
මල් පොකුරු මැදින් අනුශ්කා යළි රංගනයට
විරාට් කෝලි අනුශ්කා ශර්මා නව යුවළ ෆින්ලන්තයේ දින කිහිපයක මධු සමයක් ගත කිරීමෙන් පසුව දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් ප්‍රදේශය බලා පිටත්ව ගියා. ඒ ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වුණු ටෙස්ට් තරගයට විරාට් සහභාගි වීම නිසා ය.
සුපුරුදු ලෙස අනුශ්කා ක්‍රීඩා මණ්ඩපයේ තම හිතවත් පිරිස සමඟ අසුන් ගෙන සිටියේ විරාට් වෙනුවෙන් ප්‍රීති ඝෝෂා නංවමින් ඔහුව දිරිමත් කරන්නයි. සරල ඇඳුමකින් සැරසී සිටි අනුශ්කා අසුන් ගත්තේ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ශිඛාර් ධාවාන්ගේ බිරිය, අයේෂා මුඛර්ජි ළඟින්මයි. දෙදෙනා ඉතා කුලුපගව කතා බහ කළේ ක්‍රීඩා පිටියේ පැවැත්වෙන හරඹ වෙත අවධානය ද යොමු කරමින්.
ක්‍රිකට් තරගය නිමාවට පත්වීමෙන් පසුව ද අනුශ්කා - විරාට් යුවළ කේප් ටවුන්වල සංචාරය කළේ ශිඛාර් - අයේෂා යුවළ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් එක්කයි. ඒ අයුරින් ප්‍රීතිමත් විදෙස් සංචාරයක් නිමාවට පත් කළ විරාට් - අනුශ්කා යුවළ යළි ඉන්දියාවට පා තැබුවා. අනුශ්කාගේ රංගන කටයුතු ඉන් පසුව ඇරැඹුණා.
විවාහයෙන් පසුව ඇය මුල් වරට එක්වුණේ ශාරුක් ඛාන් ප්‍රධාන චරිතයක් නිරූපණය කරන ‘සීරෝ’ චිත්‍රපටයේ රූගත කිරීම් වලටයි. ඉන් පසුව ‘පාරි’ චිත්‍රපටයේ රූගත කිරීම් වලටත් ඇය යා යුතුව තිබුණා. ‘සීරෝ’ චිත්‍රපටයේ රූගත කිරීම් සිදුවූ දර්ශන තලය වෙතට පැමිණි අනුශ්කාට එහි සිටි ශිල්පීන් ගෙන් ලැබුණේ උණුසුම් පිළිගැනීමක්. විශේෂයෙන් ම, ශාරුක් සහ එම චිත්‍රපටයේ රඟන කට්රිනා කායිෆ්, අනුෂ්කාව පිළිගත්තේ ඇයට අලංකාර මල් පොකුරක් පිළිගන්වමින් ඉන් පසුව තිදෙනාම එකට එක්වී ඡායාරූප කිහිපයක් ගැනීමට ද අමතක කළේ නැහැ. එක් අතකින් කෝපි කෝප්පයක් ද, අනෙක් අතින් ‘සීරෝ’ චිත්‍රපටයේ තිරනාටක පිටපතක් ද රැගෙන අනුශ්කා ඒ ඡායාරූපවලට පෙනී සිටියේ සුපුරුදු සිනහ රැල්ල නංවාගෙනයි.
කුලිය නොගෙවා එළියට දමලා
ජනප්‍රිය නිළි, මල්ලිකා ෂෙරවට් දැන් පදිංචි වී සිටින්නේ ඉන්දියාවේද? එහෙමත් නැත්නම් ප්‍රංශයේ ද? පසුගියදා බොලිවුඩයෙන් ලද උණුසුම් පුවතක සටහන් වූ තොරතුරු අනුව නම් ඇය වෙසෙන්නේ ප්‍රංශයේ පැරිස් නුවරයි. ඒ පුවතෙහි දැක්වුණේ පැරිස් නුවර නිවසක් කුලියට ගෙන සිටි මල්ලිකා ෂෙරවට් එයින් ඉවත් කර ඇති බවයි. ඇය විසින් නිසි ලෙස කුලිය නොගෙවීම නිසා උසාවි නියෝගයක් මත තමයි ඇය සහ ඇගේ සැමියා වන ප්‍රංශ ජාතික සිරිල් ඔක්සන්ෆෑන්ව ඉවත්කර ඇත්තේ. මෙම නවීන නිවසෙහි අයිතිකරු උසාවියෙහි පැමිණිල්ලක් ගොනු කරමින් ප්‍රකාශ කර ඇත්තේ මල්ලිකා සහ ඇගේ ප්‍රංශ ජාතික සැමියා 2017 වසරේ ජනවාරි මාසයේදී තමන් සතු නිවස යුරෝ 6,054 ක මාසික කුලී පදනම මත ලබාගත් බවයි. නමුත් ඔවුන් මුලදී යූරෝ 2, 715 ක මුදලක් පමණක් තමන් වෙත ලබාදුන් බවත් ඉන් පසුව කිසිදු ගෙවීමක් තමන් වෙත නොකළ බවත් ඔහු පවසනවා. මේ අනුව ගතවූ වසරක කාලය තුළ සිරිල් සහ මල්ලිකා ෂෙරවට් ගෙන් තමන්ට යූරෝ 78,787 ක් හෙවත් ඇමෙරිකානු ඩොලර් 94,000 ක මුදලක් ලැබිය යුතුව ඇතැයි මේ අයිතිකරු තවදුරටත් පවසනවා. මේ ප්‍රමාණය ඉන්දියානු මුදලින් රුපියල් ලක්ෂ 61 ක වටිනාකමක් බවයි පැවසෙන්නේ.
මේ පැමිණිල්ල ගොනු කිරීමෙන් පසුව මල්ලිකා ෂෙරවට් කීවේ මෙවැනි කතාවක්... “මම කවදාවත් පැරිස් නුවරින් ගෙයක් කුලියට ගත්තේ නැහැ. මට තේරෙන්නෙ නැහැ, මේ වගේ දේවල්වලට මාව පටලව ගන්නෙ ඇයි කියලා. සිරිල් ඔක්සෙන්ෆෑන් මගේ සැමියා නෙමෙයි. මගේ හිතවතෙක්.” ධනකුවේරයකු වන සිරිල් ඔක්සෙන් ෆෑන් සහ මල්ලිකා අතර පෙම් සබඳකමක් පවතින බව මීට පෙර ආරංචි පැතිරී ගියා.
දීපිකා දියමන්තියෙන් නැහැවෙයි
මේ දිනවල බොලිවුඩ් සිනමා රසවතුන්ගේ අවධානය යොමුවී ඇත්තේ ළඟදීම යුග දිවි ගමන් අරඹන බවට ඉඟි පළවෙන රන්වීර් - දීපිකා යුවළ වෙතටයි. 2018 වසර ඇරැඹීමත් සමඟම පැතිරී ගිය ආරංචියක් නිසා තමයි මේ ගැන කවුරු කවුරුත් කතා කරන්න පටන් ගත්තේ. ඒ ආරංචියෙන් පැවසුණේ රන්වීර් සිං සහ දීපිකා පදුකෝන් සුපිරි නළු නිළි දෙපළගේ විවාහ ගිවිස ගැනීම ජනවාරි 5 දා ශ්‍රී ලංකාවේදී සිදුවූ බවයි. ජනවාරි 5 දාට දීපිකා ගේ 32 වැනි උපන් දිනයත් යෙදී තිබුණු නිසා එදිනම විවාහ ගිවිස ගැනීමට රන්වීර් සහ දීපිකා යුවළ කලින් සැලසුම් කර තිබුණු බවත් පැවසුණා.
නමුත් ඒ ආරංචියෙහි ඇත්තක් තිබුණේ නැහැ. රන්වීර් සහ දීපිකා තම දෙමවුපියන් සහ නෑ හිතවතුන් සමඟ නිවාඩුවක් ගත කිරීමට පිටත්ව ගොස් තිබුණේ මාලදිවයිනටයි. එ රටේ දී දීපිකා ගේ උපන් දිනය වෙනුවෙන් පුංචි සාදයක් පැවැත්වූ දෙපාර්ශ්වයේම නෑදෑයින්, දීපිකාටත් රන්වීර්ටත් සුබ පැතුවා. ඒ විතරක් නොවෙයි. රන්වීර්ගේ දෙමවුපියන්ගෙන් දීපිකාට වටිනා තෑගි රැසක්ම පිරිනැමුවා. ආරංචිවලට අනුව නම් දීපිකාට, ඉතා වටිනා දියමන්ති එබ්බවූ ස්වර්ණාභරණ කට්ටලයක් සහ සාරියක් තමයි උපන් දින තිළිණ හැටියට ලැබී ඇත්තේ.
මේ අතර අලුත් ම පුවතක සඳහන් වන්නේ රන්වීර් සහ දීපිකා, ඉන්දියාවේ ගෝව ප්‍රදේශයෙන් නවීන පන්නයේ නිවසක් මිලදී ගෙන අති බවකි. තවත් පුවතක දැක්වෙන්නේ දීපිකා, ලන්ඩන් නුවරින්ද අලුත් නිවසක් මිලදී ගත්තාය කියලයි.
දීපිකා - රන්වීර් විවාහය සිදුවන්නේ කවදාද? දැන් සිනමා රසික රසිකාවන් නගන ප්‍රශ්නය එයයි. මේ විවාහය සිදුවන දිනය තවම ප්‍රකාශ වී නැතත්, දීපිකාගේ පියා (හිටපු ප්‍රවීණ බැඩ්මින්ටන් ක්‍රීඩක ප්‍රකාශ් පදුකෝන්) ගේ පූර්ණ ආශිර්වාදය නම් දැනටමත් පළවී තිබෙන බව ආරංචියි.