
යුනිෆෝම් ඇන්දට ඒ ඇතුළේ ඉන්න මනුෂ්‍යයා ගැනයි අපි හිතන්න ඕනි
ජෙහාන් ශ්‍රී කාන්ත
ජෙහාන් ශ්‍රී කාන්ත අප්පුහාමි මෙරට වේදිකාව, ටෙලිනාට්‍ය හා සිනමාව තුළ ආන්දෝලනාත්මක චරිතවල නියැලෙන නව පරපුරේ රංගන ශිල්පියෙකි. එතැනින් නොනැවතුණු ඔහු මේ වන විට කෙටි නාට්‍ය 04 ක් හා දිගු නාට්‍ය 03 ක් නිර්මාණය කරමින් වේදිකාව ද ජයගැනීමට ද සමත් විය. පසුගිය වසරේ යොවුන් නාට්‍ය උළෙලේ දී ප්‍රධාන සම්මාන රැසක්ම හිමිකර ගැනීමට සමත් වූයේ ඔහු නිර්මාණය කළ ‘සූකර අසපුව‘ නම් වේදිකා නාට්‍යයයි . මේ නිසාම පෙබරවාරි මස නවදිල්ලි නුවර පැවැත්වෙන තියටර් ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමේ වරම් ලබාගැනීමට සමත්වූ මෙම නාට්‍ය පිළිබඳව ජෙහාන් ශ්‍රී කාන්ත අප්පුහාමි රසඳුන සමඟ කළ සාකච්ඡාවයි මේ.
සූකර අසපුව කියන්නේ මොකක් ද ?
සූකර අසපුව කියන්නේ වේදිකා නාට්‍යයක්. ‘හැපි ජර්නි සහ සුරංගනා කතාවක්‘ කියන නාට්‍යය දෙකෙන් පසු මගේ තෙවැනි නාට්‍ය ලෙසයි ‘සූකර අසපුව‘ වේදිකා ගත කළේ. මෙය සෝවියට් රුසියානු නව කතාකරුවකු වන අතොල් පොහාඩ් විසින් රචිත ‘ද පේලෙස් මින් ද ෆික්ස්‘ කියන පොත, ඩබ්ලිව්. එස් විජේසිංහ මහත්මයා සිංහලට පරිවර්තනය කරනවා. ඒ පොත පාදක කරගෙන තමයි සූකර අසපුව වේදිකාවට නිර්මාණය කළේ. මේ නාට්‍යයට 2017 වසරේ පැවැත් වු යොවුන් නාට්‍ය උළෙලේ දී හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම පසුතල නිර්මාණය වගේම හොඳම නාට්‍යය වලින් දෙවැනි ස්ථානය ඇතුළු සම්මාන රැසක් දිනා ගන්න පුළුවන් වුණා. ඒ වගේම නවදිල්ලි නුවර පැවැත්වෙන තියටර් ඔලිපික් උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාවත් සූකර අසපුවට හිමිව තිබෙනවා.
මොකක් ද මෙහි අන්තර්ගතය ?
දෙවැනි ලෝක යුද්ධ සමයේ සෝවියට් රුසියාවේ ගමකින් යුද්දෙට යන සොල්දාදුවෙක් වටා තමයි මේ කතාව දිව යන්නේ. තමන්ගේ ගම නියෝජනය කරමින් යන මේ ෆාවෙල් කියන සොල්දාදුවා එම කණ්ඩායමේ නායකයා ලෙසටයි කටයුතු කරන්නේ. නමුත් මොහු යුද්ධයට බියක් දක්වනවා. එහෙත් යුනිෆෝ්ම්, බූට් දාගත්තට පස්සේ ඒ බිය යනවා. ඉන්පස්සේ කැලෑවලට වෙලා යුද්ධ කරද්දි ඒ පරිසරයේ ඇති වන වෙනස්කම් අනුව විවිධ සිතුවිලි ඔහුගේ හිතට එනවා. ගෙවල් දොරවල් පවුලේ අය මතක් වෙනවා. ඉන් පස්සේ මෙම සොල්දාදුවා ඉන් පැනල ඇවිත් තමන්ගේ බිරිය පවත්වාගෙන යන ඌරු කොටුවේ හැංගෙනවා. එසේ හැංගුණු කාලය අවුරුදු දහයක් දක්වා දිව යනවා. එතැන් සිට තමයි මේ කතාව දිග හැරෙන්නේ. අවුරුදු දහයකට පස්සේ සෝවියට් රුසියානු රජය මිය ගිය සොල්දාදුවන්ට වීර පදක්කම් පිරිනමන්න ගම්වලට එනවා. මොහුටත් මැරුණු සොල්දාදුවෙක් විදියට වීර පදක්කමක් දෙන්න කටයුතු කරනවා. එහෙත් ෆාවෙල් ඒ දේට අකැමැතිවෙලා ඇත්ත කියන්න එළියට ආවත් සමාජයේ ඇති වී තිබෙන තත්ත්වය දැක නිහඬ වෙනවා. මොහුගේ බිරිය එම වීර පදක්කම ලබා ගන්නවා. ඉන් පසුව ෆාවෙල් ඉන්න ඌරු කොටුවට එන සමනලයෙක් එක්ක ෆාවෙල් කතා කරමින් හිනා වෙන්න ගන්නවා. ඔහු ජිවිතේ ගැන හිතනවා. හැබැයි එක් මොහොතක දි ඌරෙක් ඒ සමනලයා කනවා. මේ සොල්ලාදුවා ඌරව මරණවා. ඒ වගේ කතාවක් වටා පැයයි විනාඩි විසිපහක් පුරා මෙය දිව යනවා.
මේ වේදිකා නාට්‍යයෙන් අපේ ප්‍රේක්ෂකයන්ට ගතහැකි දේ මොනවද ?
මම බහුතරයකට වඩා සුළුතරයක් කෙරෙහි විශ්වාසය තබනවා. අපේ රටත් අවුරුදු තිහක යුද්ධයෙන් පීඩාවට පත් වුණා. යුද්ධය ඉවර වුණත් තවමත් යුද මානසිකත්වයක අපි ඉන්නේ. කවුරු යුද්ධ කළත් ඒ අය යුද්ධ කළේ තමන්ගේ රට, ජාතිය වෙනුවෙන්. මේ අය යුනිෆෝම් ඇන්දට ඒ ඇතුළේ ඉන්න මනුෂ්‍යයා ගැනයි අපි හිතන්න ඕනි. මේ සියලුදෙනාම ගැන අපි සිතන්න ඕන. සියලු වරප්‍රසාද. නිදහස ලබාදෙන්න ඕන. ඒකයි මම සූකර අසපුව හරහා මේ දේවල් ගැන කතා කරන්නේ.
චරිත කොපමණ තියෙනව ද?
චරිත දෙකයි. මෙහි නළුවගේ චරිතය මම රඟපානවා. ඕෂදී ගුණරත්න නිළියගේ චරිතයට රංගන දායකත්වය ලබාදෙනවා.
ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය දිනාගන්න ද සූකර අසුව කියන නම දැම්මේ ?
ඕනම දේකට නම බලපානවා. මම නැහැ කියන්නේ නැහැ. මොකද අපි දරුවකුට නම දාන්න ගියත් කොයිතරම් හිතනව ද ?. අනිත් එක තමයි දැන් අපි හැම තැනම දකින්නේ අසපු. අපේ මිනිස්සු ඇත්තට බයයි. ඒ නිසා පුංචි ඉඩකඩකට වෙලා තමන්ගේ පාඩුවේ වැඩක් පලක් කරගෙන ඉන්නවා. මේ කතාව දිව යන්නේ ඌරු කොටුවක් වටා. ඒ නිසා මට හිතුණා සූකර අසපුව කියන නම හොඳයි කියලා.
අපේ රටේ මේ මොහොතේ තිබෙන වේදිකා නාට්‍යය එක්ක ගත්තම සූකර අසපුවට ප්‍රේක්ෂකයෝ රඳවාගන්න පුළුවන්ද ?
ඇයි බැරි. අපේ රටේ ප්‍රේක්ෂකයන්ට හොඳ නාට්‍ය දෙනව නම් බලනවා. එහෙම නැතුව හාස්‍ය නාට්‍ය විතරයි සම්භාව්‍ය නාට්‍ය බලන්නේ නැහැ කියන දේ මම පිළිගන්නේ නැහැ. ඒ මතය රට තුළ හදලා තියෙන්නේ ඇතැම් සංවිධායකවරුන්, අධ්‍යක්ෂකවරුන් විසින්. ඒ කරන්නේ මාපියාවක්. ඇයි ධවල භීෂණය මිනිස්සු බලන්නේ නැද්ද?. හැත්තෑව දශකවල පෙන්වපු ‘ඒකාධිපති,මකරාක්ෂ‘ මිනිස්සු බැලුවේ නැද්ද. ඒකයි මම මුලදිත් කිව්වේ මේ දේවල් යම් පිරිසක් හදාගත්ත දෙයක් එහෙම නැතුව මිනිස්සු කියපු දේවල් නෙවෙයි. මේ නාට්‍ය යොවුන් නාට්‍ය උළෙලේ පෙන්නුවා. පේරාදෙණිය කැම්පස් එකේ පෙන්නුවා. ජයවර්ධනපුර කැප්පස් එකේ, නාමෙල් මාලනි පුංචි තියටර් එකේ පෙන්වන කටයුතු යොදා තිබෙනවා.