සතියේ මියු­සික් වීඩි­යෝව | Page 2 | සිළුමිණ

සතියේ මියු­සික් වීඩි­යෝව

‘මේ තරම් කාලයක් මගේ ළගට වෙලා හීන මවපු, මට ආදරේ කියා දුන්න ඔයා කොහොමද මේ තරම් ඉක්මනින් කුරිරු වුණේ. මාව දාල වෙන අයෙක් එක්ක යන්න තරම්. .අඳුරු රැයේදී මා අතහැර දාලා ගියා වගේ. මට හිතාගන්න බැහැ.හරියට හීනයක් වගේ. නුඹේ දෙනෙත්, නුඹේ දෙතොල් මම එක්ක කතා කරපු තරම්. අපි රැයක් දවාලක් නැතුව, තැනක් නොතැනක් නැතුව කොයි තරම් කතා කළාද. නුඹ ගියාට කමක් නැහැ. කවද හරි යළිත් එන්න හිතුණොත් නුඹට එන්න ඒ වෙනකම් මම බලන් ඉන්නවා. ඉතින් යන්න ඉතින් යන්න මම තරහ නැහැ රත්තරං‘. යූ ටියුබ් හරහා ප්‍රචාරය වන මේ සුන්දර ගීතය මගේ හිතට පුදුමාකාර විදියට දැනෙන්න ගත්තා. ඒ නිසාම මේ ගීතය ගායනා කරන ගායකයා හොයාගෙන යන්න මට හිතුණා.

සරත් දිසානායක නම් වූ මේ ගායකයා කතා බහේදී ගායකයෙකුට වඩා ආදරණීය හිතවතෙක්, මිත්‍ර යෙක් වුණා. ඒ නිසා ඔහු සමඟ කළ කතා බහ ඉතා සුන්දර වුණා. ඒ කතා බහෙන් කලාව ගැන පමණක් නෙවෙයි ජීවිතය ගැනත් බොහෝ දේ එකතු කරගන්න පුළුවන් වුණා.

කොහොම ජිවිතේ ?

වරදක් නැහැ. නිදහසේ ගෙවෙමින් ඉන්නවා.

ගම් පළාත ?

හිඟුරක්ගොඩ

ඉගෙන ගත්තේ ?

පාසල් කිහිපයකම ඉගෙන ගත්තා. කැලණිය කැම්පස් ගිහින් ඉවර වෙලා මින්නේරිය ජාතික පාසලේ ගුරුවරයෙක් විදියටත් සේවය කළා. ඊට පස්සේ වෙනත් වෘත්තීන් කිහිපයක යෙදුණා. දැන් නම් වෘත්තියෙන් දේශීය ආදායම් බදු දෙපාර්තුමේන්තුවේ සහකාර කොමසාරිස්වරයෙක් ලෙස සේවය කරනවා.

එතකොට කොහොමද සංගීතයට නැඹුරු වුණේ ?

මම ගුරුවරු කිහිප දෙනෙක් යටතේ සංගීතය හදාරලත් තියෙනවා. නමුත් මම හිතන්නේ සංගීතය කියන්නේ මගේ ඇ‍ෙඟන් ම ආපු දෙයක් කියලා.ඒකයි අදටත් මොන වෘත්තියේ යෙදී සිටියත් කලාව අත්හරින්න බැරි.

දැනට ගීත කොපමණ කරලා තියෙනව ද ?

සිංදු 09ක්, ඉන් මියුසික් වීඩියෝ පහක් කරලා තියෙනවා. මේ ගීතය නරඹන අයට මෙහි එන විෂුවල් අලුත් ම අද්දැකීමක් වේවි. මේ සියල්ල පේන්ටින්. ඒවා තමයි විෂුවල් කරලා තියෙන්නේ. යුරෝපයේ මෙවැනි දේ තියෙනවා. මට ඕන වුණේ ලංකාවට අලුත් ම දෙයක් හඳුන්වා දෙන්න. මම හිතනවා එය සාර්ථකයි කියලා.

කවුද අතහිත දුන්නේ මේ තරම් දුර එන්න ?

පවුලේ අය වගේම හිත මිතුරන් . නම් වලින් කියන්න ගියොත් ඉවරයක් නැහැ. ඒ නිසා නම් නොකිය ඉන්නම්.

අනාගත බලාපොරොත්තු මොනවද ?

ජාත්‍යන්තර අවධානය දිනාගත හැකි නිර්මාණයක් කිරීම. ඒ වගේම පදරචනය, මෙලඩි, මියුසික් වීඩියෝ කරන්න කැමැති කවුරු හරි ඉන්නව නම් ඒ අයට මමත් එක්ක සම්බන්ධ වෙලා වැඩකරන්න පුළුවන්.

ඔබ යන්න දැන් ඉතින්

ඔබ යන්න දැන් ඉතින්

ඔහු අත ගෙන සතුටින්

සුසුම් ගලද්දී මගේ හදින්

ඔබට නෑ හදවතක්

කඳුළු ගලනා නෙතක්

මා දෙතොල් හඳුනන ඔය දෙනෙතම

මා දෙනෙත් හඳුනන ඔය දෙතොලම

මා දෙතොල් හඳුනන ඔයදෙතොලම

මා දෙනෙත් හඳුනන ඔය දෙනෙතම

අරන් එන්න....අරන් එන්න ......

ඉතින් යන්න........ඉතින් යන්න

අඳුරු රැයේ දි මා තනිකර දා

මේ ජීවිතයේ දි ඔබ අහිමි කළා

ඒත් මට සුපුරුදු ඒ සිහින දරා

ඔබ එන්න මතු සසර පුරා

මා දෙතොල් හඳුනන ඔය දෙනෙතම

මා දෙනෙත් හඳුනන ඔය දෙතොලම

මා දෙතොල් හඳුනන ඔයදෙතොලම

මා දෙනෙත් හඳුනන ඔය දෙනෙතම

අරන් එන්න....අරන් එන්න ......

ඉතින් යන්න........ඉතින් යන්න

පද රචනය, ගායනය, සංගීතය

සරත් දිසානායක 


සිනමාවට වසර 71යි:

සැමරුම් උළෙලක් අද චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේදි

දේශීය සිනමාවට වසර 71ක් සපිරීම සහ ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 46ක් සපිරීම නිමිත්තෙන් පවත්වනු ලබන සැමරුම් උළෙලක් අද(21වැනිදා) පස්වරු 3.00ට චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේදි උත්සවශ්‍රියෙන් පැවැත්වේ.

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ ඇමැති ආර්. එම්. රන්ජිත් මද්දුමබණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන්ද නියෝජ්‍ය ඇමැති සුසන්ත පුංචිනිළමේ මහතාගේ සහ අමාත්‍යංශ ලේකම් ජේ.ජේ . රත්නසිරි මහතාගේ සහභාගිත්වයෙන් මෙය පැවැත්වේ.

‘ශ්‍රී ලංකාවේ ජාතික චිත්‍රපටි නාමාවලිය විමසුම ’ ග්‍රන්ථය එළි දකී.

ශ්‍රී ලංකාවේ මෙතෙක් ප්‍රදර්ශනය කෙරී ඇති සිංහල, දෙමළ හා ඉංග්‍රීසි චිත්‍රපට සියල්ල එක්ව

ගෙන විධිමත් ක්‍රමවේදයකට අනුව ලැයිස්තු ගත කෙරෙන ‘ශ්‍රී ලංකාවේ ජාතික චිත්‍රපටි නාමා-

වලිය විමසුම’ ග්‍රන්ථය දේශීය සිනමාවට වසර 71ක් හා ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 46ක් සපිරෙන අද ( 21) ප්‍රකාශයට පත් කෙරේ. ජාතික චිත්‍රපටි සංස්ථාවේ සභාපති,

සිතේන්ද්‍ර සේනාරත්න මහතාගේ යෝජනාවකට අනුව මෙම පර්යේෂණ ග්‍රන්ථය රචනා කරනු ලබන්නේ අජිත් ගලප්පත්ති විසිනි.

 

ජයන්ති කුරේ


‘මාරම්බරි සියවැනි ප්‍රසංගය‘ 28 දා නෙළුම් පොකුණ රඟහලේ දී

 

ප්‍රවීණ ගායන ශිල්පී, විශාරද එඩ්වඩ් ජයකොඩි මහතාගේ මාරම්බරි ප්‍රසංගයේ ‘සියවැනි ප්‍රසංගය‘ මේ මස 28 වැනි දින සවස 6.30 ට නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත් වේ.

ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහ මහතාගේ සංගීතයෙන් හා වසන්ත රෝහණ මහතාගේ කතනයෙන් කල එළි බසින මෙම ප්‍රසංගයේදී ශරන්‍යා, චන්දීප ජයකොඩි දූ දරුවන් මෙන්ම චරිතා ජයකොඩි මහත්මිය සහය ගායනයෙන් එක්වෙති.

එදා මෙදා තුර එඩ්වඩ් ජයකොඩි ශූරීන් චිත්‍රපට, ටෙලිනාට්‍ය සඳහා ගායනා කළ ජනප්‍රිය ගීත අතුරින් තෝරාගත් හොඳම ගීත ඇතුළත් සංයුක්ත තැටි 05 ක් හා නව නිර්මාණ ඇතුළත් ගීත තැටි දෙකක් එදිනට නිකුත් කෙරේ.


‘රන් සිහ රැයක්‘ හොරණ ශ්‍රී පාලි රංග ශාලාවේදී

 

306 A 2 සිංහ දිස්ත්‍රික්කයේ ප්‍රාසාංගික දැක්ම හත්වන පියවර ‘රන් සිහ රැයක්‘ කලා දැක්ම අද (21) හොරණ ශ්‍රී පාලි රංග ශාලාවේ දී දිස්ත්‍රික් සිංහාධිපති විද්‍යාකීර්ති දිසානායක මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත් වේ.

වාර්ෂිකව පැවැත්වෙන මෙම කලා දැක්මේ දී දිස්ත්‍රික්කයේ සිංහ සමාජ 93 ක සමාජික සමාජිකාවන් සහ එම පවුල්වල දූ දුරුවන්ගේ කලා හැකියාවන් එළි දැක්වීමට අවස්ථාවක් ලබාදෙන බව ව්‍යාපෘති සභාපති මංගල පෙරේරා මහතා පැවැසීය.

බොරලැස්ගමුව සමූහ

සෙනවිරත්න කහටපිටිය 

Comments