නගා සිනාසී
මඟහැර ඇදෙයි ඉදිරියට
මවා නෙක රූ රටා
පෙහෙළි කරමින් තම ගමන
ගුගුරුවා ලමින් මේකුළු
සහය වී ගං දියට
පතිත කල විට වැහිකෝඩය
සැඬ වෙලා හඬ දෙමින් වේගයෙන්
ඇදෙයි ගල්කඩ වසාගෙන
දිය සුළි ද නංවමින්
කිසි තැකීමක් නොකරම
ගලන ගං දිය වළකන්න
වෙහෙසමින් හති වැටුණ ගල්කඩ
සෙවෙල් ගත පෙරාගෙන
තැවෙන්නේ හද සොවින්
පල් වී ඇති යුරු දැක
එක ලෙසම සිටි තම ගත සීත
හේරත් පලාපත්වල
කවියාගේ බිරිය
අවාසනාවන්තම මිහිපිට බිරිඳ
කවියකුගේ සොඳුරියයි කීමට බැරිද
කොතැනද සොයා ගත යුතු මෙහි ඇති වරද
කවියා මිනිසෙකිය පෙනෙනා ලෙස බොළඳ
සොබාදහමෙ ලස්සන මනැසින් දුටුවත්
ජීවිත අරුත වියැඟින් කවියට නැඟුණත්
නොමැතිය කලාවට නිසි අගයක් කවදත්
එබැවින් කවිය පරදියි දිවිමග කොතැනත්
සිටියත් මුහුණ පෙන්වාගෙන සිනහ පපා
නැති බැරිකමට නිරතුරු විඳවතිය විපා
මතු ඉපදෙන කලට ලදුවකු ලෙසට දෙපා
කිසිදා කවියකුගෙ බිරිඳක් වෙන්න එපා
ගාමිණි ලිවේරා
සේසිරි විජේසේකර පද්‍ය රචනා තරගය
කෘතහස්ත කවියෙකු, ගේයපද රචකයෙකු, නිවේදකයෙකු වූ කිවිපති කලාභූෂණ සේසිරි විජේසේකර කලාකරුවාගේ පස්වන ගුණසමරුව නිමිත්තෙන් අගනුවර තරුණ කවි සමාජය හා සේසිරි විජේසේකර පදනම සංවිධානය කරන පද්‍ය රචනා තරගයේ නිර්මාණ භාර ගැනීම පෙබරවාරි මස 25 වැනිදායින් අවසන් වේ. මෙම තරගය සඳහා “එදා සහ අද මාධ්‍ය බස” යන මාතෘකාව යටතේ කවි 10කට නොවැඩි සංඛ්‍යාවක් නිර්මාණය කිරීමට පුළුවන. ජීවදත්ත සටහනක් ද සමඟ නිර්මාණ ආසිරි විජේසේකර, සමලේකම්, අගනුවර තරුණ කවි සමාජය, 743/61, මාලඹේ යන ලිපිනයට එවිය යුතු වේ.