
උඹට නෙමෙයි
“මමත් ඉතින් නිළියක් බව හැබෑව. ඒ විතරක්යැ, ඔය පිටරටින් මෙහාට ගෙන්නන ටෙලි නාට්‍යවලට හඬ කවන ශිල්පිනියක් විදියටත් මාව ප්‍රසිද්ධයිනෙ. ඒත් මම අද හෝල් එකට ඇතුල් වෙනකොට ඒකෙ හිටිය හැමෝම අත්පොළසන් දුන්න විදිය මට නං අදහා ගන්ඩවත් බැරි වුණා අනේ. හෝල් එකේ හිටි අයගෙන් මට ඔය තරම් ලොකු ප්‍රතිචාරයක් ලැබුණු එක ඇත්තටම ලොකු ආඩම්බරයක් නේද?” අශෝකා සරෝජනී දෙස බලා ආඩම්බර සිනාවක් පාමින් කීවේ උලෙළ අවසන් වීමෙන් පසු පැවැති තේ පැන් සංග්‍රහයේදී ය.
එළදෙන උඹ වල්ගෙ පාගාගෙන, ඔය කියවන්නෙ. උඹ ශාලාවට ඇතුළු වෙනකොට ආබාධිත ළමයින්ගේ නැටුමක් ඉවරවුණා විතරයි. ශාලාවේ හිටිය හැමෝම ඒ අත්පුඩි ගැහැව්වේ ඒ නටපු ළමයින්ට දක්වන උණුසුම් ප්‍රතිචාරයක් විදියට. එහෙම නැතුව උඹට නෙමෙයි.” සරෝජිනී කීවේ සාවඥ ලෙස සිනාසෙමිනි.
එහෙම නරකද?
“මෙන්න අනෝමා මේ තේ එකේ කුරුමිණියෙක් වගෙ සතෙක් පාවෙනවා. අනේ හැබෑට, තේ හදද්දී, එහෙම නැත්නං තේ එක මගේ කෝප්පෙට දාද්දි ඔයා දැක්කෙ නැද්ද මේ වගේ සතෙක් තේ එකේ වැටිලා ඉන්නවා?” බීම සඳහා අතට ගත් තේ කෝප්පය දෙස විමසුම් ඇසින් බැලූ නිහල් වහා තම බිරිඳ දෙස බලා කීවේ නැඟී එන කෝපයෙනි.
“මොකෙක් හරි සතෙක් තේ එකේ ඉන්නවා නං ඌව අරගෙන අහකට දාලා තේ එක බිව්වාම ඉවරයිනෙ අනේ, බොරුවට බෙරිහන් නොදී, එහෙම නැත්තං ඔයාට පුළුවන් අර රුසියාවෙන් අපේ තේ ප්‍රතික්ෂේප කළා වගෙ, මම හදන තේ නොබී ප්‍රතික්ෂේප කරන්ඩ, එතකොට ඉවරයිනෙ.” අනෝමා ඊට ප්‍රතිචාර දැක්වූයේ සෝපහාසී ස්වරයකිනි.
ගැළපෙනවා නේද?
“ආබාධිත ළමයි කොන් කරන‍්නෙ නැතුව ඒ අයගෙ හැංගිලා තියෙන දක්ෂකම් ජනතාව හමුවට ගේන්ඩ, ඒ වගේ ම ඔය වගෙ අය අගය කරන්ඩ මේ වගෙ සංවිධානයක් පිහිටුවා ගෙන මෙහෙම වැඩ කරන එක ලොකු වටිනාකමක් තියෙන වැඩක්. ඒත් මේ වගෙ සංවිධානයක ප්‍රධාන උපදේශකවරයා විදියට පළාත් මන්ත්‍රීතුමාව පත්කරගන්න එකනං ඒ තරම් නුවණට හුරු වැඩක් නෙමෙයි රෝහණ” ආබාධිතයන්ගේ කලා හැකියාවන් ප්‍රදර්ශනය කෙරුණු උලෙළ අවසානයේ තේ බොමින් සිටියදී මහාචාර්යවරයා, එහි සංවිධායක දෙස බලා කීවේ ය.
“එහෙම කළේ සාධාරණ හේතු ඇතුවයි ප්‍රොෆෙසර්. ඔය මන්ත්‍රීතුමා හරහා අපේ ව්‍යාපෘතිවලට ආණ්ඩුවෙන් ආධාර ගන්ඩ පුළුවන් වීම එක හේතුවක්. අනික මන්ද බුද්ධික අයත් ඔය ආබාධිත ගනයට වැටෙන හින්දා අදාළ කෙනෙක්වම අපේ සංවිධානයේ උපදේශක වුණාම ලොකු ගැළපීමකුත් තියෙනවනෙ.” රෝහණ කීවේ ය.
සිද්ධවුණේ ඒකමයි
“පුතේ මේ සැරේ සාමාන්‍ය පෙළ විභාගෙට උඹත් පෙනී හිටියා නේද? ඊයෙ රෑ මම අහගෙන ප්‍රවෘත්ති වලට කියනවා විභාග ප්‍රතිපල නිකුත් කළයි කියල. කොහොමද පුතේ උඹ පාස් ද?” මැගිලින් නෝනා බස් රථයෙන් බැස තම නිවස දෙසට යමින් සිටි සෙනරත් දෙස බලා ඇසුවේ කට පළල් කොට සිනාසෙමිනි.
“නෑ මැගිලින් නැන්දේ, මටත් වුණේ ඊයේ පෙරේදා පළාත් පාලන ඡන්දෙට වැරැදියට නාම යෝජනා භාරදුන්න අපේක්ෂකයන්ට වුණු දේම තමයි.”
එහෙම නරකද?
“දැන් බලන්ඩ, අපි එක දිගට විපත් කීයකට මූණ දුන්නද කියල. එක සැරයක් අපේ ගෙවල් සම්පූර්ණයෙන් ම ගංවතුරෙන් යට වුණා. තවත් වංගියක් කුණු කන්ද පාත්වෙලා මනුස්ස පරාණයි, දේපොළයි හිතාගන්ඩ බැරි විදියට අතුරුදන් වුණා. ඊළඟට සුළි කුණාටුවක් හමලා ගෙවල් දොරවල් කැඩිලා බිඳිලා ගියා. අම්මපා! ඇයි අපිට ම මෙහෙම වෙන්නෙ?” සෝමාවතී මෙසේ කීවේ නාම යෝජනා භාරදීමෙන් පසු තම නිවස වෙත පැමිණි මන්ත්‍රීවරයා හමුවේය.
“සෝමක්කලා ඔය ගැන හිතලා දුක්වෙන්ඩ වුවමනා නැහැ. මම ලබන සුමානෙ පාර්ලිමේන්තුවට යෝජනාවක් ගේන්ඩයි හිතා ඉන්නේ ඔය විපත් නවත්තන්ඩ ඇමැති කමිටුවක් පත් කරන්ඩ කියල.” මන්ත්‍රීවරයා කීවේ විරිත්තමනි.
නත්තල් සීයා නෙමෙයිද?
“පඩිපෙළ නැඟලා කන්තෝරුවට ඇතුළු වෙනකොට ම ඇහැ ගැහෙන්නෙ නත්තල වෙනුවෙන් ඔයගොල්ලන්ගෙ පත්තර කන්තෝරුවෙ සරසලා තියෙන අපූරුවනෙ. ඒ විතරක්යැ මනෝරි, කොරිඩෝව දිගේ එද්දී මම දැක්කා මේ පැත්තේ ඉඳලා, සුදට සුදේ සුදු රැවුළකුත් එක්ක නත්තල් සීයත් ඇවිදගෙන යනවා.” ටැබ්ලොයිඩ් පත්තරයේ කාර්ය මණ්ඩලය සිටින කාර්යාලයට ඇතුළු වූ චන්ද්‍රසිරි කිසිවක් ලියමින් සිටි මාධ්‍යවේදිනිය දෙස බලා කීවේ ය.
“දෙයියෝ සාක්කි! ඒ නත්තල් සීයා නෙමෙයි. අපේ පත්තරේට ලිපියක් භාර දෙන්ඩ ආපු ශිවන්ත මහත්තයනෙ.” මනෝරි කීවේ උස්හඬින් සිනාසෙමිනි.