සඳ­වට රන්තරු | සිළුමිණ

සඳ­වට රන්තරු

 ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධන

මවුපියවරුන්ගේ අඩිපාරේ යන දූ පුතුන් කලා ක්ෂේත්‍රයේ ඕනෑතරම් සිටී. සංගීත ක්ෂේත්‍රයේද එවැනි දූ පුතුන් විරළව දැකිය හැකියි. එවන් තරුණ ගායන ශිල්පියෙකි ගයාන් ගුණවර්ධන. අපේ රටේ සිනමා ක්ෂේත්‍රයේ පසුබිම් ගායකයකු ලෙස නමක් දිනා සිටින අදත් රසිකයන්ගේ සිත් සතන් තුළ රජකරන නුවන් ගුණවර්ධන ගයාන්ගේ ආදරණීය පියාණන්ය. මොවුන් දෙදෙනාම අද එකම වේදිකාවක ගීතවත් වන්නේ පිය පුතුන් මෙන් නොව යහළුවන් ලෙසිනි. මෙවර සඳවට රන්තරු විශේෂාංගයට එක්වූ නුවන්, ගයාන් සුසංයෝගයේ රසබර තොරතුරුයි මේ.

 කලක් අපේ රටේ තරුණයන්ගේ ආකර්ශනීයම ගායකයා වූයේ ඔබයි.ඒ අතීතය සිහිපත් කළොත්

අසූ‍ව දශකයේ අපේ රටේ බොහෝ තරුණයන් මා ගැයු චිත්‍රපට ගීත වලට වැඩි කැමැත්තක් දැක්වුවා. ඒ වගේම මා ගායනාකරන හින්දි ගීතවලටත් එදා ප්‍රේක්ෂකයන්ගෙන් ලොකු ඉල්ලුමක් තිබුණා. එයට හේතුව මගේ හඬ වානිජ හඬක් වූ නිසා වෙන්න ඇති. වයසෙන් වැඩිමහලු වුණත් අදත් ඒ හඬ එදා මෙන්ම තරුණයි. ඒ නිසා එදා වගේම අදත් ප්‍රසංග වේදිකාවට මා නැතුවම බැරි ගායන ශිල්පියෙක්.

එදා චිත්‍රපට වලට නැතිවම බැරි වූ ඔබ අදත් නවක රංගන ශිල්පීන්ට පසුබිම් ගීත ගායනය කරනවා.

මම මේ වන විට චිත්‍රපට හැට පහක පමණ ගීත ගායනා කර තිබෙනවා. මර්වින් බේන්ස් කියන ශබ්ද ඉංජිනේරු ශිල්පියා තමයි මාව චිත්‍රපට පසුබිම් ගායනයට ගෙනාවේ. ඉන් පසුව සරත් ද අල්විස්, සරත් දසනායක වැනි ශිල්පීන් මගෙන් උපරිම සේවය ලබා ගත්තා.සනත් , ලකී , ජීවන්, රන්ජන් , රොෂාන් ,අර්ජුන, විකට රංගන ශිල්පීන්වන ටෙනිසන්, බන්දු ආදී රංගන ශිල්පීන්ට පවා පසුබිම් ගීත ගායනා කර තිබෙනවා. දැන් සිටින නවක රංගන ශිල්පීන්ටත් පසුබිම් ගීත ගායනා කරනවා.

ඔබ කොපමණ ගීත ගායනා කළත් ඇතැම් ගීත රසිකයන් වැළඳගත්තා මදි කියා හිතෙන්නෙ නැද්ද..

මම හිතන්නෙ මගේ ඇතැම් ගීත රසිකයන් අතරට නොයන්න හේතුවක් වුණේ මගේ හඬට ඇතැම් ශබ්ද ඉංජිනේරුවරුන්ගෙන් සාධාරණයක් ඉටු වුණේ නෑ. ඔවුන් මට ස්වභාවයෙන් ලැබුණු හඬ, පහත්කොට පටිගතකර තිබෙනවා.ඇතැම් චිත්‍රපට නරඹන අවස්ථාවලදී මා ගැයූ ගීත අසනවිට මට හිතිල තියෙනවා මේ මගේ හඬද කියල. ඒ තරමට මගේ හඬ වෙනස්.ඔය හේතු නිසාමයි වැඩිදුර අධ්‍යාපනයට ඇමරිකාවේ විශ්වවිද්‍යාලයකට යන්න සිටි පුතාව මෙහේ තියාගෙන ශබ්ද ඉංජිනේරුවෙක් කළේ.

ඔබගේ පුතා ගයාන් අද වනවිට වෘත්තීන් කිහිපයකම නියැලෙන කලාකරුවෙක්. ඔහුගේ මේ හැකියාව ගැන ප්‍රවීණ ගායකයෙක් ලෙස මොකද හිතෙන්නේ.

ගයාන් මගේ පුතා නිසා කියනව නෙමෙයි ඔහු මට වඩා ගොඩක් ක්ෂේත්‍රය ගැන අවබෝධයෙන් දැනුමෙන් යුතු ගමනක් යන්නේ. මම කලාවට ආවෙ ගොඩක් බාධක මැද. ගුවන් යාන්ත්‍රික ඉංජිනේරුවෙක් ලෙස ලංකා ගුවන් සේවයේ සේවය කළ මම ගීත ගායනය කළේ රැකියාව කරන ගමන්. පුතාත් රැකියාවක් කරන ගමන් කලාව තෝරා ගනීවි යැයි සිතුවත් ඔහු පූර්ණකාලීනව කලාව තෝරාගත්තා. අද වන විට ගායකයෙක්, රංගන ශිල්පියෙක්, නිවේද‍කයෙක්, ශබ්ද පරිපාලන ශිල්පියෙක්, සංගීත අධ්‍යක්ෂවරයෙක් ආදි භූමිකා රැසක නියැළෙනවා. පුතාගේ මේ විවිධ දක්ෂතා ගැන පියා ලෙසත් ගායන ශිල්පියකු ලෙසත් මම නිහතමානී සතුටක් තිබෙනවා.

දවසක පුතා ගායනයට සමුදී රංගනය පමණක් තෝරා ගනීවිද?

පුතා කවදාවත් රංගන ශිල්පියෙක් හෝ නිවේදකයෙක් වෙන්න හිතුවේ නෑ. ඒ දෙකටම එයාව කතා කරල බලෙන්ම ගත්තා. සමහර විට ඒ එයාගේ පෙනුමට වෙන්න ඇති.නමුත් පුතා රඟපාන ආකාරය දුටුවිට ඔහුට රඟපෑමේ හැකියාව තිබෙනබව පෙනෙනවා.පුංචි කාලයේ ඔහු කියන දේ හරියට තේරෙන්නේවත් නැහැ. එහෙත් අද ඔහු ඉතා අලංකාර ලෙස නිවේදනයත් කරනවා. සංගීතය නම් එයාගේ ඇඟේ තිබෙන දෙයක්. මගේ කැමැත්ත එයා දවසක හොඳ වෘත්තීය මට්ටමේ ගායන ශිල්පියෙක් වෙනවට. දැනටමත් ගයාන් ගීත පහක් පමණ ගායනා කර තිබෙනවා. ඔහු නිතරම කියන්නෙ තාත්තාට තාම රසිකයන් ආදරෙයි ඒ නිසා තාත්ත ඔයාගෙ ගීතගයන්න. මම ම‍ගේ ගීත ගයන්නම් කියායි. සමහර විට මම නැති කාලෙක ඔහු මගේ ගීත ගායනා කරයි.

අනාගතයේ දවසක පුතා වෙනුවෙන් පසුබිම් ගීතයක් ගායනාකරන්න ආරාධනා ලැබුණොත් ඔබ බාර ගන්නවාද..

මේ වන විටත් ගයාන්ට සිනමාවටත් ආරාධනා ලැබෙමින් තිබෙනවා. සමහර විට වැඩි කලක් නොගිහින් පුතා සිනමාවට පිවිසෙයි. එදාට පුතා වෙනුවෙන් පසුබිම් ගීතයක් ගායනාකරන්න ආරාධනා ලැබුණොත් මම සතුටින් බාරගන්නවා.මගේ හඬ තවමත් තරුණයි ඔහුට හොඳින් ගැලපෙනවා. ඒ අවස්ථාව ලැබෙනතුරු බලාගෙන සිටිනවා.

 


තාත්තාගේ බලාපොරොත්තු ඉටු කරනවා

 ගයාන් ගුණවර්ධන

 ගයාන් ගායකයෙක් වුණේ පියා නිසාද?.එසේ නැතිනම් හැකියාවෙන්ද?.

මම පුංචි කාලෙ සිටම ගීත ගායනාකරන්න කැමැතියි. පාසල් ගියේ ජාත්‍යන්තර පාසකට. පහ වසරෙදි මාව තාත්තා පියානෝ පන්තියකට ඇතුළත්කළා. ඉන්පසුව ඕගන්, ගිටාර්, ආදි සංගීත භාණ්ඩ වාදනය කරන්න ඉගෙන ගත්තා.‍ සංගීතය ගැන මේ විදිහට දැනුම ලබා තිබීමත්, නුවන් ගුණවර්ධනගේ පුතා නිසාත් ගායකයෙක් වන්න වරම් ලැබුණා. නමුත් නුවන්ගේ පුතා වූවා කියා හැකියාව නොතිබුණානම් මෙතරම් දුරක් කලාවේ රැඳී සිටින්න අපහසු වෙයි.

මේ වන විට ගායකයාට වඩා රංගන ශිල්පියා පෙරට ඇවිත් කියා හිතෙන්නෙ නැද්ද?.

රංගනය මට අහම්බෙන් ලැබුණු අවස්ථාවක්.නිවේදනයත් එසේමයි. මේ වන විට හිතුවක්කාරයා ටෙලි නාට්‍යයේ රඟපානවා. එයට ප්‍රේක්ෂකයන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. එයට අමතරව ටී.වී වන් නාළිකාවේ නිවේදන කටයුතු කරනවා. තවත් නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබී තිබෙනවා. ඉදිරියේදි ඒවාත් තෝරා බේරාගෙන කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.

ගායනය සහ රංගනය වෘත්තීන් දෙකක්. මේ දෙකෙන් එකක් තෝරාගන්න සිදුවුවහොත් තෝරාගන්නේ කුමන වෘත්තියද.

අනිවාර්යයෙන්ම ගායන වෘත්තිය තෝරා ගන්නවා. ගුවන් ඉංජිනේරුවෙක් වෙන්න සිහින මවපු මාව ගායකයෙක් කරන්න තාත්තා ගොඩක් ආසා කළා. ඔහුගේ බලාපොරොත්තුව දවසක මාව වෘත්තීය ගායකයෙක් කිරීම. ඒ බලාපොරොත්තුව ඉටු කරන ගමන් හොඳ නිර්මාණකරුවෙක් වන්න උත්සාහ කරනවා.

පියා මෙන්ම නිවෙසේ අනෙක් පිරිසගෙන්ද කලාකටයුතු සඳහා ලැබෙන සහයෝගය සිහිපත් කළහොත්.

මගේ අම්මා රැමෝනා. ඇය මගේ හෙවනැල්ල වගේ. මගේත්, තාත්තාගේත් කලා කටයුතු සඳහා ඇයගෙන් ලැබෙන සහයෝගය අප්‍රමාණයි. ඇතැම් අවස්ථාවල ප්‍රසංග වේදිකාවට අපි අඳින ඇඳුම් පවා තෝරා දෙන්නේ ඇයයි. මගේ අක්කා දුලාරි. ඇය විවාහකයි. ව්‍යාපාර ක්ෂේත්‍රයේ කළමනාකාරිණියක ලෙස සේවය කරනවා. ඇයටත් හොඳට ගීත ගායනා කරන්න පුළුවන්.එහෙත් ඇය කලා ක්ෂේත්‍රයට එන්න කැමැත්තක් නැහැ.

Comments